තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට WhatsApp කරන්න.
හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.
හිමිදිරියට අද කවි තෝරන ඔහු වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
පේරාදෙණිය විශ්වවිලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගෙන ඇති ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහ හයක්, කාව්‍ය විචාර කෘති දෙකක් සහ හයිකු පරිවර්තන කාව්‍ය සංග්‍රහයක් නිකුත් කොට ඇත. වෘත්තියෙන් ගුරුවරයකු වන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ කෘති ජාතික මට්ටමේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත .
හොඳම කවිය
වැහිබර අහස යට
මන්දාරමේ පාවී එන
ලිලී මල් සුවඳක් ය ඔබ මට
ලස්සනම රෑ අහසෙ,
ඈත ක්ෂිතිජ මායිමේ
ලිලැක් පාට තරුවක් ය ඔබ මට
මීදුමෙන් වැසී ගිය,
සීතලම කඳු යායේ
වන මල් සුවඳක් ය ඔබ මට
විඩාබර ගිම්හානයේ,
සරතැස නිවාලන
ඩේසි මල් සුවඳක්ය ඔබ මට
නිරෝධා අමාවී
අලව්ව
සිරුරින් කුඩා මේ කවිය සංකල්ප රූප ඇසුරෙන් ප්‍රේමය ස්පර්ශ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස අගය කළ හැකිය. ප්‍රේමය අනන්තය යන හැඟීමද, ප්‍රේමය ජීවිත විඩාව සංසිඳවන දෙයක් ය යන හැඟීම ද මේ කවිය අප තුළ ඇති කරයි. මල් සුවඳ වැනි සුලබ සංකල්ප රූප යොදා ගැනීම නිසා පුහුණු රසිකයකු තුළ ආනන්දජනක සිතුවිලි ඉපදීම අවුරා සිටින ලකුණු දක්නට ලැබීම මේ කවියේ සීමාසහිත බවක් ලෙස සඳහන් කළ හැකිය.
--------------------
ඉතින් අසාපන්...
දුවේ කියවිය යුතුම පොත
ගැහැනියකගේ හදවත
ලියා තබනෙමි ඔබ වෙත
ඉතින් අහපං වසාගෙන නෙත
තටු ගසන සිතිවිලි
හඬ නඟන මැසිවිලි
අතර ඇති ඇවිටිලි
ආදරය ළඟ බැඳෙන අතැඟිලි
දුවේ ප්‍රේමය ළඟ
ගැහැනු කැමතිම තැන
පතන තරමට හිඟ
නිසයි නිතරම කඳුළු නෙත් අග
ඉරටත් කලින් පිබිදෙන
මල් මත සුවඳ තවරන
නටුවට කැකුළු පවරන
කටුත් අතරින් පතර රඳවන
ගැහැනිය නමැති තඹරු
නොපිපෙයි ලොවක අඳුරු
ඇතත් කටු පඳුරු
එතන මල්පල තබයි සොඳුරු
පුතේ,
හමා යන සුළඟට
වැට කඩුලුු බැඳ පල නැත
විසල් රුක් සෙවණක
ලැබෙන සිසිලත් සනසවයි සිත..
දිනේෂා විතානගේ
මිනුවන්ගොඩ
-----------------
අපේ අම්මා...
හබරල අතු දෙකක් ඇතිය
හොඳටම නොතෙමි සිටින්ට
වැහි දෙයියෝ.....වැහි තිරයෙන්
මොහොතක් සැඟවී සිටින්ට
ඉරුගල කන්දෙන් පහළට
හෝස්ගාලා...වැටෙන සද්දෙ
මොහොතක් ....නෑසී සිටින්ට
රුප්පාවට මුවාවෙලා
තාන්තුවෙන් සිටිය හැකිය
වැට අයිනේ මල් පිපිලා
හිනා වෙමින්....රඟන රැඟුම්
මල කියන්න....මලේ සුවඳ මලට නොවෙයි
ගඟ කියන්න....ගඟේ ජලය ගඟට නොවෙයි
සඳ කියන්න....සඳේ එළිය සඳට නොවෙයි
මං කියන්නේ අපේ අම්මා අපේ තමයි
නංගියේ අපි මල් පුදමු
අපේ අම්මා සිහි කර කර
යස අගේට සිටි අම්මා
වැහි වැටුණත්.... අනෝරා වැහි වැටුණත්
නංගියේ අපි මල් පුදමු
අපේ අම්මා සිහි කර කර...
ඒ පින් ඇති....අපේ අම්මා බුදු වේවා
චන්ද්‍රිකා පුෂ්පරාණී ජයවීර
--------------
දරාගනිමු
ගෙට එන්න පෙර
මැවූ හසරැල්
නොවෙද මේ
ගෙට ආව පසු
ඇවිළුවේ ගිනිදැල්
හිත රිදවගෙන පලක් නෑ සොඳුරියේ
දරාගමු අපි මේ රිදුම්
නෙත් පුරා කඳුළු බොඳකරන්
හිත් පුරා සුසුම් සිරකරන්
ඉතින් කුමටද ළතැවිලා
අපි එක්ව විසඳුම් සොයමු
තවත් සෙනෙහෙන් ළංවෙලා
ජීවිතය යනු සිහිනයක් පමණකී
නොසිතූ දේ නිති සිදුවෙතී
ඉතින් කුමටද වැලපිලා
අපි සතුට සැනසුම සොයා යමු
රුදුරු බාධක බිඳ දමා
තුෂාන් විශ්වජිත් ගමගේ
ගාල්ල
-----------------
එක මිටට
තල් අරඹින් ඉට්ලි වඩේ
මාගම් පුර ඇඹුල් තියල්
මේ හැම එක දවසක අපි
මුණගස්සමු තංගමනී
එන්න කියමු ෆාතිමාට
මීනගයාවෙන් කොළඹට
එන්නම් අපි යාල් දේවියෙන්
බලන්න තංගමනී
උතුර, දකුණ, නැඟෙනහිරත්
යාකරලමු තංගමනී
නාග විහාරය වැඳලා
නල්ලූර් යමු තංගමනී
ගංගා නිරෝශිනී සමරවික්‍රම
----------------
දෙආකාර
දිවා කල
හිරු විසින්
පිළිකුලෙන්
වීසිකළ
කළුවර
රෑ කල
සඳු විසින්
ආදරෙන්
තුරුලුකර
ළඟට ගෙන
කේ.ඩබ්ලිව්. සිරිසේන
මාලෙබ්.
-----------------
ආරාධිත කවිය
අසම්මත තුරුලිය
මහලු තුරු බඳ
වෙළා වැලඳගෙන
තුරුණු ලියවැල
මඳ පවන සමඟ
මුකුළු කරන විට ලියවැල
ඔරවා බලන්නෙ ද
මහලු තුර
නැතහොත් නොදුටු සේ
කරබාගෙන සිටින්නෙද
ලියවැල
ළදලු පත් සලා
සෙමෙන් කිති කවන විට
මහලු තුර
ඉවසාගෙන සිටින්නෙ ද
නො එසේව
වියපත් ගතට එය
නොදැනේ ද
තුරුණු ලියවැල
මල් පළා ඵල පතන විට
මහලු තුර
ඉහළ ගුව'නත
තරු ලකුණු සොයන්නෙද
සුදත් ගාමිණී බණ්ඩාර