පාඨක නිර්මාණ

Week of මාර්තු 5, 2025

හොඳම කවිය
නිලූපා වර්ණකුලසූරිය ~

 තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.

මා හා

දෙනිපෙතේ අඳුර ද
මා හා හාදව
මිතුරු ගමනක
 
 
නිලූපා වර්ණකුලසූරිය කිවිඳිය විසින් ගොනුකර ඇති මෙම පද කිහිපය තනිකම සහ අන්ධකාරය අතර මිත්‍රත්වය පිළිබඳ හැඟීමක් ජනිත කරවනු පිණිස, රූප සහ හැඟීම් බුහුටිව මිශ්‍ර කරන්නකි.
 
කවියේ අන්තර්ගතය තුළ හුදෙකලාව, සමීපස්ථ පරිසරය හා අන්ධකාරය සමඟ අවියෝජනීය සම්බන්ධතාවයක් යෝජනා කරන අතර  ඇතැම්විට එය "තනිකම" සිදුකරන පෞද්ගලික අරගලය හෝ ඒ සඳහා තමා තුළින්ම ඉදිරිපත්වන ස්වයං-යෝජනා සංකේතවත් කරයි. 
 
සාමාන්‍ය තත්ත්වයක හටගන්නා "මිත්‍රත්වය" ,  "අන්ධකාරය" හා සම්බන්ධ සාම්ප්‍රදායික බිය හෝ නිෂේධනාත්මක බවට  පරස්පර වන නමුත්, එම "අන්ධකාරය" ම දුෂ්කර කාලවලදී පිළිගැනීම හෝ සැනසීම උපදවන බව කිවිඳිය අදහස් කරන බව හැඟෙයි. මෙය තනිකම වැ‍ෙළඳ ගැනීම, රාත්‍රියේ සැනසීම සොයා ගැනීම, හෝ තමන්ගේම සෙවණැල්ල සමඟ ඒකාත්මිකවීම වැනි තලයන් වෙතටද ගමන් කළ නොහැක්කේ නොවේ.
 
මෙහි කියැවෙන "දෙනිපෙතේ අන්ධකාරය" හිස්, හුදෙකලා සහ ශෝකජනක පසුබිමක අපේක්ෂාවේ සිතුවමක් පින්තාරු කරයි. විරුද්ධවාදියෙකුට වඩා හිතෛෂියකු ලෙස අන්ධකාරය පිළිගැනීම කුතුහලය දනවන විරුද්ධාභාසයක් නිර්මාණය කරන අතර කිවිඳිය එයින් යෝජනා කරන්නේ හු‍ෙදකලාව තුළ පවා සහයෝගීතාවයේ ස්වරූප වෙත පුද්ගලාරෝපණ පවතින බව විය යුතුය.
 
මෙහිදී අන්ධකාරය පිළිබඳ වන රූපකය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 
 "අන්ධකාරය" "ආලෝකය නොමැතිබව"ට වඩා වැඩි යමක් යෝජනා කරන අතර, එය පෞද්ගලික අරගල, ගූඪ හැඟීම් හෝ කවියාගේ ගැඹුරු සිතුවිලි නියෝජනය කරයි.
 
"ගමනක" යන වාක්‍ය ඛණ්ඩය ගතික බවක් එක් කරන අතර එය එක්තැන නොරැඳී අපේක්ෂාවන් වෙත ගමනක් යෝජනා කරයි.  තනිකම අත්විඳ ඇති හෝ සාම්ප්‍රදායික නොවන ස්ථානවල මිත්‍රත්වයන් අත්පත්කරගත් පාඨකයනගේ සිතිවිලි සමඟ එය අනුනාද වේ. 
 
අවසාන වශයෙන්
මෙම කවිය , පද අතළොස්සකින් සමන්විත වුවද හැඟීම්, සංකේත සහ සාහිත්‍යයික අලංකාර බුහුටිව මුසුකර ඇති නිර්මාණයක් ලෙස හඳුනාගත හැකි, කෙටි කවියකින් එපිටට ව්‍යාප්ත කිරීමට පවා හොඳ ආරම්භයක් ලෙස යෝජනා කළ හැකි අතර, එය තනිකම, ස්වයං-පිළිගැනීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් හා අපගේ වටපිටාව සමඟ අප ගොඩනඟා ගන්නා බැඳීම් පිළිබඳ ගවේෂණයක් සඳහා වේදිකාව සකසන්නක් බව හඳුනාගත හැකිය.
 
