පාඨක නිර්මාණ

Week of මැයි 7, 2025

හිමිදිරිය
හිමිදිරිය ~ තරුණී, ලේක්හවුස්, කොළඹ 10

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට WhatsApp කරන්න.

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.

අද හිමිදිරියට කවි තෝරන ඔහු කපිල කුමාර කාලිංග
 

පුවත්පත් රැසක මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළ කපිල කුමාර කාලිංග රයිනෝසිරස්, උක්දඬු ගින්න, සිහින සාප්පුව, බැංකු වීරයා වැනි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළේය. ‘වනබිමේ සිරකරු‘ ටෙලි නිර්මාණ‍ෙය් අධ්‍යක්ෂවරයා ද ඔහුය. දෑකැති මුවහත, ගංදෑල නිසලයි‘ වැනි ටෙලි නිර්මාණ ගණනාවක් රචනා කරන ඔහු ජනප්‍රිය ගී පද රචකයෙකි. නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු ලෙස දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ද කටයුතු කරන ඔහු කවියෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්, කෙටිකතාකරුවෙක්, ගමන් විත්ති රචකයෙක් හා නවකතාකරුවෙක් ද වෙයි. පියැසි කවුළුව, කන්දේ වීදිය වැනි නවකතා රචනා කළ කපිල ලියූ ‘අදිසි නදිය‘ නවකතාව 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. දුඹුරු වලාකුළු, කෙටි වුණත් ඒ කවි හා විදෙස් කවි උයන ඔහුගේ කාව්‍ය කෘතීන්ය. ‘වසන්තයේ අග‘ 2024 විශිෂ්ට ගීත රචනා එකතුවට හිමි රාජ්‍ය සම්මානය හිමිවිය.

**************

ලුසියානෝ මරෙන්සිට ...

විසිවැනි සියවස
ඔබ කළ විකුමෙකි
කළුතෙල් ගෑ විට
සීගිරි රූ මත

ඉතාලියෙන් ආ
සිත්තර වෙසරද
රන්වන් නිල්වන්
සෙල් සිතුවම් පෙළ
යථා විලස ගෙන
ඉතා ලියන් කර
මතු කළ විස්මය
නොඇඳ ම,රූ සපු
කළු කඩතිර හැර
ලක්දිව සිතුවම් දැන
මන පොබ කර
ලෝ උරුමය රැක...

කාකවණ්ණ ආලේපන සුන්කර
සුරුදැනුමකි, ඒ
බිතු රූ මතු කළ...

අදත්  එ'ලලනා රූ
අප දන්නේ
ඔබෙ
පැණසර
නිමැයුරුවෙනි
සුරුවෙනි...!

කුමාර ලියනගේ

-----------------------------

හොඳම කවිය

පිරිමි නෙත්වල කඳුළු නොමැති ද?
 

කඳුළු අකැපද පිරිමි නෙතකට
අන්තිම මොහොතක සිතුණි මාහට
නැති නමුත් සැමවිටම සැම ළඟ
​​​ගිලුණි කිමිදුණි සොයා ගැඹුරට

කිඹුල්වත් රජ මැඳුරෙ එවකට
යද්දි රාහුල කසාවතකට
ඉඳින්නට ඇති කඳුළු නෙතු අග
මහලු සුදොවුන් රජුගෙ තනියට

පියා දඟ ගෙයි මියෙන මොහොතට
පියෙක් වුණ ඒ අජාසතු හට
දැනුණ සෙනෙහස කිරිසුවඳ ළඟ..
නැතිද කඳුළක් තිබුණෙ දෙනෙතට

කාළිදාසගෙ මහා කවියට
වියෝවක් ලිව් මේඝදූතෙට
නිමිත්තක් විය කඳුළු ඇස අග
පිරිමි කඳුළක් රසඳුනක් කොට

මූදු වෙරළට උයන් ගොමුවට
ඇප්වලින් අද අලුත් විදිහට
ප්‍රේමයක් සෙව් පෙම්වතුන් ළඟ
කඳුළු නැති යැයි කියනු කෙලෙසට

සිරියහන් ගැබ දැනුණු තනියට
පියඹ සිහිවුණ සාජහන් හට
නොමල පෙම ළඟ කඳුළු ඇස නැග
තියෙයි තාමත් ටජ්මහල යට

මලක් සේ හැදු දුවත් මතුවට
පෝරු මස්තක කෙරෙන දිනයට
ඒවි කඳුළක් මගෙත් ඇස අග
එවිට ඒ දුක දරනු කෙලෙසට

ගාමිණී මද්දුමගේ
දිසා වෛද්‍ය නිලධාරී
බදුල්ල බන්ධනාගාර රෝහල

*****************
 

සාමාන්‍යයෙන් පිරිමි, කඳුළු නොපෙන්වා සිටීමට උත්සාහ ගන්නේ, එය පිරිමිකමට නිඟාවක් යැයි සිතනා බැවිනි. මෙය ජනගතව ඇති සාම්ප්‍රදායික මතයක් වුවද පිරිමි සිත් තුළද කඳුළු උපදී. ගාමිණී මද්දුමගේ විසින් රචිත, " පිරිමි නෙත්....." පැදි පෙළ තුළින් ඔහු සනාථ කිරීමට තැත් දරන්නේ ද එයයි.

