අද හිමිදිරියට කවි තෝරන ඔහු
ළහිරු කරුණාරත්න
2012 වසරේ 'කටු තුඩට පිනි පහස' කාව්‍ය සංග්‍රහය පළ කරමින් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි ළහිරු කරුණාරත්න සිය දෙවැනි කවි එකතුව වූ 'වැහිබින්දු කටහඬ' ප්‍රකාශයට පත් කරන්නේ 2017 දී ය. අනතුරුව ඔහු 2020 දී 'ගොළු වෙණ තුරුලු කරගෙන', 2023 දී 'නොඉම්' යන කවි එකතු රචනා කරයි. ළහිරුගේ අලුත්ම කවි සමුච්චය වන්නේ මේ වසරේදී (2025 දී) පළ කළ 'සිඳු සිඳුණු සිදුවීම්' කෘතියයි.
තවමත් සොයමි
හොඳම කවිය
ඇඹුල
ඇඹුල්කර මුහුණ
අසයි නැන්දම්මා
නැද්ද තවමත්
ඇඹුලක් කන්න හිත
වාරේ අවාරේ නැතිව
පල දරන හැටි
පේනවද.....
සියඹලා ගස
දැනුණාට හදවතට
පිළුනක රස
තිත්තයි
නැන්දම්මේ ඇත්ත
දරුවන් කන විටත්
ඇඹුලක රස
හිරි වැටේ
අම්මලාගෙත් දත
ෂර්මිලා බංදුනී දංවත්ත
මේ කවියට පාදක වන අත්දැකීම මින් පෙරද බොහෝ කවීන් සිය නිර්මාණ බිමට කැඳවූවකි. එහෙත් කිවිඳිය මෙහිදී ඉතා සියුම් කාව්‍ය ශරීරයකින් දරුවන් පමා වීමේ අනුවේදනීය හැඟීම කවියට නංවන්නේ රස නමැති රූපකය කේන්ද්‍රයේ තබාගෙන ය. මුහුණ ඇඹුල් කිරීම, ඇඹුලක් කෑම, පිළුනක රස ලෙසින් 'රස' යන්න එක් රේඛාවක පිහිටි සම්බන්ධතාවකට ඈඳමින් ඇය කරන සංරචවනය තියුණුය. තමා තුළ වන හැඟීම් මතින් උපන් වෙහෙසත්, බාහිර සමාජයේ ඇස නමැති පීඩාකාරකයට දක්වන සියුම් විරෝධයත් එකවර මේ කවියෙන් මුදාහැරේ...
එදා
සවස 4.15 වෙනකොට
නුඹ
කන්තෝරුව ගේට්ටුව ළඟ
නැත්නම්
තැපැල් කන්තෝරුවේ දොරකඩ
අපි දෙන්නා හමුවන හැම දවසකම
වැව රවුමේ බංකුවක් සොයා යද්දී
රොබරෝසියා මල් වැටිලා
ළා දම්පාට රෙද්දක් එළලා වගේ
වැව රවුම බිම දිගටම
මම මල් නොපාග යනකොට
නුඹ කියන්නෙ
පෙම්වතුන්ටයි මල් පාවාඩ එළලා තියෙන්නෙ
පෑගුවට කමක් නෑ කියලයි
අද,
මම තනිවම
වටපිට නොබලාම
බිම බලාගෙන
වැව රවුමෙ හෙමින් හෙමින් යමින්
රොබරෝසියා මල් අතරෙ හොයන්නෙ
නුඹ මාව දාලා ගියා වගේ
නුඹේ ආදරේ මේ මල් අතරේ
කොහේ හරි දාලා ගියා ද කියලා
ශෝභා කුමාරසිංහ
පිළියන්දල
ආරාධිත කවිය
ඇයිද ඔබ තාමත් නිදී..?
ගිමන් කල එක් සැඳෑ සමයක
මියදුණොත් මම ළය පැලී..
මගේ හිතමිතුරන්ට දන්වා
එපා මහමඟ සැරසිලි..
පණ තිබෙන කවිවලින් නිමවූ
හුදෙකලා සොහොනක වැදී..
මට මගේ වුණ සියලු තැන්වල
කඳුළ දුක සිපගනු හැකි..
රැයේ පිපෙනා මලක් ගාණෙම
ඇවිත් ළඟ ඉන්නව රැඳී..
