අද හිමිදිරියට කවි තෝරන ඔහු කපිල කුමාර කාලිංග
දවස, ජනහඬ, ලක්බිම වැනි පුවත්පත් රැසක මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළ කපිල කුමාර කාලිංග රයිනෝසිරස්, උක්දඬුගින්න, සිහින සාප්පුව, බැංකු වීරයා වැනි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළේය. ‘වනබිමේ සිරකරු‘ ටෙලි නිර්මාණෙය් අධ්යක්ෂවරයා ද ඔහුය. දෑකැති මුවහත, ගංදෑල නිසලයි‘ වැනි ටෙලි නිර්මාණ ගණනාවක් රචනා කරන ඔහු ජනප්‍රිය ගී පද රචකයෙකි. නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු ලෙස දැන්වීම්කරණ ක්ෂේත්රයේ ද කටයුතු කරන ඔහු කවියෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්, කෙටිකතාකරුවෙක්, ගමන් විත්ති රචකයෙක් හා නවකතාකරුවෙක් ද වෙයි. පියැසි කවුළුව, කන්දේ වීදිය වැනි නවකතා රචනා කළ කපිල ලියූ ‘අදිසි නදිය‘ නවකතාව 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය.
දුඹුරු වලාකුළු , කෙටි වුණත් ඒ කවි හා විදෙස් කවි උයන ඔහුගේ කාව්‍ය කෘතින්ය. ‘වසන්තයේ අග‘ 2024 විශිෂ්ට ගීත රචනා එකතුවට හිමි රාජ්‍ය සම්මානය ප්රදානය කෙරිණි.
තෙරපිවරියකගේ ප්‍රේමය
මගෙ සියුමැලි අතැඟිලි තුඩු
කිලෝ ගණන් මස් පිරිච්ච
සිරුර පුරා දිවයනකොට
නුඹෙ තෙල් හම දැවිල යාවි
කාසිවලට මාරුවෙච්ච
නුඹෙන් ලැබුණු ආදරයට
අහක බලන්නේ කොහොමද
මට පඩිපත නොලැබ යාවි
මගෙ සිරුරේ සියුමැලි තැන්
ඔය ගොරහැඩි ඇඟිලි තුඩින්
පිරිමදින්න නොදුන්නොතින්
කළ සේවය මදි කියාවි
මගෙ හදවත ඉරුණු තැනින්
කාසි අහුරු පුරවාගෙන
ගෙදර ගිහින් යන්න එන්න
දවසක් නුඹ මට කියාවි
වර්තමාන ලාංකේය සමාජය තුළ, ලිංගික ශ්‍රමිකයෙකු ලෙස අවතක්සේරුවකට ලක්ව ඇති තෙරපිිවරියකගේ, දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු මෙම කාව්‍ය නිර්මාණය තුළ ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ නිර්ව්‍යාජී සංවේදීභාවයයි. කිවිඳිිය තම ප්රකාශනය සඳහා යොදා ගන්නේ නිරායාසයෙන් ගලා ආ වදන් වැලකි.‘තෙරපිවරිය’ යන වෘත්තීය නාමයෙන් හඳුන්වනු ලැබුවත් ඇය ගත කරන දිවියේ සැබෑ ඛේදනීය තත්ත්වය සරල කවි බසින්, නිරූපණය කරන්නට ඇය සමත් වෙයි. ඉන් සහෘද රසික සිත් සසල වෙයි. තෙරපිවරිය සිය රැකියාවේදී දක්වන්නෙත්, ලබන්නෙත්, කාසිවලට මාරුවුණු ආදරයකි. තම සිරුරෙහි දිව යන ගොරහැඩි ඇඟිලි තුඩු ඇය ඉවසා සිටිය යුතුය. ඇය පඩිපත ලබන්නේ, එම ‘සේවයට‘යි. ඇය තම, හදවත ඉරුණු තැන් පුරවා ගන්නේ ද ඒ කාසි අහුරුවලිනි. කාංචනා කුමාරි ද සොයිසා ගේ මෙම කවි සංකල්පනාව, නූතන ජන කවියක් බඳුය.