පාඨක නිර්මාණ

Week of මැයි 18, 2022

මිහිතලයේ මහිම
ක. වි. ආ. වෛද්‍යතිලක ~ මොරවක


 
 නුබ ගැබින් ලද අව් වැසි
 මඳ මාරුත මතින් පදම් වී
 ඇතැම් විට ලිහිල්වත්
 විටෙක තද පෘෂ්ඨයක් සෙ,
 සවි දරන මිහිකත
 
 පෙණ පිඬු මව මවා
 ගලා බැස යන ඇළ දොළ
 විචිත්‍රවත් සළුපිළි දැවටුවා සෙ,
 ගං කොමළියන්ගෙන් සුසැදිව
 මහ සයුර ද දරා සිටින
 අනගි වූ මිහිකත
 
 මනු සත් රජ - සිටු - දිළිඳු
 උපත ලැබූ කුරා කුහුඹුවා පටන්
 සැමගෙ එක්වන්ව බර දරන
 කඳු ශිඛර මහා මේඝවලින්
 සැදුම් ලත් මිහිකත
 
 සයුරට දියව යා නොදී
 සරු කොට පරිසරය වගාවෙන්
 විශ්වය පැවැත්මට දිරි දී
 උපත ලද තුරු ලතාවන්
 සුරකිනා වූ මිහිකත
 
 මිහිතලය බෙදා ගනුවස්
 අසම සම මිලකට උනුනුන්
 ගොදුරුවන සියලු පීඩා
 නොසැළී, උපේක්ෂාවෙන්
 දරා සිටිනා වූ මිහිකත
 
 සැමට එක්වන් උරුම වූ
 ලොව උතුම් සම්පත
 තිස්තුන් කෝටියක් දෙව් රැකවරණ ලැබ
 සැරදෙවා ලොව පවත්නා තෙක්
 මා ඇගයූ මිහිකත
 
  

  

ඈ ගෙවිලියක්
එම්. එච්. පද්මා ගලහෙන්කන්ද‍ ~ අම්පේගම


 
 කරල් පිරී හිනැහෙන
 මිරිස් පඳුරු දෙක තුන
 දකින කියන කොයි කාගෙත්
 දසුනකි නෙත සනසන
 
 බුලත් මැස්ස දලු දදා
 කිණිති පිරී ඇත මෙදා
 මැස්ස යටම ඉඟුරු පඳුරු
 අහස බලයි නෙතු විදා
 
 බිම ඉඩ මදි බව තියා
 ගෙපැලේ වහලට ගියා
 වට්ටක්කා වැලේ ගෙඩිත්
 ඇත තම නිදහස සොයා
 
 ගොම ටික වෙල අද්දරින්
 අහුලා ගෙන එයි උදෙන්
 කමතෙ දිරන පිදුරු ටිකක්
 පොහොර කරයි ඇය වැරෙන්
 
 උදයට කැඳකට වගේ
 ගතහැකි නොබලම අගේ
 සරුවට ඇති ගොටුකොළ වැල්
 දිගට ඇදෙයි බිම දිගේ
 
 අක්කර ගණනින් හෙබී
 ඉඩමක් නැතිමුත් ලැබී
 ඇගේ පුංචි පැල්පත වෙත
 අහහිඟකම් නැත එබී
 
 

පේරාදෙණි මතක
සංජය ප්‍රියදර්ශන ~


 
 දැනෙයි ඒ සුවඳ පොද ඒ මිහිරි රස
 බටර් කේක් ගෙඩිය පුරා සිඹ පැතිරෙන
 කුඩා ඉටිපන්දම් වැටියකින් ගලන
 එළියෙන් හද පුරවන
 
 ගෙම්බා කැන්ටිමේ සීමැදුරු කවුළුවෙන්
 රිවි එබෙයි හිනැහීගෙන අප දෙස
 දුක් සුසුම් දිය වී සිනාරැලි නගන
 පස්පියුම් පිපි දිලි වත කමල
 
 පොකුණු සිරියෙන් ඔපවත්වැ
 මා දෙස බලයි හෙමිහිට
 දෙබැම දෙතොලත උවනත
 සැනසිලි බසකි මා දිවියට
 