එවන් මොහොතක සඳේ නොඅසන්
"ඇයිද ඔබ තාමත් නිදී..?"
~ ඉලක්ෂ ජයවර්ධන ~
කන්නගී මං...
කන්නගී මං
දොසක් නෑ තුන් හිතක
නුඹ ගැන...
දෝස කාලයක්
ලැබුවාම ඔහොමමයි
රුස්සනා දේමත්
නුරුස්සා යනවමයි...
මඩේ හිටි ඉන්න වගෙ
වැනුණාට
කිව හැකිද වරදක්
කෙලෙස් පිරි හිත නෙව
කෝකටත් ඉදිරිපෙළ..
ඔය පපුවෙ ගැඹුරු තැන
ඉන්නෙ මං විතර වග
දන්නෙ අපි විතරමයි
කෝවලන්...
ඉතින් ආයෙත් එන්න
සයනයේ නුඹෙ කොටහ
පුරවන්න ආදරෙන්...
එස්. වික්‍රමතුංග
දියතලාව
ආදරය....
ආදම් ඒව නොඇසූ ප්‍රශ්න
තමයි අපිට තියෙන්නේ
ජීවිතයේ උන් තාමත්
හෝඩි පොතයි කියන්නේ
ආදරයේ හෝඩි පොතයි කියන්නේ
පරවේණි කඳුළ විසි කරලා
හිත් අස්සේ
හෝපලු මල් දිලෙන්නේ
උදුරාගත් හීන ගොඩයි
සඳ එළියේ දිලෙන්නේ
කොළඹ අහස ගුළිකරගෙන
හීන වලා දිලෙන්නේ
වපුරන කල නොවිසි බීජ
නඟුල් බරට වැටෙන්නේ
එදා කුමරි ඇරිය දොරයි
අද තාමත් ඇරෙන්නේ
පෙරුම් පුරා ඇරෙන්නේ
සුරාසොඬුන් ලගින වීදි
විලිබිය නැති දූතිකාවෝ වඩින්නේ
දෙනයන සිහිනිඟ පරදා
මාර වෙසින් වඩින්නේ
ගෝරනාඩු පද අහුරයි
සඳ ළමැදේ තියෙන්නේ
නීතියේ යුතුකම් අතරින්
චාරැදේවි වඩින්නේ
චන්ද්‍රිකා පුෂ්පරාණී ජයවීර
යළිත් වසන්තය ....
රොබරෝසියා යළිත්
වසන්තය ගෙනැල්ලා
කොලොම්තොට විදු බිමට
සරසවිය කැඳවලා
රතු රෝස කටු ඇනී
රිදුණු පා සනසලා
විදු මැඳුර බිම පුරා
මුදු පලස් අතුරලා
රීඩ් මාවත දිගේ
දම් පැහැය තවරලා
තටු ගසන යෞවනය
මලේ හැඩ වැඩි කළා
තුම්මුල්ල පිසින මුදු
පවනතර දැවටිලා
තව තවත් පිපීයන්
සියක් මල් බිම හලා
අළු පාට හැන්දෑවෙ
ඔය සෙවණෙ නැවතිලා
රෝස සුව විඳගන්න
සිතක් ඇත මඟ බලා
සුනේත්‍රා හේමමාලි
කොළඹ විශ්වවිද්‍යාලය
රොබරෝසියා
රොබරෝසියා ලස්සන
පිපී හිනැහී අතු අග
අඬ ගසයි වසන්තෙට
පුරවර සරසවි බිමට...
මල් වැසි වස්සවා විටින් විට
පාවඩ අතුරයි
මඟ දෙපස
යන එන පෙම්වතුනට...
තණතිල්ලේ
ඈත කෙළවර
පුංචි ලොවි බංකුවක
හැඟුම්බර
දිගු ප්‍රේම සංලාප
අතු පතර හිඳ රහසේ
අසන්නේ
සුළඟ පමණය...
මේ මල් වියන යට
දොඩමළු වන්න ආයේ
සිතකට වුව සිතේ
මැදිවියට ළං වුණ
රොබරෝසියා
පිපී හිනැහී අතු අග
අඬගසනා බැවිනි
වසන්තෙට....
සම්පත් දිප්පිටිගොඩ