වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
ජීවිත වෙනස් කරන්න පරිසරයට පුළුවන්

අපේ පැවැත්මට පරිසරය කියන සාධකය ඉහළින්ම බලපානවා. පරිසරය ගැන කතා කරද්දී මනෝ විද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ළමයි හැදෙන්නේ ආරය සහ පරිසරය නිසා කියලයි. සමහර අය ආරය විශ්වාස කරනවා. සමහර අය පරිසරය විශ්වාස කරනවා. ආරය විශ්වාස කරන අය කියන්නේ ළමයි කොතැන කොහොම හැදුවත් ආරයේ විදිහට තමයි යන්නේ කියලා. ආරේ ගතිගුණ නෑරේ කියලා කියලා කියන්නේ ඒකට. පරිසරය විශ්වාස කරන අය කියනවා පරිසරය නිසා තමයි ළමයි වෙනස් වෙන්නේ කියලා. ඉතින් මමත් ආරයට වඩා පරිසරය විශ්වාස කරන කෙනෙක්. හැබැයි මම ආරය කියන එක සීයයට සීයයක්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද සමහර දරුවෝ ඉන්නවා, ඉන්නේ ඉගෙනීම කරන්න පුළුවන් පරිසරයක නෙවෙයි වුණත් හොඳට ඉගෙන ගන්න.
සමහර මවුපියෝ ඉන්නවා හදාවඩාගත් දරුවන් ඉන්න. ඒ සමහර තැන්වල දරුවන්ගේ ජාන ගති මතුවෙලා තියෙනවා.
හොඳම උදාහරණය විදිහට අපිට මතකයට එන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ තමන්ගේ බිරිය සහ කිරිකැටි දරුවා මරලා පුච්චලා දාපු විධායක ශ්‍රේණියේ පුද්ගලයාව. මේ අපරාධය කරලා උසාවියට යනතුරු ඔහුවත් දැනගෙන හිටියේ නැහැ ඔහු හදාවඩාගත් දරුවෙක් කියලා. ඔහුගේ ඇත්ත අම්මා ඔහුව කුඩා කාලයේදී ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඇත්ත පියා දාමරිකයෙක්. ඉතින් ඒ විදිහේ පරිසරයක ඉඳලා හොඳ පරිසරයකට ඇවිල්ලා හොඳට ජීවත් වෙලා, ඔහුගේ අනියම් ඇසුරක් නිසායි ඔහු මේ තරම් දරුණු දෙයක් කළේ. ඒ තත්ත්වයට පත්වෙන්න ආරෙන් ආපු ජානමය හේතූත් බලපාන්න ඇති කියලා වෛද්‍යවරුන් පවා කියලා තිබුණා.
දරුවන්ව ලොකු පාසල්වලට දාන්න අපි හැමෝම උත්සාහ කරනවා. ඒ විදිහේ පාසලකට ඒ දරුවා ගියහම ඉගෙන ගත්තත් නොගත්තත් ඒ පාසලේ හර පද්ධතීන් සමඟයි හැදෙන්නේ. කොළඹ පාසල්වලට වඩා ගම්බද පළාත්වල දරුවන් හැදෙන්නේ අධ්‍යාපනයට සුදුසු ඉගෙනුම් පරිසරයක් එක්කයි. මම වසර කිහිපයක් ඉගෙන ගත්ත පාසලක් වන තලවාකැලේ සුමන මහා විද්‍යාලයට මේ මෑතකදී ගියා. ඒ පාසල හිතාගන්න බැරි තරම් ලස්සනයි. හරි පිරිසුදුයි. නිස්කලංකයි. ඒ හැමදේම එක්ක ඒ දරුවනුත් හරි සිරියාවන්ත සමකාමී දරු පිරිසක් වෙලා තිබුණා.