පිරිමි නෙත කඳුළක් උපදිනා අවස්ථාවන් කිහිපයක් තෝරාගන්නා මද්දුමගේ එය පෙළගස්වන ආකාරය ඔහුගේ නිසඟ ප්‍රතිභාව හා කාව්‍යාත්මක පරිකල්පන ශක්තිය පිළිබිඹු කරයි. ඒ සඳහා ඔහු චිරන්තන සාහිත්‍යයෙන් මෙන්ම සර්වකාලීන, මනුස්ස ස්වභාවයන් ද ඇසුරු කර ගනියි. රාහුල කුමරු කසාවත හැඳ සිය පිය - බුදුහිමි පසුපස ගියද සුදොවුන් රජු නෙතඟ කඳුළක් නො ඉපදිණිද? කාලිදාසගේ මේඝදූතයට නිමිත්තක් වූයේ පිරිමි කඳුළක් නොවේ ද? ටජ්මහල ළඟ තවමත් රැඳී ඇත්තේ සාජහන්ගේ කඳුළය. කවි පෙළ අවසන් කරන්නට මද්දුමගේ යොදා ගන්නේ පිරිමි කාටත් පොදු සංවේදී අවස්ථාවකි.


මලක් සේ හැදු දුවත් මතුවට
පෝරු මස්තක කෙරෙන දිනයට
ඒවි කඳුළක් මගෙත් ඇස අග
එවිට ඒ දුක දරනු කෙලෙසට

ජනගත මතය ප්‍රතික්ෂේප කරන මෙම කවියා වැඩි ආටෝප නැති රමණීය වූ ද සරල වූ ද කවි බසකින් තම කවි චින්තාවට නිදහසේ ගලා යන්නට ඉඩ දෙයි. කඳුළ නමැති පොදු මිනිස් හැඟීම් ප්‍රකාශනයට ගැහැනු පිරිමි භේදයක් නැති බව ඔහු ඉඟි කරයි. ඔහු එය කරනුයේ, මානව දයාවෙන් පිරි දැක්මක් සහිතවය. එහෙයින් සහෘදයා පහන් සංවේගයෙන් ඇලීමට මේ කවි පෙළ සමත් වෙයි.


--------------------

 

 යථාර්ථය

ලුණුයි සීනියි
එකම තැනකදි
එකම වාගෙයි රැවටුණා
රැවටුණේ මගෙ
වැරැද්දෙන් මට
හඳුනගන්නට
බැරිවුණා
නිසි තැනදි
ඒ දෙකම
වැදගත්
වැරදි තැන
සිත් රිදවනා
පමණ දැනගෙන
පරිහරණයත්
අපේ යහපතටම
හොඳා

යමුනා පලිහවඩන
----------------------

ළා රෝස සපත්නී

වස්සාන කවිය ඔබ හද සවන් සනසනා
පෝදාට එළිය ඔබ ගන අඳුර දුරලනා
ගංදෑල ඉවුර ඔබ දිවි ගඟුල සුරකිනා
පින්සාර සුතුර ඔබ මෙත් කුළම රන්දනා

රොබරෝසියා මලට නෑ තවත් උපමාන
තුන් සිතම පහදවන ළා රෝස හැඩකාර
දින අලුව නැඟෙනමුත් ඒ ආල හැමදාම
වැඩෙනවා සත්තමයි මා සිතේ මල්මාල

මා සුතන් මාපියන් සිවුවරිග සනසනා
ඉදිකටුව තුඩ අගේ මහා පැළැල් ඉවසනා
දිවි ගඟුලේ හබල් බර සර තැසින් උසුලනා
ඔබ මගේ සපත්නී ගිජු කුළින් එසෙවෙනා

ඒ.ජේ. අබේසිංහ
බත්තරමුල්ල

------------------

 දියණියට සෙනෙහසින් ..

රස නොවුණත් ජීවිතයම අත් නොහැර....
ගල් තිබුණත් යන මඟ නොනැවතී යන.....
තරු තිබුණත් අහස පුරා එළිය දෙන.....
සඳක් වෙයන් දුවණියෙ ලොවටම එකම.....

මල් නැති මුත් යන මාවත පුරා හැඩ....
ගල් මුල් පවා මල් වැස්සක් කරන් හොඳ...
දරාගනින් දුක සතුටක් සේ නිබඳ.....
දිනුමට හැකියි ජීවිතයම එයින් හෙට....

ගලා ගියත් මහ ගංගා දෙගොඩ තළා....
පටන් ගත්තෙ උල්පතකිනි පුංචි වෙලා....
නුඹත් කවද හෝ දිනෙකදි ලොව දිනලා....
මතකෙ තියාගන් නුඹ ආ ගමන එදා............

ශ්‍රීමාලි වරුණිකා කරුණාරත්න
රත්නපුර

 

 

Week of මැයි 7, 2025