පිරෙන කඳුළැලි
නෙතඟ ඕසෙට
නොපෙනෙනා සේ
පිසින්නම්
දැනෙන සරතැස
දිවිය පාමුල
නොදැනුණා සේ හිඳින්නම්
ලැබෙන අවමන්
මසිත හීරෙන
නොහැඟුණා සේ විඳින්නම්
රැකෙන පතිවත
නුඹගෙ නාමෙට
නොබිඳෙනා සේ රකින්නම්...
විසුල අහසට
එළිය සඳවති
නුඹද නිදි නෑ රැයෙත් නම්
අකල ගිලිහුණු සුවඳ මල්පෙති
රොනට ඉඩ නෑ යළිත් නම්
අපුල දිවිමඟ තනිය රඟදෙති
සිහින හැඩ නෑ තවත් නම්
පතුල සිඹිනට
කඳුළ සැරසෙති
සුසර බව නෑ තනුත් නම්...
කිණිති තරු මල්
දිලෙන දවසක
නුඹට රහසින් කියන්නම්
පිරෙන සිතුවම් හඬන දෙනෙතක
කුමට කඳුළින් මුදන්නම්
දෙසති බුදු දම්
නිවෙන පදයක
නමට දන් පැන් පුදන්නම්
විමති නොමවෙන්
නොයෙන ගමනක
නුඹට නුදුරින් නිදන්නම්....
වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday