පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 17, 2024

මල් සුවඳ
කේ.සිරිසේන ~

 

ගල් උල් මුල් කටු පිරි මඟ දුකින් ඉතා
පසුකර පැමිණියෙමි විඳ විඳ විපත් මහා
ඒ විඳි දුක් කරදර කම්කටොලු නිසා
සවිමත් වුණා දිවි ගැල නිසි පරිදි මෙදා

හමුවෙන විවිධ නන් මංමාවත් ඔස්සේ
කිසිදු බියක් නැති දිවිගැල අද පැද්දේ
අතීතයේ විඳි දුක් කරදර මල් සේ
සුවඳ කරනවා දිවි ගැල තිර ලෙසිනේ

විඳ විඳ මල් සුවඳ අද දිවි ගැල පදවා
මහත් තුටින් යන කළ දුක් ගිනි පීඩා
විඳිනා අයව හමුවූ විට මෙත් සිතිනා
තුටින් මල් සුවඳ දෙන්නයි මට ඕනා
 

ඉතින් හිතවතිය
ගිහාන් ප්‍රනාන්දු ~ කළුතර

 

අවපසෙ ලියෙන තනි කවක් සොඳුර නුඹ
ඒ නිසා හදවතේ අඳුරුම තැනක් ඇත
කහ මල් පිපුණු සුන්දර පෙම් උයන ළඟ
මම තව දකිනවා හීනෙන් එහිදි අප

විල් තෙර අයිනේ පරවුණු අපෙ අඳුරු පෙම
කවුරුත් නොදැන එය නික්මී ගියා දුර
එනමුදු බඹර තුඩු රොන් ගා බලපු නෙත
නොබලා ඉන්න අවසර නැහැ හිතට තව

මහ වැහි කූඩ ළඟ තෙත් වුණු හිත්මානේ
තවමත් නාය යනවා ඒ තිබු ආලේ
සයුරක් ළඟදි හමු වී වෙන් වුණු යාමේ
මතකය හඬනු ඇසෙනවා අදටත් රහසේ


 

මම වෙනුවෙන් මම ඉන්නවා
- පවිත්‍රා - ~


 

ජීවිතේදි මිනිස්සු එක එක කාර්තුවල ජීවත් වෙනවා..ආදරේ අවධානය කැපකිරීම් අගය කිරීම් බලාපොරොත්තු වෙනවා..ඒ කිසිම දෙයක් නොලැබෙද්දි මිනිස්සු තමන්ගේ සමීපතමයෝ එක්ක රණ්ඩු කරන්න උත්සාහ ගන්නවා..අන්තිමේදී රණ්ඩු කරලා....දොස් කියලා.... චෝදනා කරලා හෙම්බත් වුණාම මිනිස්සු නිහඬ වෙනවා. ඇත්තටම ඒක තමයි ජීවිතේ turning point එක...එතැන ඉඳන් මිනිස්සු කල්පනා කරනවා..
සතුටින් ඉන්න මට තව අය ඕනිමයිද..
මට බැරිද තනියමම සතුටින් ඉන්න..
ඇයි මට බැරි මට ආදරේ කරන්න...
ඇයි මට බැරි මට අවධානය දෙන්න...
ඇයි මට බැරි මම වෙනුවෙන් කැප වෙන්න...
ඇයි මට බැරි මාව අගය කරන්න ...
මේ ප්‍රශ්න ටික තමන්ගෙන්ම අහලා උත්තර ලැබුණු දවසට මිනිස්සු තීරණේ කරනවා තනියමම ජීවිතේ විඳින්න..හිනාවෙන්න..එතැනින් එහාට නිර්මාණය වෙන්නේ අමුතුම මනුස්සයෙක්..එයා දන්නවා තමන් සතුටු වෙන්නේ කෝමද කියලා...එයා උත්සාහ කරනවා පොඩිම හරි තැනකදි අනිත් අයවත් ඒ විදිහට සතුටු කරන්න ...හැබැයි ආයේ කිසිම දෙයක් අනිත් අයගෙන් බලාපොරොත්තු නොවී..
ඉතින් ජීවිතේ කොයි අතට කොහොම ගලන් ගියත් මොකද ...ඒ හැමතැනකම මම වෙනුවෙන් මම ඉන්නවා..

 

මනුසත් භවය අප රැකගත යුතුය මෙලෙසේ
කේ.ජනනි ගයාත්‍රී රණසිංහ ~ බණ්ඩාරගම

 

දුර්ලභවයි අපි ලැබුවේ ජීවිතය
ලැබ ගන්නට අමාරුම මිනිසත් භවය
පෙර පිනකට එය අප හට ලැබුණේය
ඇයිදෝ අපට නොදැනෙන්නේ එහි අගය

අපි ලැබ ගත්තා වූ මේ මිනිසත් භවය
පින් සහ කුසල් අපි රැස්කර ගත යුතුය
පව්කම් කිරීමට නම් බියවිය යුතුය
අපි යා යුත්තෙ දුගතියෙ නොව සුගතියේය

පින්කම් කිරීමට ඉඩ ලැබු හැම මොහොතේ
අපි පින් කළ යුතුය හැමවිට සිත් සතොසේ මරණය පැමිණෙන්නෙ දන්නැති කොයි මොහොතේ
එබැවින් සැදැහැවත් බව ඇති විය යුතුය හිතේ

නිතර ගියේ නැතුවාට අපි පන්සල්
කරනට නම් හොඳ නෑනේ පව් අකුසල්
රකින්න ඕනෑ ගිහියන් පන්සිල්
හිත යොමු කරනු මැන කරන්නට හොඳම කුසල්


 

චූටි පුතු පෙර පාසලට ගිය පසුව
w.w. අසංගිකා ~ මිරිස්වල තැන්න කිතුල්ගල

 

අම්මාගේ අතේ එල්ලී
පෙර පාසල්
ගිය පසුව
මුළු නිවෙසම පාළුයි
චූටි පුතු නැති විට
මේ පැය කිහිපයට
මට යන්නට නොහැකිය
චූටි පුතු දමා
නිවෙස වෙත
මගේ සිත අැදී යයි
තාමත් පෙර පාසල
වෙතට...


 

ළෙන්ගතු සිතකින්
උපාලි කස්තුරි ආරච්චි ~ මහවිල පානදුර

 

පබළු මුතු පොට බැඳුණු මුළු ගෙල පාළුවේ හීන් කෙඳිරිය ඉකි ගසයි මුව සීරුවේ
කඳුළු සුසුමට එක් වෙලා අද යාළුවේ
හිතේ සැනසුම කවුරුදෝ නුඹෙ සේදුවේ

බැඳුණු සෙනෙහස බිඳී දෛවයෙ අනුහසින් අලුත් සතුටට ගිලී ගියෙ මුත් ඔබ ඉතින්
ඔබෙ සතුට මගෙ සතුට යැයි සැනසුම විඳින් මේ වෙනස නම් නොසිතුවෙමි පෙම් කළ සිතින්

පැලඳි මුදුවේ දිදුල බව අඩු වුණා නම්
වැදී හෙණ සැර ඔබේ සිත තනි වුණා නම් නොසිතූ මොහොතක අතීතය සිහිවුණා නම් සෙනෙහසේ දොර ඔබට යළි හැර තබන්නම්

 

Week of අප්‍රේල් 17, 2024