------------------
අද හිමිදිරියට කවි තෝරන ඇය ධනුෂ්කා නිෂාදි කුලරත්න 
 
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරියක ලෙසින් කටයුතු කරන එමෙන්ම නීතිඥවරියක වූ ධනුෂ්කා නිෂාදි අපූරු කිවිඳියකි. ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ " සඳ මුදුව මැවෙන්නැති " එළිදකින්නේ 2013 වසරේදීය. අනතුරුව තවත් වසර හතකට පසුව 2020 වර්ෂයේ ඇයගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය එළිදැක්වූ අතර එය           " ත්‍රිවේණි සංගමම් "  නම් විය.
නොසෙල්වෙන්....!
රේණුකා සුදර්ශනී ඉලංගකෝන් ~ කිරිඳිවැල
 
 
ඒ හමුවීම....
අහඹුවක් වගේ පෙනුණත්
ඒක තනිකරම
දෛවයම තීන්දු කරපු කරුණක්.
(දෛවය විශ්වාස කළේ නෑ මං)
 
ඉන්පසු.....
මෘදු සිනිඳු වැලඳ ගැන්මක්
වයින් සුවඳැති හුස්මක්
ටොබ්ලරෝන් ඇල්මක්
හොරැහින් බලන...
කාන්දම් වගේ බැල්මක්
 
තව තියෙනවා කියන්න දෙයක්
ප්‍රේමයේ තුලාවට
එදා නම් හොඳටෝම වැරදුණා
අනපේක්ෂිත ලෙසින්
එක් පැත්තක බර වැඩිවුණා
එතකොටම තරු දෑස් දැල්වුණා
ඇත්තමයි ....හිත
හරියටම තරුවක් වගේ
දිලිහිලා දිලිහිලා පිපිරුණා
 
ඒ වැටුණු තරු ශේෂ
මතක දූවිලි අතර
මේ දැනුත් නිවි නිවී දිලෙනවා
ප්‍රේමයේ නගරයේ 
අත් ඇඟිලි පටලවන්
ආයෙමත් ඇවිදින්න හිතෙනවා
 
මේ විසල් විශ්වයේ
කොයි ඉමක සිටින මුත්
අහඹුවක් නොවී මුණ ගැසෙනවා
මතක එළි අපට මඟ කියනවා
ජීවිතේ කවියක් ද
ගීතයක්, වන්දනාවක් ද
ඇත්තමයි හරි පුදුම හිතෙනවා
මුළු හිතම ආදරෙන් පිරෙනවා
 
ඉතින්...හෙල්ලෙන්න වත් එපා!!
 
 
 
දඩකෙළිය
හරිස්චන්ද්‍ර පී.ඩී. ~
 
අණබෝල බැන්දාට
වගක් නෑ කොක්කුන්ට
උන්ගෙ හිතු මනාපෙට
ගොඩවළේ දඩකෙළිය
 
 
තබා යා යුතුය මඟ
මනෝරි ගමගේ ~
 
 
කාලයෙන් කාලයට නැවී අතු යන මඟට
ආදරෙන් පිරිමැදුම් දෙවයි වැළපෙන  හිතට
සීරුවෙන් අත්වැලක ඉඟිය දී තව  සොඳට
ජීවිතෙන් ඉඩ ගනියි හිතා ගනු බැරි ලෙසට
 
ලියා නව ස්වර රටා හිත හැදෙන විලසකට
කියා නෙක පද ගොතා මිහිරටම  මඳනලට
මවා නෙතු මත ඉතා සුබ සිහින  ලස්සනට
තියා යන හැටි තමයි කාරණය      පුදුමයට
 
මහා රුක නොසෙල්වී  පුදයි සවිරැඳි අතක්
කුඩා එක බැල්මකින් කියයි නොකියුව දහක් 
හමා එන මඳනලට වුවද සෙලවෙන හුඟක් 
තබා යා යුතුය මඟ අතු කිසිත් නැති වැඩක් 
 
 
 
නූතන රෝමියෝ ජුලියට්
*** ~
 
 
මං රෝමියෝ 
නොවෙයි
රොමියෙල්
එයා ජුලියට් නෙවෙයි 
වයලට් 
 
අපි එකට 
ජීවත් වෙනවා.....!
ජීවත් වෙන්න 
රැකියා 
දෙකක් කරනවා......! 
 
එයා පුර සුන්දරී
මම වීදි සිත්තරා......!
දෙන්නාම 
වීදියේ 
දෙවිදියකට......! 
 
දහවල මගෙයි......!
රාත්‍රිය ඇගෙයි......!
හිරු.... සඳු....! 
අපට.....
තරු.... නෑ....... 
 
ඉර පායනකොට 
ඈ ගෙට එනවා
මං ගෙදරින් 
පිට වෙනවා....
හිත මත ඔබෙත් 
ජීවිතය 
ඇත

Week of මාර්තු 5, 2025