පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 27, 2022

එක් සිත් පෙම...
එච්. ඒ මුදිතා ~ බෝපේ - ගාල්ල

 

ගැඹුරු බැල්මක් මවෙත හෙලළා
පරිගණකයට දෑස යොමු කොට
පාඩුවේ වැඩ කරන මුත් ඔබ
මගේ හිත චංචලයි හරියට...

ලිපි ගොනුව මගෙ අතට දෙන විට
අහඹු ලෙස අත් ගැටුණු මොහොතක
ඔබට ඒ ගැන වගක් නැතිවට
සීතලයි දවසේම මගෙ අත...

පය පැටලිලා වැටුණු මොහොතේ
නැඟිට ගන්නට වාරු දී මට
ඔබ ඔබේ පාඩුවේ සිටියත්
මහමෙරක් මෙනි අනේ එය මට...

දවසෙ මෙහෙවර නිමා කරමින්
නිදන්නට සයනයට වන් කල
බියක් ඇත මට නෙතු පියන්නට
දකින හැම සිහිනයෙම ඔබ ඇත

 

 

අප්‍රකාශිත ආදරයක් පිළිබඳ තරුණියක සිත උපන් හැඟුම් ව්‍යංගාර්ථවත් බසකින් පැවසේ. සංක්ෂිප්ත ගුණය රැකගෙන ඇත.
 

තරුණී සතියේ කවි කුසුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ අඟහරුවාදා ‘ප්‍රභාතය‘ තුළින් ප්‍රචාරය වේ. මෙය ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයකි.

සොහොයුරු පෙම
ප්‍රියංවදා ජයමාලි ~ මුවගම - රත්නපුර


 

වාරු දුන් මහා කඳ දිරාපත් වූ කලෙක
සෙවණ දුන් විසල් අතු වසා සිටියත් කුමට
දරුවො නම් තරු කැළට හිරුත් සඳු නැති කලෙක
යස ඉසුරු මහ මෙරක් ළඟ තිබුණමුත් කුමට

එකම මව් කුස ඉපිද එකම සෙනෙහස වින්ද
සහෝදර සෙනෙහසට තවත් මායිම් කුමට
එකම රුහිරයෙන් ඇති දැඩි වෙවී සැප වින්ද
සොයුරු පෙම දුර ගිහින් යළිත් නොබැඳෙන ලෙසට

ලොබ බැන්ද මුත් ඉසුරු ළඟම නොරැඳෙන කලෙක
අස්ථිර වූ දිවි මගේ තවත් ආශා කුමට
යස ඉසුරු අහිමි වී තනිව හිඳිනා කලෙක
ළඟ හිඳින සොයුරු පෙම හැරා සරණක් කුමට

ළඟින් ඉන්න...
ස්වර්ණා ද සිල්වා ~ තිඹිරිගස්කටුව

 

සුදු සඳේ කැළුම්
එබි එබී කවුළුවෙන්
මවයි මා හදේ
සොඳුරු කවි හැඟුම්

තරුත් දිදුලමින්
බල බලා හොරෙන්
කවි සිතම අරන්
යන්න යයි හෙමින්

මල් සුවඳ අරන්
එන සුමුදු පවන්
කවි සිතට ගෙනෙයි
හරි මිහිරි හැඟුම්

කල්පනා ලොවෙන්
කවි සිතුම් අරන්
පත් ඉරුව පුරා
කවි ලියමි තුටින්

සුදු සඳේ එපා
බැස යන්න ඉතින්
කවි ලියන තුරා
නුඹ ඉන්න ළඟින්...


 

සමුගත් ජීවන සහකරු
සීතා කුමාරි පල්ලියගරු ~ අම්පිටිය - මහනුවර


 

මුකුලිත පියුම් යළි විකසිත නොවන බව
විහිදුණු සුවඳ දසතම පවතිනා බව
ශේෂව ඇත්තෙ ඒ ඔබෙ ගුණ සුවඳ බව
දනිමි යළිත් කිසිදින ඔබ නොඑන බව

අඳුරේ දිළුණා ආලෝකය පහව ගියා
පහනේ තිරය ඉතිරිව තෙල් සිඳී ගියා
රුදු සුළඟදි ද දැල්වුණු පහනකිය ඔයා
සිතුණා මෙමට සැමදේ අස්තිරය කියා

ජීවන විලට ඔබ පිපි නෙළුමක් වීය
ගිම්හානයට සිහිළැල් සුළඟක් වීය
ගනඳුරු අහස එළිකළ තරුවක් වීය
බාධක බිඳ ගැලූ ගංගාවක් වීය

ප්‍රියයන් වෙතින් වෙන්වන බැව් දැන ගතිමු
යළි එක්වරක් පමණක් අපි මුණ ගැසෙමු
බුදුහිමි දෙසූ සදහම් මඟ ගමන් ගමු
බව දුක නසා සසරින් අපි එතෙර වෙමු
 


 

ග්‍රාම නිලධාරිනියකගේ කඳුළු වාර්තාව
සිරිල් චන්ද්‍රසිරි ~


 

ජීවන කඩදහිය මත
තීන්ත කඳුළු තවරා
කුරුටු ගෑ නෙක වාර්තා
විසිරී ඇත කාමරය පුරා

අණ කරයි අණපනත්
ඇණි ඇණී කටු වගේ
රිදුම දෙයි චක්‍රලේඛ
හිතේ නැති නියෝග

ඇවිදලා හතර අත
විමසලා නෙක තතු
රැගෙන ආදුක් ගැටලු
ගොනු වෙලා කඳු වගේ

සපැමිණෙයි මිනිසුන්
දිගහැරෙයි අඳෝනා ගඟුල
තබා යයි සුසුම් දොරකඩ
සොඳුරු බස් නොමැත සවනට

විෂම වූ බිම් යායක
සනාථ කළ හැකි ද තතු
අනාථ ය තැනින් තැන

ලියා දෙන විට අනුන් අතට
දහස් ගණනින් සහතික
තිබේ ද නිල කුටිය තුළ
ජීවිතයට 'සහතිකයක්'
ජීවන ගීතයේ රිද්මයක්
පැටලිලා තියෙන විට

 


 

ග්‍රාම නිලධාරිනිය සැමවිටම සහතික ලියන්නීය. එහෙත් ඇයගේ ජීවිතයට සහතිකයක් වේදැයි කවියා අසයි. 'කළුපාට හැන්දෑව' කවි පොතෙනි.

Week of අප්‍රේල් 27, 2022