 මහමෙරක් හිමි හිතකට
 කවර දුක් ගිනි ද ළබැඳිය ඉතින් මා හට
 දෙසිතක සෙනේ දිය වැදී
 නිහඬ විය මුළු මහත් පරිසරයම
 
 විඩාව පැනගියේ ල පවනට බඳු වේගයෙන්
 මැවිණි සැහැදුල් අහස මා හිස මත
 සොඳුරු වස්සානය අතකින් ගත් හන්තානය
 පිස එන වාතලය පිසදැමී හද කඳුළු කැට
 රෝස රොබෙරොසියා ගස ඈත සිට
 ආවඩා පැතුවා දීඝායු සුව
 
  
  

විරසකයට පසු
සුහර්ෂිණී ධර්මරත්න ~


 
 පින්සර මහිමි සඳ සොඳ සඳ කිඳුරු යුරා
 පෙම් බැඳ එකට ආ මුත් දිගු සසර පුරා
 හිස් වචනයක පැටලී සිත සසල වෙලා
 මල්සර දුන්න විසි කර ගොසින් මල්සරා
 
 නොහඬා සිටියාට සිත හැඬුවා දනිමි
 නිදි සේ යහන පිට නිදි වැරුවා දනිමි
 අනුන් බතට කුස නොපිරුණු බව දනිමි
 දුක් දී නුඹට දුක් ගත්තෙමි හිමි සඳුනි
 
 පෙර දා ඈත නොබලා දෙඩුව වදනට
 ගිජිඳා සේම රොස් වී ගිය යි ආපිට
 ඉඳ ඉඳ දෑස මඟ හැර එක වහල යට
 වැඩියා යහපතැ යි හිමි සඳුනි යහනට

 
 නව පරපුරේ දීප්තිමත් කිවිඳියකි. ස්ත්‍රී පුරුෂ මානව සබඳතා දෙස දයාර්දව බලන්නට ගත් වෑයමකි. අමනාප වූ සැමියාට බිරියකගේ දයාබර ඉල්ලීමකි.

නළඟන
චන්ද්‍රිකා පුෂ්පරාණි ජයවීර ~ රන්මුතුගල, කඩවත


 
 ගිරිනිල් යායේ මල් පිපුණේ අවාරෙට...
 සුද්ද තාලම්පට... රඟදුන්නේ සොබාවට
 කිරිවලාව මෝදුවුණේ අහසින් බිමට
 මාලක්කන කරකැවුණේ හිත් අගට
 
 සඳකිඳුරිට රඟදුන්නේ ගම් ඉස්මත්තේ...
 කිඳුරිය මරා මා ආවේ කරළියට...
 හූල්ලන අඳුර ඇවිදින් හිත් අගට...
 වැහිබීරම තනිරැක්කා අහස යට
 
 හිමේ ගියේ කටවරදවා ගන්න නෙමෙයි...
 කිරිකෝඩු නමට වල්මත් වුණා නෙමෙයි...
 අඳෝ වහක් හිත තුළ පරවේණි නෙමෙයි
 පාන් කළුව අතවැනුවයි කිරිකෝඩු මට
 
 වෙස්සන්තර දන්දුන්නේ දරු දෙදෙනා...
 මා දිවි දුන්නේ කරළිය මත මන බන්දා...
 මා මුව සිනා තැන් තැන්වල කොඩි බැන්දා
 අත්පොලසන් මැදින් රැජිණිය ජය බැන්දා...
 
 මා හැරදමා ගිය හීනයේ මල් සොයමි...
 කාලය මීවිතක්දැයි මම එය සොයමි...
 මිලට ගත් කුමරි දෙවඟන කොහිදැයි සොයමි
 විකුණන ජීවිතය අරුතක් තව සොයමි...
 
  

 
 අත්දැකීමෙහි අපූර්ව ගුණය මේ නිර්මාණයේ සාර්ථකත්වයයි. නළඟනකගේ ජීවිත විවරණය අපූරු සංකල්ප රූප මඟින් නිර්මාණය කරන්නීය.

Week of මැයි 18, 2022