පාඨක නිර්මාණ

Week of පෙබරවාරි 5, 2025

වනස්පතිය
දිනේෂා ලක්මාලි විතානගේ ~ මිනුවන්ගොඩ

 
 සෘතුවෙන් සෘතුව
 දරාගෙන මල් ඵල ද
 දලු කොළ ද
 ඉපල් වී ගිය දර ඉති ද
 වරින් වර එන
 ඉඩෝරය මැද
 මුදුන් මුල රැක
 දරාගත්තා සෑම සෘතුවක්ම
 වසන්තය එන බව දැන
 දනිමි නැවතත් එන බව
 ඉඩෝරය...
 ඒත් එදිනට තබා යමි
 මා පුතුට හෙට ගැන
 ලස්සන සිහිනයක් නොවන පැතුමක්
 පල දරන්නට සවි වූ නොවූ
 හැම දලුවකම සාරය
 මේ පසට පස්වන බව දැන
 එක් විය යුතුය රැකුමට
 මේ විසල් වනස්පති
 

 

කවි ලිවීම බොහෝ වෙහෙසකර කටයුත්තකි. නිරන්තර අභ්‍යාසය කාව්‍යකරණයේ සුසැදි ලක්ෂණයක් වෙයි. එකී ගුණයෙන් සමත් නොවන ඒවා කවි ලෙස සැලකිය නොහැකි වේ. කාව්‍ය ගුණය සමත්වීම ම කවියක ප්‍රබල ගුණාංගයයි. එවැනි කවියක් ලෙස සෘතුවෙන් ඍතුව කවිය හඳුනා ගැනීමට හැකි වේ. කිවිඳිය කාව්‍ය අත්දැකීම ලෙස යොදා ගන්නේ අපූරු අත්දැකීමකි.

 

අනාගතයේ දවසක මේ මිහිකත මත වෘක්ෂයන් රැක ගත යුතු බව අපූරු ආකාරයෙන් කියයි.

කවියේ මතුපිට අර්ථය තුළ ධ්වනිතාර්ථවන්නා වූ අර්ථ ගැන්වීමට වඩා විශාල අර්ථයක් ව්‍යංගාර්ථවත් ලෙස කවිය තුළ ඉදිරිපත් වී තිබේ.

" ඉපල් වී ගිය දර ඉතිද
වරින් වර එන
ඉඩෝරය මැද
මුදුන් මුල රැක
දරාගත්තා සෑම ඍතුවක්ම
වසන්තය එන බව දැන "

මතුපිට අර්ථය ඉක්මවා යන බහු කලාපික අර්ථ ජනනය කිරීමට කිවිඳිය ප්‍රබල ලෙස සමත් වී තිබේ. ජීවිතයේ සාංදෘෂ්ටික දෘෂ්ටියෙන් කිවිඳිය දකින්නේ ජය හා පරාජයයි. ලැබීම් හා නොලැබීම්ය. ඉඩෝරයක් වසන්තයක් කවියා වචන දෙකකින් දක්වමින් පුළුල් අර්ථයක් කවිය තුළ ජනනය කිරීමට සමත් වේ.

ඉතාම සරල වචන කවිය තුළ භාවිතා කරමින් භාවිත ගුණය ඉක්මවා සෞන්දර්යාත්මක ප්‍රතිපාර්ශ්වය ඉහළ නැංවීමට කවිය තුළ සමත් වන්නේ භාෂා භාවිතය හරහාය.

නිදසුන් ලෙස “හැම දලුවකම සාරය මේ පසට පස්වන බව දැන” දැක්විය හැකිය.

බෞද්ධ දර්ශනයේ යථාව වන්නේද අනිත්‍යයයි. සියලු වස්තුන්ගේ අනිත්‍යභාවය හරහා ද විශාල ජීවන දෘෂ්ටියක් සඳහන් කිරීමට කවිය තුළ සමත් වී තිබේ. එහි හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ අනාගතයයි. අනාගත පුතුට වනස්පතිය රැකගත යුතු බව කවියේ දෘෂ්ටිමය ඉලක්කය බවට පත්ව තිබේ. එබැවින්ම එය අපූරු කවියක් බවට පත් වේ. අභ්‍යාසකරණයෙන් මුවහත් වන වචනය කවියට ආලෝකයක් ගෙන දෙන්නේ මෘදු ලෙසය.

සම්මත ආකෘතියෙන් ම කවිය මුදවාලන අතර නිසඳැස් සම්ප්‍රදාය කවියේ නිරුත්සාහක උත්සාහ කිරීම් ගලා යාමට බාධාවක් වී නැත. එය බාධාවකින් තොරව වැඩෙන වනය වැනිය.

කිවිඳියට තව තවත් කවි ලිවීමට දිරිය පතමි.

