පාඨක නිර්මාණ

Week of ජනවාරි 29, 2025

සිතුවිලි
ආර්. එම්. කේ. බී. රත්නායක ~ කුරුණෑගල


 
 වලාකුළු
 එයි යයි
 හැඩය
 වෙනස් කරයි
 සිතුවිලි මෙන්
 
 

මහගිරිදඹ
ශ්‍රියානි වීරසිංහ ~ දර්ගා නගරය


 
 සෝෂල් මීඩියාවල
 දුක ෂෙයාර් කෙරුවට
 අහන්න කවුරුත්
 හිටියේ නෑ ළඟ
 කවිය අසිපතක් නොව
 සියපතක් වී
 පිපුණාය සිත් විල මත
 වැලට ගත් ගෙඩි
 වැලට බර නැත
 සිරස මත පුත නුඹ
 දෙඋර මත දියණියනි
 නුඹ දෙදෙන
 මහගිරිදඹ නඟිමි
 නැත වෙහෙසක්
 කඳුළ පිස දැමූ මඳ පවන නුඹලාය

 

ගීතය
මලින්ත බෝපෙආරච්චි ~ කැලණිය


 
 රසාලිප්ත කන්කලු
 දෙසවන් පිනන
 ඉමියුරු පැතුමන් අබියස
 සදාදරණීය ඔබ
 මා රැගෙන යන
 සමනල විජිතයක
 අබිසෙස් ලබන්නට
 අපට උරුම
 දේශයක් ලබන්නට
 සිතෙන විරාමෙක
 සියලු දෙයින් මිදුණු
 නැවුම් ලොවකට
 පියවර තබන්නට
 පන්හිඳක අසිරිය
 දිවමන් වීලා
 යනුවෙන් සිතෙන කල
 පලා ගොස් ඇත
 සිහිනයක් විලස ඔබ
 

 

මොනතරම් දුක්බරද?
රොෂෙල් ෆර්නැන්ඩු ~ උපුටා ගැනුම - මිහිරි මිදි අතු
    

 කොච්චරක් ලස්සනට දිලිසුනත්
 සමහර මතක..
 තරු අතර.
 
 ඉස්තරම් ලෙස පැරණි වූ මුත්
 රස බලන්නට නොහැකි වූ
 වයින් බඳුය..
 සමහරක්..
 යුග යුග ගණන් දිග - කතන්දර
 
 ඇතිතරම් බදා සිප නැතත්
 වැඩියෙනුත් වෙන්ව ගොස් හැඬූ
 සාංකා පෙරා ගත්තොතින්
 මණ්ඩි වල තිබෙයි
 පොඩි පොඩි හබ
 එතරම් නොවූ පෙම්බර
 
 රත්තරන් ඒ කෙසේ වුණත්
 මැදියමේ සවන් මත වැකී
 හුණුව යයි ලේ නහර..
 ගී හඬක කව් පෙළක පවා
 සඟවා කවා ඇත.
 ඔබ නොලද හෙයින් මා ලද
 අළු නොවෙන ගින්දර
  

ඇතෙක් වන් පුතෙක් . . .
එස්. වික්‍රමතුංග ~ දියතලාව

ඇතෙක් වන් පුතෙක් ඇති කල අම්මෙකුට
 ළතෙත් වුණු දයාපිරි ගුණ ඇති රුවට
 හිටිත් හැටි නොසෙල්වී හිටි පියවරට
 කිසිත් සෙවණ නොලදත් ළතවෙනු කුමට
 
 දෙසිත් නැතිව එක සිත එක පියවරට
 නඟිත් හැකි මහාමෙර එක හුස්මකට
 පයත් පැටලේද සැකසංකා කුමට
 පුතෙක් ඇත මහා දස බල පරයන්ට
 
 සඳක් වගේ පුරපෝයට බබළන්ට
 රජෙක් වගේ ජය කෙහෙරැලි නංවන්ට
 සිලිලාරෙකට රන් කිරි කට ගා යසට
 පුතෙක් සිටී ජීවිතයම සැනසෙන්ට
 

 

හිමිදිරියට අද කවි තෝරන ඇය කාංචනා අමිලානි
*** ~

 
 
