පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 3, 2024

මල් මල් වාරම්
චන්ද්‍රිකා පුෂ්පරාණි ජයවීර ~

 

අන්ධ බිරී කළුවර ඇයි...
ගෙයි දොරකඩ පැන...
අර බලන්න... කඩුල්ල පැන
අල්ලන සවුදම්...

පඳුරු ලලා... හිත් ලෑවට..
සෙනෙහස ඇවිදින් ..
හේලංකඩ වගේ පෙනෙයි...
මැණිකෙගේ හිත යට...
මං කොහොමද එය බිඳින්නේ...
මැණිකෙගේ හිත යට...

මල් ඉහිරෙන වැස්ස වගෙයි...
කියන්නේ නෑ මං...
මගේ හිත කියන්නේ නෑ මං...

වාතලයෙන් බැස එන සඳ...
බොල් පිණි කැට... රෙද්ද ඇදන්...
රඟන වෙලාවේ...
ඔඩොක්කුවට... පැන එනවද
ශීතල තනිකම...


වැහි ඇල්ලක් ඇවිත් ඔන්න...
ඉඩික්කු වූවට...
මේ හිත දැන් වැස්සක්වද
කියන්නේ නෑ මං...

දොං තරිකිට දෝං කියලා...
රබන් සුරල්ලෙන්...
හිනැහෙන දවස් සුරල්ලෙන්...
මල් යහනෙන් එබිකම්කර

කවුදෝ එන්නේ...
මැණිකේ කවුදෝ එන්නේ...
 

හෙළ අවුරුදු සිරි
ඇක්මන් ගමගේ ~ උග්ගල්ල; පාදුක්ක

 

කෙත් වතු සරුව ඇත අටුකොටු ජයට පිරී
සිත් තුටු වෙමින් අග හිඟකම් ඉවත හැරී
වත් පිළිවෙත් සුරැක යුතුකම් යසට කෙරී
සෙත් සුව සදයි හෙළ අවුරුදු අසිරි සිරී

බක්මහ වැසි වැටී ගහකොළ පණ නැගිණ
දොරකඩ කොස්ගහ ලෙහෙනුන් පිරුණ
කැවුම් බදින අම්මා වට රොක් වෙමිණ
මතත් ‍ෙවනව මහගෙදර අවුරදු සිරි ගෙවුණ

රබන් ගසන සද්දෙ ඇසෙනවා බින් තැන්නේ
වවුනියාවෙ කෙල්ලො ඔන්චිලි පදින්නේ
කැවුම් සුවඳ දැනෙනවා කඩ පිල් ගානේ
අවුරුදු කුමර කුමරි සිහිනෙන් පෙනෙන්නේ

සාමය උදාවිය දකුණේ හා උතුරේ
සැම ගෙදරකම සුභ නැකැතට කිරි ඉතිරේ
මිතුදම් වැඩී දින දින ඔබ අප අතරේ
යළි මුණ ගැසෙමු අපි එළඹෙන නව වසරේ

 

සිංහල අවුරැද්ද ඇවිල්ලා
මැටිල්ඩා ලොකුආරච්චි ~ සිරිසඳ , පුවක්පිටිය

 

දොරකඩ ගහ උඩ ඉඳගෙන කොහා අඬනවා
කජු පුහුලම් රතුපාටට ඉදිල තියෙනවා
එරබදු මල් රතුපාටින් පිිපී දිලෙනවා
පුංචි අපට සිංහල අවුරුද්දත් එනවා

කැවුම් උයන්නට අම්මා හනසු හොයනවා
කොකිස් උයන්නට අක්කා ළිපක් හදනවා
අලුත් ඇඳුම් ගෙන එන්නට තාත්ත යනවා
සිංහල අවුරුද්ද අපට සතුට ගේනවා

අවුරුදු උත්සව කාලෙට ගම සැරසෙනවා
තරග තියා තෑගි ගන්න කවුරුත් යනවා
ඔන්චිලි වාරම් කියන්න තරග තියනවා
කොයි කාටත් සතුටු වෙන්න අවුරුදු එනවා

කැවුම් කොකිස් කිිරිබත්වල සුවඳ හමනවා
කෙසෙල් කැනක් කුස්සිය මුල්ලේ හිනැහෙනවා
අහල පහල ගෙවල්වලට කැවුම් බෙදනවා
සාමය සමගිය ගමතුළ විහිදෙනවා

