පාඨක නිර්මාණ

Week of මැයි 14, 2025

හිමිදිරිය
හිමිදිරිය ~ තරුණී, ලේක්හවුස්, කොළඹ 10

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට WhatsApp කරන්න.

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.

අද හිමිදිරියට කවි තෝරන ඇය කල්පනා ඇම්බ්‍රෝස්.

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කියන්නේ තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවක් ගොඩනඟා ගත්තු අපේ කාලයේ විශිෂ්ට කිවිඳියකි. ඇය විසින් රචිත "නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි, පියා නොහැඹූ පියාපත්, මේ නිහඬ වෙරළට එන්න, ඔබ ගැඹුරු නින්දක" වැනි කාව්‍ය සංග්‍රහ ඊට කදිම සාක්ෂි සපයයි. විශේෂයෙන්ම පියා නොහැඹූ පියාපත් කාව්‍ය සංග්‍රහයට ඇය ලියූ කෙටි කවි ඉතා රසවත් නැවුම් අත්දැකීමක් පාඨකයන් වෙත ලබාදෙන්නීය.
 

දුන්හිඳ දියඇලි කුමරි

ඈතින් පෙනෙනවා
මට දුන්හිඳ ඇල්ල
පෙනෙනා ලෙසට
ඇය හරි සුරතල් කෙල්ල
ඇය තුළ නැතත් මහ සයුරේ මෙන් රැල්ල
හරි සොඳුරුයි
ඇය නංවන හිනැහිල්ල

දිය ඇලි කුමරිගෙන්
පිටවී ගියත් දුම
ඇය බලනට ප්‍රිය කරනවා පැමිණි සැම
රජ කුමරිය සේ දිස් වෙයි
ඇගේ ළැම
මනරම් බවයි පවසන්නේ
ඔබට මෙම

දිය ඇලි කුමරි වීලා
ගිය විට පැරැණි
කවි සිතකට නම් විලසයි
ඇය තරුණි
කවි පද ගොතා
ඇගේ වත ගැන ගී ගැයුණි
ඇය තුළ සිටින විට
මනරම් බව දැනුණි

පිපුණේ නැතිද
ඇයගේ ගත තුළ ඕලු
සුන්දර බවින්
මිනිසුන් වෙත හරි යාළු
ඇගේ දිය පහර දුරලයි
අපගේ පාළු
සුන්දර මවන්නට
මට කවි පද මදිලු

වලාකුළුත් හෙළනවා
ඇය හට බැල්ම
ඈ පිළිබඳව
හිත තුළ ඇති වෙයි ඇල්ම
දිය ඇලි කුමරි තුළ
පවතින ඇස් කැල්ම
එම කැල්මට මෘදු
වෙනවයි හැම හිත්ම

මතකය තබා
දිය ඇලි කුමරිය ගාව
ආවාට මතකේ යන්නේ
නැහැනේ පහව
ඇය සුවපත් කළා
දුක්බර වුණ මාව
ඈ ළඟ පරදීවි මහවැලි ගංගාව

කේ. ජනනි ගයත්‍රි රණසිංහ
බණ්ඩාරගම

-----------------------------

 

හොඳම කවිය

ජිනදාස ඔබ එන්න

කළුවරට මහගෙදර
වහන් වී ඉකිබිඳියි
පුරහඳට ඒ අඳුර
පලවන්න බැරි හැඩයි
තාත්තගෙ සොහොන් කොත අඳුර අතරින් පෙනෙයි
ජිනදාස ඔබ නොමැති
මහගෙදර නිසසලයි

වියන් ඇඳ සේද රෙදි
සුසුම් පොදි වගුරවයි
ඒ සුුසුම මගෙ හදට
ඔබෙ සුවඳ කැටි කරයි
දුරුතු මස සීත රැය
කඳුළු කැට විසුරුවයි
ජිනදාස, ඔබ එන්න
ඔබේ නන්දා මමයි

කාසියේ වාසියට ජීවිතය
සින්න වෙයි
පියල් ඒ බැව් හැඳින
මහගෙදර දෙස බලයි
ඒ වුණත් පියල් හට
ජීවිතය තව දුරයි
ජිනදාස, මගේ හිත
එදා මෙන් ඔබ ළඟයි

පී.එල්. ජානක විශ්වජිත්
රත්ගම

ගම්පෙරළියේ චරිත වෙත හෙළන වෙනස් දෘෂ්ටි කෝණය මේ කවියේ ඇති සුවිශේෂී අංගයකි. පියල්ගේ හා නන්දාගේ ප්‍රේමය වෙනුවට ජිනදාස කෙරෙහි වූ නන්දාගේ ප්‍රේමය ගම්පෙරළියේ පවා වෙසෙසින් ඉස්මතු කරන්නක් නොව සිදුවීම් කිහිපයක් තුළ සඟවා ඇති කරුණකි. එය කියවා ගැනීම මෙහි අනුභූතියට ආලෝකය සපයයි. එමෙන්ම ගරා වැටෙන මහගෙදරින් සංකේතවත් කරන ආර්ථික කඩා වැටීමද පියල්ගේ අභිමතාර්ථයන් ද කවියා වදන් කිහිපයකින් මෙහි ලා කියා පායි. සැමියාගෙන් දුරස්ථව හිඳින බිරියකගේ සිත තුළ ඇති පාළුව සහ තනිකම‍, ගේහසිත සෙනෙහස අහිමි වීමේ කටුක බව විවිධ සංකේත ඇසුරින් කියාපෑමට ඔහු දක්වන සමත්කම ද අගය කළ යුතු එකකි.
 