 ලේක් හවුස් ආයතනයේ දිනමිණ විශේෂාංග අංශයේ මාධ්‍යවේදිනියක් ලෙසින් කටයුතු කළ ඈ අමුතු කවි එක්ක බැඳුණු අමුතුම ශෛලියක් තියෙන කවිකාරිනියක්. ඒ වගේම සයිබර් කිවිඳියක්. දක්ෂ කෙටිකතා ලියන්නියක් පමණක් නොව, අපූරු නවකතාකාරිනියක්. කාංචනා ලියූ ‘ගුහා සටන’ නවකතාව වාගේම ‘ගම්මිරිස් කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයත්, ‘ප්‍රේමයේ කාර්තු, බූමරංගය ඔබේ ඇස් දෙක, කාල රේඛාව' වැනි කාව්‍ය සංග්‍රහත් දැඩිව පාඨක සිත් ඇදබැඳ ගන්නට සමත් වුණා. විවිධ තේමාවන් නැවුම්ව සහ කදිම භාෂා විලාසයකින් අකුරු කරන ඕ අපේ කාලයේ අපූරු ලේඛිකාවක්.

රජුගේ සැකය (හොඳම කවිය)
තුෂාන් විශ්වජිත් ගමගේ ~ ගාල්ල

 

ආලවඩන ප්‍රමිලාවියගේ
හිතේ රජවුණු පෙම්බරා
මං දනිමි කවුරුදැයි
ඇය වසඟ කළ මල්සරා

ඈ හංස ගමනෙ තාල බිඳිණු
සක්මන් මළුවේදී දුටුවා
මුහුණ පුරා පිරුණු නුහුරු හැඟුම්
මා හද සැක සංකා නැඟුවා

ඉඟිපාන නෙතේ කෝල බැලුම්
රෝසෙන් උමතුව දිලුණා
ප්‍රමිලාවිය අන්සතු වුණු සලකුණු
මා හද සෝකෙන් වෙළුවා


 

ප්‍රකට ඉතිහාස කතාවක් හා යමින් ලියවුණු මේ කවිය රජුගේ පාර්ශ්වයෙන් බොහෝ ශෝකභරිතව ලියැවුණකි. කවියේ මාතෘකාව 'රජුගේ සැකය' වීම නිසාම කියවන්නාට කවිය පිළිබඳ මූලික ඉඟියක් ලබා දී ඒ ඔස්සේ ගලා යෑමට සලස්වා ඇත.

ප්‍රමිලා බිසවගේ ප්‍රේමය තමාට අහිමි වීම පිළිබඳ රජුගේ සොව පෙන්වන මේ කවිය අප දන්නා දස්කොන්-ප්‍රමිලා අන්දරයට අලුත් කවුළුවක් විවර කර දෙයි. දස්කොන් විෂයෙහි පමණක් දිගින් දිගටම ශෝක වන්නට පුරුදු කර තිබූ කාව්‍ය රසිකයාට රජුගේ ඇතුළු හද විවර කර පෙන්වීමට කවියා තැත් දරා ඇත.
දස්කොන් හැඳින්වීමට 'මල්සරා' යන යෙදුම කැඳවීමෙන් ප්‍රමිලා බිසව කෙරෙහි යම් දොසක් තිබුණේ යැයි සැක කළ අයට සෙල්ලක්කාරයකුගේ ආල දැලට හසු වූ අහිංසක ස්ත්‍රියකගේ චිත්‍රයක් ද පසුබිමෙන් ඇඳ පෙන්වයි. එනම්, මල්සරා දුන්නෙන් විද්දේ හෙයින් ප්‍රමිලා ඊට අවනතව ප්‍රේමයේ බැඳුණා මෙනි. බොහෝ දෙනා දන්නා ප්‍රස්තුතයකින් පවා අරුමයක් මතු කළ හැකි බව කවියා පෙන්වා දී ඇත. එහෙයින් මෙවර තරුණී කවි පිටුවේ 'හොඳම කවිය' තුෂාන් විශ්වජිත් ලියූ 'රජුගේ සැකය' යි.

Week of ජනවාරි 29, 2025