සැමදාම අවුරුදු ආවොත් හොඳයි සිතෙනවා
බුලත් අතක් දී මවුපියො දෙපා වඳිනවා
අලුත් ඇඳුම් ඇඳගෙන අපි සිනා සලනවා
අවුුරුද්දේ සතුටක් නැති අයත් ඉන්නවා


 

නිරාමිස
ගංගා නිරෝශිනී සමරවික්‍රම ~


 

කුමුදු මලෙක
සුමුදු පහස
විඳගත් සඳ
එළිය විලස

ළදරු මුවක
කිරි සිනහව
දුටු මවු සඳ
උවන විලස

ළදළු පතක
පතිත තුෂර
පිණි බිඳුවක
සතුට ලෙසින

අඳුරු කළුව
අහස මුදුන
දකින විටදි
ගොවි දන මුව

 

රෝහලේ දුවට තාත්තාගෙන්
ගිහාන් ප්‍රනාන්දු ~ කළුතර

 

ජීවිතේ එක්තරා කාලෙක අපි හිටපු හැටි තවම සතුටුයි
දුවේ මම ඔය සුදු කකුල් දෙක රිද්දුවෙත් නැහැ එදා සත්තයි
වාරු නැති තැන නුඹ බලන්නට එන්න මට බැහැ ගතට වෙහෙසයි
රෝහලේ ලොකු තැනක දැන් නුඹ අම්මා කිව්වා ඇහුණ මතකයි


පුංචි සන්දියෙ නුඹව දාගෙන
පැද්ද සයිකලේ තවම තරුණයි
මතක් වුණොතින් ඇවිත් පලයන් තවම නුඹ ළඟ මමත් හයියයි
ඒ වුණත් උබෙ තත්වෙ ගාණට අපේ ගෙයි නම් අඩුව බෝමයි
කරන් නැහැ බල එන්න කියලා මොකට කරදර වෙන්නෙ ඒකයි


වෙදදුරන් ළඟ හනි හනිකෙ නුඹ ලෙඩ්ඩු බලනවා ඇත්තෙ එහෙමයි
බෙහෙත් තුංඩුව ගන්නවත් මට මුදල් දැන් නැහැ ලෙඩෙත් දරුණුයි
නමුත් නුඹහට නොකර කරදර ඉන්න එක මගෙ එකම පැතුමයි
දුවේ මම දවසකුත් වැටුණේ සායනේ ළඟ එහෙම හිතලයි

 

සුසුම්...
ගාමිණී මද්දුමගේ ~ වෛද්‍ය නිලධාරී බන්ධනාගාර වෛද්‍ය ඒකකය බදුල්ල

 

දසුන් දකිනෙමි රූප පෙට්ටියෙ..
පුවත් කියවන විටදි රෑ යම

සුසුම් පිට වී මීදුමක් ලෙස...
මා වටා සැඟවුණිය මාවම

ගතින් ළංවනු බැරි නිසා ලිව්..
දුක් කවක වූ අකුරු සේරම

ඉතින් යන්නට ගියා සොයමින්..
නොකෑ මිනිසුන් දෙතුන් වේලම


අතින් කීයක් වත් නොදී පල ...
නෑලු කවිය ට අඳින නෙක හැඩ

පොතින් අරගත් දැනුම කුමටද...
අසයි හදවත බලන විට ලෙඩ

වසින්නට මම මේඝයක් නෙවි..
මකන්නට පැලිවලන් මඩ උඩ

සුසුම් වැල් මම ගොසින් තැබුවා..
ගයන්නට ගී කුරුලුවෙකු තුඩ


දුකින් පිරුණට සිතක් කුමටද ...
නොයයි නම් එය ගලා දෝරෙම

කටින් දෙඩුවට සෙතක් නෑ නම්...
වචන ඇසුවා කිම්ද තේරුම

අසන්නට ඇති සවන දෙනුවන ..
පසිඳුරන් මට බනී සේරම

සුසුම් වැල් මගෙ ඔහේ ඇදුණා..
වෙනද වාගෙම පුරුදු පාරෙම


 

Week of අප්‍රේල් 3, 2024