---------------------------------
 

 ආරාධිත කවිය
 

මං නිල්පාට තරුවලට
කළු තාර ඉස්සා.
සමනළියන්ගේ තටු කපලා
කැත පණුවෝ කරා.
රෝස පොහොට්ටු යායක්ම..
රතුපාට ගින්නෙන් නෑව්වා.
සඳවතියට ගල් ගහලා පුන් පෝය අමාවක කරා.

මං පටන් ගත්තා සේල් දාන්න.
ආදරයේ සූදුව කෙළින්න.

මොන ලබ්බක්ද ඒ?
භෞතික පැවැත්ම
හෝර්මෝන
ලිංගික ආකර්ෂණය
හරි ලාබයි වීදිවලත්.....

ඇඟ මාංශය පමණක්
වළඳන අලුගෝසු හිත
හරි ඉක්මනට ආදරය මරා දැම්මා.
ඒක ඔතල
කුණු බක්කියට දමලා
බ්‍රැන්ඩි බෝතලයක්ම හළලා.
සිගරට්ටුවකින් ගිනි තිබ්බා.

ටික වෙලාවකින්.
මං කුණු බක්කිය ගාවින් යද්දි..
ඇහෙනවා කෙඳිරිලි හඬක්..
මං ළං වෙලා බැලුවා
එයා පණ අදිනවා.
මැරිලා නෑ

මං ගත්තා කුළු ගෙඩිය අතට
දැන් ඉවරයි කරදරය...
දැම්මා බ්ලූමැන්ඩල් යන කුණු ලොරියටම ඒක...

ඒත්....

පහුවෙනිදා මං වැඩට යද්දි
පස්සෙන් එන සද්දයක් ඇහිලා
මං හැරිලා බැලුවා.
ඒ ආදරය.

ලේ ගලන තුවාල එක්ක.
මං කුළු ගෙඩියෙන් තළලා...
කුණු ගොඩට විසි කරපු
ඒ පොදිය...
නාවර පෙරාගෙන..
මගේ පස්සෙන් එන හැටි..
මංම දැක්කා.

"බස් හෝල්ට් එකේ අදත් හිටියා."

කේතකී නුගවෙල
 

--------------------

කැකුළු මලක්

මලින් පිරීගිය උයනේ පිරිපුන්
නිල් කටරොළු මල් කැකුළේ සුවඳින්
ගිමන් නිවාලන පවනක සිරිදුන්
පහන් කරයි සිත දුටු ඒ මොහොතින්

අයාලේ ගිය මගෙ අතීත සුළඟට
ඉඩක් නුදුන් හැටි කුසුමේ කිසිවිට
පෙර සසරේ මට හමුවූ විලසට
ඔබේ සුවඳ නම් සුවඳයි හැමවිට

පායන සඳසේ සිසිලස අරගෙන
වලාපෙළින් බැස මා වෙත පැමිණුන
පැතුමට පැතුමක්
එක්කොට බැඳගෙන
කුසුමේ ඔබ මා හිතට තුරුලුවුණ

බඹර වෙසින් ආ දෙබර ගීතයෙන්
මුලා නොවී ඔබ රහසේ සැඟවෙන්
නෙළා ගන්න තුරු අප බැඳි පහසින්
මල් කැකුළියේ ඉනු මා වෙනුවෙන්

උපාලි කස්තුරි ආරච්චි
පානදුර

 

------------------

ගැහැනු

කවිකාර හිත්ගාව නිතර දඟ කරපූ
ආදරේ කවුළුවෙන් ජීවිතේ දැකපූ
නිදිකුම්බ මල් වගේ දරාගෙන උන්නූ
මලක් වගෙ පෙනුණාට ගලක් වගෙ ගැහැනූ

අකල් වරුසා ළඟදී නොහෙළාම කඳුළු
නිදිකුම්බ කොළ වගේ ගුලිවෙලා උන්නූ
මොහොතකින් ආයෙමත් නැඟී උන් අයුරු
මලක් වගෙ පෙනුණාට ගලක් වගෙ ගැහැනූ

ඔරලෝසු කටුවලට අභියෝග දුන්නූ
ඉරට කලියෙන් පිපී ගෙයි සුවඳ විහිදූ
හඳත් නිදිගත්තාම දවස නිම කරපූ
මලක් වගෙ පෙනුණාට ගලක් වගෙ ගැහැනූ

එකෝමෙක දවසකදි ඔටුනු පලඳවපු
අන් දිනෙක කිසිවෙකුට මතකයක් නොවුණූ
සොළොස් අත්වලින් වැඩ කෝටියක් කරපූ
මලක් වගෙ පෙනුණාට ගලක් වගෙ ගැහැනු

එස්. වික්‍රමතුංග
දියතලාව

 

 

 

Week of මැයි 14, 2025