අද හිමිදිරියට කවි තෝරන ඔහු තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ 2016 වසරේදී සිය ප්‍රථම කාව්‍ය එකතුව වන “රැහැයියනි රැය ගෙවුනි” කෘතිය ප්‍රකාශයට පත් කළේය.
ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන " ශාපලත් සේපියන් " 2024 වසරේදී සන්ථව ප්‍රකාශනයක් ලෙසින්
නිකුත් විය.
නැවතුණ ද හදගැස්ම
මෙතරම් අපිරිමිත
පරිණත ප්‍රේමයක්
ඔබ තුළ මෝදු වී
වගා වී ගැප් වී තිබුණ ද?
අස්වැන්නක් සේ
දෑස් පියාගත් ඔබ ගත
බහාලුමක හොවා
පිටතට ගන්නා කල
ඔබම වෙහෙසී ගොඩනැඟු කැදැල්ලෙන්,
මහද ගැස්මද,
නැවතුණුය ක්ෂණයකට...
ඒත්.... යළි පිබිදුණිය
දියණියන් දෙදෙන නමින්
ඔබ ලැබදී මා'තට
පවරා දුන් හෙයින්
යළිත්
ඇරුඹුණිය
ගැහෙමින් හදගැස්ම
බැඳීමක නොනිල වන්දිය වියෝවයි. ස්වරූපය කුමනාකාර වූවත් වියෝව යනු නියතයකි. සංකේතීයව හෝ යථාර්ථයක්ව සිදුවන මරණයකින් එම වියෝව සනිටුහන් වේ.
වියෝව කවියට ක්ෂේම භූමියකි. මිහිරිම ඵල දෙන තුරු විප්‍රයෝගය නම් වේදනාවෙන් තැනුණු ක්ෂේම භූමිය තුළ හට ගනී. නෙවිල් විද්‍යාරත්න මහතා විසින් රචිත මෙම කවියද එවන් වේදනාවේ පොහොර මතින් මතුව ආ මිහිරි කාව්‍යමය ඵලයකි.
සිය ජීවන සහකරුගේ/ සහකාරියගේ හදිසි වියෝවෙන් තැවෙන ආදරණීයයෙකුගේ වේදනාව මනාව මෙමඟින් පිළිබිඹු කරයි. ඒ සඳහා යොදාගෙන ඇති කාව්‍යමය සංයමය විශිෂ්ටය.
මා වඩාත්ම කැමති කාරණය නම් කවියා කවියෙහි
ලිංගිකත්වය පොදු කොට තැබීමයි. මෙහි ආමන්ත්‍රණය ‘ඔබ’ බැවින් මෙම කවිය ඕනෑම කෙනෙකුට තමන්ට විශේෂිත ජීවන අත්දැකීමක් සමඟ මෙය ගළපා ගැනීමට කවියා ඉඩ ලබා දී තිබේ.
“දෑස් පියාගත් ඔබ ගත
බහාලුමක හොවා
පිටතට ගන්නා කල
ඔබම වෙහෙසී ගොඩනැඟු කැදැල්ලෙන්”
මෙය ඉතා සංවේදීය. ජීවන අරගලය ජය ගැනීමට සිය සහකරුවා/සහකාරිය දුන් සම දායකත්වය කවියා මතුකරන අතර, ඒ වෙහෙසෙහි ප්‍රතිඵල දකින්නටත් පෙර හදිසියේ නික්මී යෑමේ වේදනාව මනාව මතු කරයි. සිය ආදරණීයයාගේ වියෝවත් සමඟ සියල්ල අතහැර යාමට පවා සිත් වුවද එසේ නොකිරීමට කවියාට හේතුවක් ඇත. ඒ දරු ස්නේහයයි. එබැවින් මෙතෙක් එක්ව කළ ජීවන අරගලයෙහි තනිව සටන් කරන්නට කවියා තීරණය කරයි. එම හැඟුම් සමුදාය කාව්‍යාත්මකව දක්වා ඇති අයුරු ප්‍රශස්තය.
කාව්‍යමය පොහොසත්භාවය, පරිණත වචන භාවිතය, හැඟීම් මතුකරවන රචනා ශෛලිය යනාදී කාරණා පදනම් කරගෙන මෙම කවිය මේ සතියේ හොඳම කවිය ලෙස තෝරාගතිමි.