පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 30, 2025

හිමිදිරිය
හිමිදිරිය ~ තරුණී, ලේක්හවුස්, කොළඹ 10

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට WhatsApp කරන්න.

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.

 

අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය
 

දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.

දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව.මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතා ගේ නවතම යොවුන් නවකතාව “සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්” කෘතියයි.

-------------------------

හොඳම කවිය

පවනැල්ල නුඹ

පියඹන සිසිල තුරු මුදුනේ දඟ කරනා
සැඟවෙන සසල වනගතියෙන් ලොව දකිනා
පිබිදෙන ළය මඩල නිති සුවයෙන් සැලුණා
නොපෙනෙන ඔබව දසුනින් දකිනුව කෙදිනා

ලියවැල් සමඟ හාදව මුතු කැට ඉසිනා
මිහිකත් ළය මඩල පිණි කඳුළින් තෙමුණා
දඟකම් වරෙක ලෝකය නටබුන් කරනා
එනමුත් ඔබව අවැසිය අපහට නිතිනා

කවුළුව තුළින් එබෙනා විට අරුණැල්ලේ
නෙතුපිය ඇරෙයි ගත පුබුදු සිහිලැල්ලේ
විකසිත කුසුම් කුමරියො හා දැවටිල්ලේ
ඉමිහිරි සුවඳ ගෙනයයි මඳපවනැල්ලේ

ධන නිර්දනින් කාටත් එකසේ සලකාලා
ඩා බිඳු පිස දමයි ගත සිසිලස දවටාලා
ළපටින් මුවඟ සොම්නස් මල් පිපිලා
කෙහෙ රැලි අදියි හෙමිහිට සුරතල් පාලා

සකියනි නිබඳ ඔබ සිටිනා ඉසව්වේඩ්
පිබිදෙයි මහද සරණා ලෙස දනව්වේ
අරුමැසි පබද කරනට සන් කෙරෙව්වේ
මිහිරකි සොඳුරු පරිසරයේ රැඳෙව්වේ

නිල වනපෙත නෙතට සොඳුරුය
හමන මඳනල ගතට සිසිලය
කුරවි කූජන කනට මිහිරිය
එක්ව දකිනුව සොබා අසිරිය

ස්වර්ණලතා ප්‍රනාන්දු
මාදම්පේ


----

ස්වර්ණලතා ප්‍රනාන්දු කිවිඳියගෙ "පවනැල්ල නුඹ" නැමති මේ කාව්‍ය නිර්මාණය ප්‍රතිභාවෙන් ඒ කියන්නෙ අපූරු කවි සංකල්පනා මැවීමේ වාසනා ගුණයෙන් ඉහළයි. ඊට සරිලන භාෂා ඥානයකුත් ඈ සතුයි.

ඇය මේ සොබාදහම තුළ විඳින වේදයිතයන් අපේ ජීවිතයට සම්බන්ධ වෙන තැනට සංකල්පීයව ඔසවා තබන්නෙ කොහොමද කියන එක ගැන තවත් සැලකිලිමත් වෙනවා නම් කවියේ අලුත් තැන් ස්පර්ශ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනුභූතීන් ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමට එහා ගිහින් යම් ව්‍යුත්පත්ති ඥානයක් උපදවාගෙන ඒ අත්දැකීම්වලින් අපේ ව්‍යවහාරික ජීවිතේ චලනයන් කොහොමද අන්තරාවලෝකනයකට (insight) හසු කරගන්නෙ කියන එකත් කවියෙ කාර්ය භාරයක් කියල මම විශ්වාස කරනවා. අපේ නව කවීන්ගෙ නිර්මාණ ඇසුරු කිරීමෙන් හා සතත භ්‍යාසය මඟින් වඩා දියුණු කාව්‍ය නිර්මාණ බිහිකිරීමට ඇයට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


 ******************

 ආරාධිත කවිය
 

හිත හදාගත් තාත්තෙක්
(ළමයි ලෝකෙටම අයිතියි)


දෑස් කඳුළු තිර මෑත් කර බැලීම්
ළමයි ලෝකෙටම අයිතියි
එහෙත් හිස ඔබාගෙන
යළි යළිත් නැඟෙන ඉකි බහාලමි

විෂම රේඛා දිගේ පහළට බලමි
දස දහස් දරුවන්
වැටි වැටී නැඟිටින්න
වෙර දරන, යුරු දකිමි

යුද ගැටුම්
කැරළි කෝලාහල
විරැකියා පෝලිම්
දරාගත නොහැකි අත් හැරීම්
ඒ සෑම තැනකම
යුක්තියක් අවැසිම
දරුවන් දකිමි

සිතුවමක් නොවී මියගිය
සිහිනයක නටබුනක් සේ දැනෙන
බලි කුරුටු චිත්‍රයක
රේඛා අත ගා බලමි


