පාඨක නිර්මාණ

Week of මාර්තු 12, 2025

හොඳම කවිය
ශ්‍රියානි වීරසිංහ ~ දර්ගා නගරය

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.

එල කොල්ලෙක් මං
මල් දෙන්නම් මං....
 

මේ කවියේ උද්ධෘතය අප සැම දන්නා " මල් කෙල්ලක් මං, මල් දෙන්නම් මං " යන ප්‍රකට ගීය ඇසුරෙන් සකසා යම් අන්තර් පථීතමයි උත්ප්‍රාසයක් මතුකරයි. මෙහි වස්තු විෂය නැවුම් එකකි. සංචාරකයන් සහිත බස් හඹා ගොස් මල් විකුණන තරුණයෙකුගේ ආත්ම ප්‍රකාශනයක් මෙහි එයි. වාහන තුළ යන තරුණ තරුණියන් සතු යැයි ඔහු සිතන දිවිය සහ තමන්ගේ දිවිය සසඳා එහි උත්ප්‍රාස වෙනස බලන්නට අපට අමතන අතරම සුපුරුදු ශෝකයක් කරා අප රැගෙන නොගොස් සිය අභිමානය සහිතව සිටගනී. එම දැක්ම අපූරුය. ඔහු මෙහි අදාළ තරුණයාගේ මනෝභාවයන් ගෙනහැර දැක්වීමට ඉතා සුදුසු මේ මොහොතට අදාළව ජනවහරේ එන යෙදුම් සහිත ඉතා උචිත බසක් යොදාගනී. එමෙන්ම සිහිල් පවන තැනුණු අයුරු ඔහු අපට කියාදෙයි. ආකර්ෂණීය සංචාරක ස්ථාන පසුපස ඇති කතාවක් ඔහු ලුහුඬු බසින් මේ කවිය තුළ රැගෙන එයි. මෙය අපූරු රසයක් සහිත කවියකි.

 

එළ කොල්ලෙක් මං
මල් දෙන්නම් මං.........


හදා මල් මිටි රැයේ මැදියම
උදෑසන මා පියාඹන විට
ලේලන්ඩ් යන්නෙ මහ ලොකුවට
මං අජානේය තුරඟෙක් එතකොට
හිස දමා කවුළුවෙන් එළියට
අත වනා යන්න යනකොට
දිව්ව දෙපයට මාවතේ මල්
බුමුතුරුණු දැම්මා වගෙයි
වංගුවෙන් එනකොට මමත් ඒ
ගැම්මෙන්ම ඉස්සර වුණයි
ලේලන්ඩ් වට වංගු නඟිනකොට
වෙද මුල්ල කන්ද පැනල මං
පිළිගත්තෙ ආයෙත් මල් දෝතම දිගු කරන්
පැරදුණේ නෑ මමයි ෆස්ට්
උඩ පහළ දුවන එක
මහ කජ්ජක් නෙවෙයි
මේ කකුල් දෙක තියෙනකම්
නොගත්තත් මගෙන් මල්
තරහ නෑ මං දුන්නේම හිනාමල්
කප්පරක් දුක් හිසින් අරගෙන
හිනැහුණත් මං හාමතේ
තරගයක්මයි ජීවිතේ
මං හුස්ම ගත්තේම නෑ ඒ ටිකේ
සුළඟ සිහිලැල් පවන්
සැලුවෙ මගෙ දා බිඳු අරන්
මගෙන් මල් මිටි අරන්
ගියා ස'ප්‍රයිස් වුණ කුමර කුමරියන්
මේ සයිබර් අවකාශයේ
මල් කුමාරයෙක්ලු මං
නෑ....අනේ එළ කොල්ලෙක් මං

 

 

අද හිමිදිරියට කවි තෝරන ඔහු ඉසුරු චාමර සෝමවීර

කවිය, කෙටිකතාව සමඟ වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන ඉසුරු " සුද, තාණ්ඩව, අප දෙදෙන මැද මහ මුහුද " යන කාව්‍ය සංග්‍රහයන් ද " මලක් කතා කරයි, ගැහැනු පිරිමි මල් පලතුරු " යන කෙටි කතා සංග්‍රහයන් ද පළ කර ඇත. එදිනෙදා ජීවිතයේ ඇති උත්ප්‍රාසයන් සිය ලිවීම් ඔස්සේ ගවේෂණයට ඔහු වැඩි නැඹුරුවක් දක්වයි. සුළුතර ලිංගික ප්‍රජාවන් සම්බන්ධ ප්‍රස්තුත ඔහු නිතර සිය ලිවීම් තුළට හසුකර ගනී. වසර බොහෝ ගණනක් තිස්සේ ලිවීම් සමඟ සිටින ඉසුරු ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මාන කිහිපයක් ද දිනා ඇත.