 

කඳුළට මිතුරූ…
ඉෂංකා මිහිරි ~ යටියන්තොට

 
 දරා හුස්මක බරම කඳුළක්
 ඇහි දාරේක හංගා....
 ඇගේ අතගෙන ඇවිද ගොස්
 අදත් ඉසුරුමුණිය වැන්දා....
 වරා ප්‍රේමෙක මුනිවතක රහස්
 ගල් කුළකට බන්දා...
 මැකී ගිය පා සටහන් ළඟ
 අදත් ඉකිබිඳිනවාද නන්දා....
 
 දරා සුසුමක රිදෙන කවියක
 හිස්තැනකට රිංගා
 ඉකියක රඳවා හීන සත් කුළ
 දිය කරනවා කඳුළු ගා
 අහිමි බව දැන දැනත් තුරුලට
 ගෙන රැක පණ හා
 බලා හිඳිනා ප්‍රේමයයි ලොව
 මිතුරුම කඳුළ හා
 
 නුඹත් මමත් තැනූ ලොව තුළ
 අදටත් අප නැතී
 සන්තක ප්‍රේමයක් ළඟ
 රකින්නට කඳුළක් ඇතී
 වසන්තය අහිමි බව දැනත්
 පීදෙනා මල් ඉතී
 හඬගා කියන රහසක සොඳුරිය
 අපට තව සිනා ඇතී...
  

සොඳුරු ගම්මානය
කේ. ජනනි ගයත්‍රි රණසිංහ ~ බණ්ඩාරගම

 
 ගියා මම ගම්මානයකට
 ඉතාමත් පිටිසර
 වෙල් එළිය, ඇළ දොළ
 තිබුණි පිහිටා ඉතාමත්
 මනරම් බවින් යුක්තව
 සැනසුවා මගේ දුක්බර
 හිත එම දර්ශනය
 සැමදා එලෙසම පවතීවා!
 එම සොඳුරු ගම්මානය
 
 

ගිලිහුණු මිනිස්කම
නීල් අමරවංශ ~ - කොළොන්නාව


 
 ඇළ දොළ ගඟ ගලා මහ මුහුදට යද්දෙන්
 මහා ගස් හැදී අතු ඉති සෙවණැලි දෙද්දෙන්
 උදයට පිපෙන මල හවසට පර වෙද්දෙන්
 ගිලිහුණු මිනිස්කමේ දලු යළි ලිය ලද්දෙන්
 
 අනෙකකු ලබන සැපතට පා විරෝධය
 පළ කරනවද මොන එහෙකට කොරෝදය
 මිය යන දිනෙක අදිනාවිට ගොරොද්දය
 සුරලොව සිහින ඒ වන විට පරාදය
 
 පිරිහුණු විට දී රට තුළ සමගිය සාමේ
 ගිලිහී යාම නියතයි මානව පේමේ
 හොරකම බොරුව අල්ලස රජ වෙන යාමේ
 සේදී ගියා සායම සිරිලක නාමේ
 
 මිනිසුන් මරාදී මිනිසත් කමට නිගා
 තණ්හා කුහක අද මිටු ගති කරන වගා
 අනුවණ කමින් සමහර අය නටති ඩෙඟා
 මරණේ ළඟදි මරු හට දිය නොහැක පගා
 
 මැද පිළිවෙතින් යන විට හරි ඉවසීමෙන්
 යහපත් සිතුම් මතුවෙයි හද සැනසීමෙන්
 ගුණදම් අනුව දහමට සිත නතුවීමෙන්
 පින් බල පිරෙනු ඇත හොඳ මිනිසෙකු වීමෙන්
 
 ලැබගත් විටදී වැඩිහිිටි ගුරු ඇසුර හොඳ
 පැසසුම් ල‍ෙබනු ඇත වියතුන් සබා මැද
 හොඳ හෝ නරක සෙස වෙයි අප කරන ලද
 ඒ නිය දහම වළකනු හැකි කිකල කද
 

ප්‍රේමයේ උල්පත්
නයන්ත ජගත් පුංචිහේවා ~

 
 විසල් මතක මැද
 සරසවි ප්‍රේමයෙ
 හිනැහෙන තරු ඇස සොයා ඇදෙයි
 ප්‍රේමයෙ හිමි සඳ
 සොයා ඇදෙයි
 හද තුළ හිමි සඳ
 සොයා ඇදෙයි
 
 හන්තාන ගිරිහිස
 පාළුව ඉවසන
 විහඟුන් ගැයු ගීයෙන් ආතුර ප්‍රේමයෙ
 උල්පත් ගලයි තවම ගලයි
 හද තුළ උල්පත්
 තවම ගලයි
 
 වසා කඳුළු කැට
 කළුවර අහසක
 දුරුරට සිහිනෙන්
 ආතුර ප්‍රේමයෙ
 උණුසුමක් තවම සොයයි
 හද තුළ උණුසුමක්
 තවම සොයයි
 

  

Week of පෙබරවාරි 5, 2025