පිටියේ දිව යන සපත්තුවක
මළබැඳුණු ඇණයක් සේ
විටෙක පපුවේ ඇනේ
ශිෂ්ටාචාරයේ අමිහිරි මතක

ඉඳහිට නි‍ෙවසින් බැහැර
දරුවන්ගෙ සාමීචි කතා ඇහෙන කොට
යහළුවන් හා සල්ලාපයේ යෙදෙන
ඒ හඬ ඇසේ

අයුක්තියේ සාරය කැටි කරගත්
පලඳනාවක් සේ
පාසල් වර්ණ
එල්ලී තිබේ බිත්තිවල

අනාගතයේ
අවිනිශ්චිත ගුහාවේ
ඇවිද යන බොහෝ දරුවන් දෙස බලා
වැලපෙමි

අතීතයේ
අඳුරු සොහොන් මත
සැඟව ගිය දරුවන් දෙස බලා
වැළපෙමි

එහෙත් ඔබ ගැන
නොවැළපෙමි පුත
“ළමයි ලෝකෙටම අයිතියි.”

සංජීව මුණමල්පෙ

*********************

සැණකෙළිය


සෙනෙහස් උල්පතක
අහරය විලස
මියුරු සත්සර
රාවයට ජීවිය ලැබ දෙමින්
යොවුන් දිවි රඟ මඬලේ
රස ගුලාවක ඉපිලෙමින්
මීවිත නිමා කොට
සමුගන්න විරාමෙක
අඩවන් දෙනුවන්
සවිබල ගන්වා
ආනන්දනීය හෝරා මැද
කර්ණ රසායන ගී නදට
පියවර තබන්නට
රැඟුමන් අවදි කොට
වේදනා තුරන් කොට
ඇරැයුම් කරනා
ප්‍රිය සබඳ, සබඳිනිය
ශේෂ වන්නේ කිමද
ශුන්‍යතාව නොවෙද
කියනු මැන

මලින්ත බෝපෙආරච්චි
කැලණිය.

*********************

යදම්

කුසගිනි මැද දූ දරුවෝ
කඳුළු බිබී කෙඳිරි ගෑම
උහුලගන්න බැරි තරමට
මැටි බිච්චිත් පුපුරලා
ඒ ගිනිදැල් නිවාලන්න
කිහිලි කරුව බිම ඇන ඇන
කඩුල්ල පැන ගිය දවසේ
නීතියේ යදම්වලින්
මගෙ දෑතම පැටළුණා

ලීල් චන්ද්‍රසිරි
නෑගම්පහ

 

******************

සුවඳ රෝස කුසුමක් වී...

මනරම්ව
විශ්මිතව
සදාකල්හිම,
සුවඳ හමනා
හරිත වන අරණක
සොඳුරු සිතුවමක,
මනුලොව
සනසනවා
සත්ත්ව විල
සරසවා,
රමණීයව
නිමේෂයක
සොඳුරු සිහිනයක,
පාට සිතිවිල්ලක
හද ගැඹුරක,
මිහිකත සිඹ
දිනෙක,
සැනසුමක
මියදෙන,
සුවඳ රෝස
කුසුමක් වී...

නීතිඥ කීර්ති කපුවත්ත
රිදීගම

 

**************

සමුගමි

හිත නුඹේ කියවමි
පෙරසේම හිනැහෙමි
බොහෝ දේ දරාගෙන
හදවතින් වැළපෙමි
සංසාර ප්‍රේමයෙන්
බෝ දුකින් සමු ගමි
නුඹට ගතු නොකියමි..

සංජා කල්පනී ගුණවර්ධන

රැලි වැටුණු සුළං
තාරකා සම්පතී අබේසේකර ~

උපුටා ගත් කවිය
 

 

කවි පොතකටත් තියෙනවා හීන

ඉරුණු කන්තෝරු මලුවල
තිබුණත් ඉඳුල්, අත් බෑග්වල
කවිවලට ඉඩක් ලැබෙනවා
ලිප්ස්ටික්, ටිෂූ අස්සෙම

හිත රිදෙන දේ ඇති නෙව
කොයි දීගෙක වුවත් ඉඳහිට
ඔය ඉඩ කඩ මදි පාඩු හෙම
ඉවසීම තමයි වැදගත්කම

හැමෝගෙම හිත්වල
ඇති කහට තේ කෝපිවල
සීදේවී හිනාවක්
ඇලවිය යුතුමයි හැම මුහුණක

දුටු දුටු දන සිත් ගැනීමත්
අතින් අතකට යාමත්
දුවකට සුදුසු ම නැති වූවත්
කවි පොතකට පෙනෙන්නේ
අන්න ඒ වගේ හීනයක් ........
 

