පාඨක නිර්මාණ

Week of මැයි 4, 2022

හිතැඟි හිතැඟි
ශ්‍රියාන්ජනී ලොකුලියන ~


 

විහිළුවකටවත් ඔබ ඇයි සිනා නොවන්නේ
සතුටක් නැතිව ද ඔබ ඔය දිවිය ගෙවන්නේ
තරහින්ම ද ඔබ නිතරම ජීවත් වන්නේ

නැහැ තරහක් කිසි කෙනෙකුන් සමඟින් මාගේ
විහිළුව ඇතුළෙත් බොරුවක් නොවෙද තිබෙන්නේ
ඒ ගැන හිතලයි මම මේ බලාන උන්නේ

ඔබ ඒකයි ඒකට විහිළුවක් කියන්නේ
ඇයි විහිළුව ඔබ ඔය හැටි ඇත්තට ගන්නේ

විහිළුව තුළ මුසාවනම් පිරී තිබෙන්නේ
ඇයි අප මේ මුසාවකට හිනැහී ඉන්නේ
මුසාවනම් මේ හැම තැන පැතිර තිබෙන්නේ
එහෙමනම් අමුතුවෙන් මොටද විහිළු කරන්නේ

 

මං නිදි නෑ අම්මේ
තාරකා සම්පත් අබේසේකර ~

 

තරු වහං වුණු රෑට සීතල
හෙමි හෙමින් දොර අඬන සද්දෙට
අම්මෙ නුඹ මං නිදියි හිතුවට
හිටියෙ හැම දා ඇහැරිලා

තාත්තෙකු නැති වහලයක් යට
පිරිමි පුළුටක් දැක්කෙ නැතිවට
රෑට ඇඳ කිරි කිරිය ඇහුණ ම
ඉරුණු පැදුරෙ ම ගල් වුණා

පාඩුවේ මඟ තොට යනෙන විට
කපපු පළුව‘යි උන් කියන කොට
දෙතොලෙ නලියන කටුක සරදම
මගේ නෙත් මත ලියැවුණා

තහනමේ පල රසින් සැනහෙන
රඟන මොනරුන් ළගින තැන්වල
ලාපු බිජුවට සෙනෙහසක් නැති
කුරුල්ලෙකු මට සිහි වුණා

ගහේ කටු උල් කරනු කුමට ද
සැවොම පැතුවේ හිතින් මොනවද
සයුරු රළ වෙරළේ හැපෙන ලෙස
මමත් නුඹ ළඟ වැලපුණා
 


 

මවකගේ රහස් ජීවිතය දන්නා දියණියක සිත මතුවන සංකීර්ණ වරදකාරී හැඟුම් නිරූපණය කෙරෙන නිර්මාණයකි. 'කෝපි රහට කවියක්' කෘතියෙනි.

යශෝදරාවනි
එම්. ජී. එන්. ගංගා රත්නසේකර ~ නියෝජ්‍ය විදුහල්පතිනිය ,ර/ජේසු බිලිඳාගේ කන්‍යාරාම ජාතික පාසල - රත්නපුර

 

එදා පුර පුන් පෝ ඇසළ දින
ගියා අබිනික්මන් කරන්නට
පුංචි රාහුල සමඟ තම ප්‍රිය
භාර්යාව ද අතැර ගිහි ගෙය

අවදිව උදෑසන සයනෙ හිඳ
නිදන පුතු දෙස බලා සැනසුන
කොහේදෝ පුතු පියා සැඟවුණු
සොයන්නට ඇති ළඟපාත සැම

එදින මැඳුරේ පුංචි පුතු ළඟ
තනි වුණා කුළුඳුල් මවක් ලෙස
ගැඹුරු හද ගින්දරේ ළතැවුණ
කිමද මා කළ වරද සිතමින...

සංනිවේදන ගෙනෙන තොරතුරු
නොවේ අද මෙන් දියුණු තරමට
දූතයන් යැව්වා සිව් කොන
සොයා සිදුහත් කුමරු තැන තැන...

නොදැන වතගොත පුරා සය වස
ගෙවුණු හැම දිනයකම නිදිවර
මගේ හිමියන් කොහේ සැඟවුණ
නොදැන පෙර පාරමී දම් ගැන

පුවත සැලවුණු ඔහු පැමිණි වග
අසන්නට දායාද පුතුහට
පෙලඹුවේ පසු පසින් යන්නට
මතක් කර කුලගෙයක යුතුකම

දැනන් හිටියා නම් එදින ඇය
යන්න දේවිද ඔවුන් අතහැර
ඇයත් එක් ගැහැනියකි එදවස
පෙරුම් පිරු බව නොදත් පෙර බව...


 

අත්තම්මා
රමෝනා මදුශ්‍රිනි පෙරේරා ~ හකුරුකුඹුර - මීරිගම


 

පුංචි සන්දියේ උකුලට ගෙන ඔබ
අම්මා එනතුරු මා නැළවූ සැටි
තාමත් මතකයි අත්තම්මේ ඔබ
කවට කමින් සැනසූ තාලේ
උත්සව කාලය ළඟ ළඟ එනවිට
සැරසිලි කළ හැටි ඔබගේ දෑතින්
තාමත් මතකයි අත්තම්මේ ඔබ
කැවිලි පෙවිලි සැකසූ තාලේ
කාලය ගෙවිලා අපි ලොකු වීලා
දුරස් වුණත් ඔබගෙන් ටික කලකට
තාමත් මතකයි අත්තම්මේ ඔබ
එන මඟ බලාන උන් තාලේ
අත් පා දුබලව ඇස් නොපෙනී ඔබ
රෝද පුටුවට ම සීමා වූ දින
තාමත් මකයි අත්තම්මේ ඔබ
නන් දෙඩවූ හැටි ඒ කාලේ
සිතා ගන්න බැරි විලසින් දවසක
සිහිය විකල් වී මුව ගොළු වී
මතකය රඳවයි අත්තම්මේ යළි
නොඑන ගමන් ඔබ ගිය තාලේ
 

 

රාත්‍රිය තනියම
වජිරා කුමාරසිංහ ~

 

නිසල වූ රැයක
මිදුලේ කොනක
ඇහැළ ඉතිවල සෙවණැල්ල
අඳිනවා
සඳඑළිය...

රැයක රිද්මය මවන
බස්සෙකුත් ලැගුම් ගෙන
හ්ම් කියා හඬ ගසයි ලෙහන්නට
සිතුවිලි රෑන...

වියළි කොළ ගෙමිදුලේ
නල හා මුහුව අඩඅඳුරේ
ඇවිද යයි
සරසරින් මුමුණමින්...

පෙතං කජු ගහේ අගිස්සෙම
මත් වෙලා වවුල් කැළ මොරගාති
රාත්‍රී සාදයක...

හත්දින්න තරු පොකුර
මඟහැරුණු තරුවක්
විටින් විට පෙනේ අහසේ ඈත ඉම
 

 

රාත්‍රියක හුදකලාව අත්විඳින සිතකට දැනෙන පාළුව තනිකම පරිසරය ඇසුරින් නිර්මාණය කළ සංකල්පරූප මඟින් ඉදිරිපත් කෙරේ. කාව්‍ය භාෂාව රමණීය ය.
 

තරුණී සතියේ කවි කුසුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ අඟහරුවාදා ‘ප්‍රභාතය‘ තුළින් ප්‍රචාරය වේ. මෙය ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයකි.

Week of මැයි 4, 2022