‘නම්‘ පැසක් අතින් ගෙන යන නෝනා
හදිසියෙම හෝ හෙමි හෙමින් ~


 
 තාත්තා නළලත තැබුව අම්මා ප්‍රේෙමට පිදුව
 උපතින්ම ලැබුණ ‘නාමය‘
 කාන්තිය මදි; පරණයි කියා සිතුණා
 
 වෙන නමක් උදුරා පලඳිනා‘තර
 ඉදිරීමෙ රිදුමට ආදර මලක් දෙන්නැයි
 අනුරාගීව ඈ වරින්වර
 අලුත් සවනකට කෙඳුරූවා
 
 ‘නමක් අලුත් වූහාම උනණට හැකිය දුගී සළු
 පලඳවමි පා සලඹ රනින් නෙළු
 ඉදින්, දහතුන්වන තීරෙ* අලුතින් පුරවා
 සුපෙම් නාමයකින් යළිත් උපදින්න ඕනා...
 
 ‘නම්‘ ගැනම උමතුවෙන් දස අත පාවෙනා
 අම්මා දුන් ‘නම‘ නම් යළි හැඳුනුම්පතට වානා
 අලුත්ම නමක් අටවයි; නීතිමය අවසර සොයයි
 ‘නම්‘ පැසක් අතින් ගෙන යන නෝනා..
 
 හැඳුණුම මට අනුව හිස් බවක් ගේනා
 ‘දහතුන්වන තීරෙ‘ මදි වුවද ඇවැසි නම්
 අලුතින්ම යළි යළි ඉපදෙන්න
 උප්පැන්නෙ ඉඩ තියෙන්නට ඕනා
 නිතර පවසයි නෝනා
 
 යනෙනා‘තර විහිළුවක් ඇසඟින් මානා
 ‘නම්‘ පැස සමඟ ගමන විනෝදයි පානා
 මියෙන්නට පෙර පැස පුරවනා පිළිණ ගේනා
 ‘නම්‘ පැසක් අතින් ගෙන යන නෝනා...
 
 * උප්පැන්න සහතිකයේ නම  වෙනස් කරන තීරය 

මතක සුවඳ
කේ.ඩබ්ලිව්. සිරිසේන ~ මාලබේ

 
 ජීවිතේ මල
 දෝතට නෙළාගෙන
 සුවඳ විඳි පුෂ්පයක
 රුව සුවඳ
 ජීවිතේ අග
 අද වුවද දැනෙන රඟ
 

 

වයලීන තත් සිඳුණු දවසක
අනුර එස්. ප්‍රේමකුමාර ~


 
 ඇය සිඳියි
 වයලීනයේ තත
 නියවලට සීරී
 ලේ ගලයි එහි බඳ‍...
 
 බොල් බවක් පමණක්ය
 උච්ච ස්වරයේ හඬ...
 
 සියුම් ඇඟිලි තුඩු පහසින්
 ප්‍රකම්පිත තත්වලට
 උහුලන්න හැකි වේද
 ඒ රුදුරු නිය පහර....
 
 මන්ද ස්වරයෙන් තැනුණු
 ස්වර ප්‍රස්තාර
 රිදුම් දෙයි තත්වලට
 ' වයලීන හඬ මිහිරි
 උච්ච ස්වරයෙන් ගැයෙන විට '
 කෑ ගසා ඈ කියයි...
 
 දූලි බැඳිලා අඳුරු වුණ
 මඟුල් පින්තූරයේ අසල
 ඒ බිඳුණු වයලීනය
 තැබුවෙ නිකමටයි මම...
 
 ගිමත් උණුසුමට
 තරු බිම දිගට ඉහිරුණ පාර දිග
 ඇවිද යන විට දී මා
 දුරක සිට නිම්නද දී ඇසෙයි
 එදා ඈ වයලීන තත් මැද
 සුරත් සිහිනැ‘ඟිලි මැවූ සර...
 
 වික්ෂෝප වූ සුළඟට
 මතක මල් බිඳලන්න හැකි වේද
 එකින් එක...
 යුෂ්මතාගෙන් වෙන් වෙන්න
 අවසර පතයි ඇය...
 
 

කණමැදිරියෝ
පියසෝම රුද්‍රිගු ~ සීතාවකපුර

 

කණමැදිරියෝ සීතල දැනෙනවා ද
පනා පෙති වගේ හෙමිහිට ගැහෙනව ද
සිනාවෙන්න මුව අමතක කරනව ද
දිනා ගන්න බැරි ප්‍රේමය හැඟෙනව ද

දුරුතු මහට සීතල බව දන්නව ද
උණුසුම ලබන්නට කෙනෙකුන් සොයනව ද
තුන්යම ගෙවන තුරු ඇය හා දොඩනව ද
මම වාගේම නුඹත් තනිවම හඬනව ද

කණමැදිරියෝ සීතල දැනෙනව ද
දල්වා එළිය නුඹ උණුසුම සොයනව ද
තුන් තිස් පැයම පාළුවෙ ඔහෙ ගෙවෙනව ද
කොපමණ කාලයක් මේ ලෙස සිටිනව ද

මලිය මගේ පැල වෙත කැන්දන් එන්න
සුළිය වගේ ඇය අසලම දැවටෙන්න
වලිය නැතිව හැකි නම් කැන්දන් යන්න
එළිය දීලා යන පාරත් පෙන්වන්න


 

Week of මාර්තු 12, 2025