 

කත
ඉන්ද්‍රානි වික්‍රමසිංහ ~ බිබිල


 
 දේදුනු පැහැති සළුවෙන් වත හැඩ ගන්වා
 නිලදැරියන් නිල පුටුවල වැජඹෙනවා
 උපදෙස් දෙමින් සුන්දර වදනින් නළවා
 අසරණ කතුන් තව තව අසරණ කෙරුවා
 
 බියුටිය හදන්නට නිති උපදෙස් දෙනවා
 කත බලගන්වන්න ණය නිතරම දෙනවා
 ගුණදම් පසෙකලා රුව සිරි වඩවනවා
 ණය බර නිසා කත තව අසරණ වෙනවා
 
  

  

සුදු මහත්තයා
මැණික් ~ කඩුවෙල


 
 මෙනෙහි කර කර විඳින්නට මට
 තිබුණි නම් ආදර කතාවක්
 ඔබේ සෙනෙහස පමණි තිබුණේ
 සත්තමයි මගේ රත්තරං
 
 නොවුණෙ මොනවද මගේ දිවියට
 දන්නවා නුඹ රත්තරං
 රිදවන්න නම් එපා දැන දැන
 අසරණයි මං රත්තරං
 
 තිබුණි නම් තව පිනක් ඉතිරිව
 එක්වෙන්න මතු භවයෙවත්
 සත්තමයි ඔබ පමණි ඉන්නේ
 මගේ හදවතේ රත්තරං
 
 ඔයාට සුබ උපන් දිනයක් වේවා !
 

 

තපසට ගියෙමි
කේ. ඒ. රංජනී කුලරත්න ~ වාරියපොළ

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට WhatsApp කරන්න.

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.

 

හිමිදිරියට අද කවි තෝරන ඔහු වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

පේරාදෙණිය විශ්වවිලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගෙන ඇති ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහ හයක්, කාව්‍ය විචාර කෘති දෙකක් සහ හයිකු පරිවර්තන කාව්‍ය සංග්‍රහයක් නිකුත් කොට ඇත. වෘත්තියෙන් ගුරුවරයකු වන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ කෘති ජාතික මට්ටමේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත .

 

හොඳම කවිය




වලිකුකුළු නාදයෙන්
නැඟුණු කිංකිණි නදින්
මුව මී ගෝන රාවෙන්
වනයක අසිරිය දුටිම්

කුංජර කුංච නාදෙන්
බියක් මනසට ඇතුළු වූයෙන්
සියොලඟම දැවුණෙන්
ගසකට නැඟී සිටියෙම්

සුපිපුණ සුවඳ මල්වලින්
බිඟුකැළ උරන්නේ රොන්
බැඳුණු සිත දැහැනින්
සුවයක් දැනේ කිසියම්

කොවුලන්, කෙවිලියන්
තුඩු තුඩ තබා ගනිමින්
මිමිණූ ගී නදින්
අනන්තය තුළ සැඟවුණෙම්

මිනිසත් බව තුළින්
පවතින දෙයක් නොවුණෙන්
ලොවෙහි සැම දේ තුළින්
අනියත බවක් දැනුණෙම්

ගංගා නීල ජලයෙන්,
නා පිරිසුදු වී සෙමින්
තාපස වේශයෙන්
සැරසී සිටින්නෙම්

මෙවන් සුවයක් ඉතින්
ලැබේදෝ කිසි දෙයින්
වනයෙහි සුව ඉතින්
සැමදා විඳින්නම්

නාරිලතා පුෂ්පයන්
දුටුවොත් පරෙස්සමින්
රුක් මූලයෙහි හිඳිමින්
ගිහි දිවි බැමි ලිහන්නෙම්

 

තපසට ගියෙමි කවිය වනගත වූ පුද්ගලයකු සොබාදහම විඳිමින් නිරාමිස සුවයක් ලබන අයුරු ධ්වනිත කරයි. වනය යනු ගහකොළ, සතාසීපාවා, ඇළදොළ ආදී මේ සියල්ලේම එකතුවක් බව කලාත්මකව ප්‍රකාශ කිරීමට කවියා ප්‍රශස්ත උත්සාහයක යෙදෙයි. පරිසර කේන්ද්‍රීය කාව්‍ය භාවිතය සිහිගන්වන මේ කවිය අගය කළ හැකිය. කවිය පිළිබඳ දිගින් දිගටම හැදෑරීමෙන් මේ කවියාට සිය කුසලතා පෝෂණය කරගත හැකි බව පෙනෙයි.
කවියේ අවසාන ඛණ්ඩය මුලින් රැකගෙන ආ ධ්වනි ගුණය බිඳීමට හේතු වන බව පෙනෙයි.

Week of අප්‍රේල් 30, 2025