අද කාලයේ මොනවා හරි දෙයක් වුණාම ඒක පාසලේ වැරැද්ද කියලයි කියන්නේ. දරුවා පාසලට වඩා වැඩි කාලයක් ඉන්නේ ගෙදර. ගෙදර පරිසරයේදී අම්මලා බලන ටෙලි නාට්‍ය මොනවද? අම්මලා බලන පත්තර මොනවද? අම්මලා කතාබහ කරන්නේ මොනවද? දරුවා ගෙදරින් යමක් ඉගෙන ගන්නවානම් ඉගෙන ගන්නේ ඒ දේවල්වලින්. හොඳ පරිසරයක හිටපු කෙනෙක් විහිළුවකට හරි කාර්යාල සඟයකුට වරෙන් බං. ඔහොම හිටපං බං. කෑවේ නැද්ද බං කියලා කියන්නේ නැහැ. මොකද ඒ විදිහට කතා කරන එක ගෙදර පරිසරයේදී වගේම පාසල් පරිසරය තුළත් ඉගෙන ගෙන තියෙනවා. කා එක්කවත් ඇරියස් නැති මිනිස්සු හැමදේම තේරූම් අරගෙන හොඳට හිනාවෙලා හරි විදිහට සමාජයේ හැසිරෙනවා.
කාර්යාලවලත් ඉහළ තනතුරු දරන සමහර පුද්ගලයන් ඉන්නවා වැරදි පරිසරවල ජීවත් වෙලා ඒවගේ තවම බලපෑම් විඳින. එක අවස්ථාවකදී මම දැකලා තියෙනවා ඉහළ තනතුරු දරන කෙනෙක් කෑම මේසයේදී ඉඳුල් අතින්ම හැන්ද අල්ලගෙන වෑංජන බෙදාගන්නවා. හරි පවුල් පරිසරයක හැදුණ කෙනෙක් නම් පොඩි කාලෙදීම මවුපියන්මයි ඒ දේවල් කියලා දෙන්නේ.
පන්සලක, පල්ලියක හැදුණ පමණින්ම ළමයකුගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඇයි පරිසරය බලපානවා කියලා කියන්නේ? එතැනින් හැදෙන්නේ පෞරුෂය. සමහර ළමයි ලොකු කොන්වන්ට් එකක හැඳුණත් ඉස්සරහට ඇවිල්ලා සිංදුවක් කියාගන්න බැහැ. අවුරුද්දට ගමට ගියාම නෑදෑයෝ කියනවා පුතේ ඔයා කොන්සර්ට් එකේ කරපු නැටුම නටලා පෙන්නන්න. සිංදුව කියලා පෙන්වන්න. සමහර ළමයි ඇඹරි ඇඹරි ඉද්දි සමහර ළමයි කිසි බයක්, ලැජ්ජාවක් නැතිව ඒ නැටුම කරලා පෙන්වනවා. ඊට පස්සේ තාත්තලා ඒකම හේතුවක් කරගෙන උඹලා ලොකු ඉස්කෝලවලට යවලා වැඩක් නැහැ. මාව හැමෝම ඉස්සරහා ලැජ්ජා වුණා කියලා බොනවා.
ගහකට, පැළයකට හැදෙන්න හිරු එළිය, ජලය, පස, වාතය ඒ සියල්ල ලැබෙන්න ඕනෙනේ. ඒක ලැබෙන්න ඕනෙත් එක ප්‍රමාණයකට. ලොකු ගස් සෙවණේ පොඩි ගස් හොඳට වැවෙන්නේ නැහැ. ඈතට විසිරිලා හැදෙන්න ඕනේ. ලොකු දක්ෂතා තියෙන කලාකාරයෝ දෙන්නෙක්ට එකට වසන්න බැහැ. ඒ විදිහේ දෙන්නෙක් විවාහ වුණත් ඉක්මනින් බිඳිලා යනවා. මොකද ප්‍රභලයෝ දෙන්නෙක් එකට ඉද්දි කවදාවත් අනෙත් කෙනා පහත් වෙන්න හිතන්නේ නැහැ.
පරිසරය ඇතුළේ මිනිස්සු ක්‍රියාකරන විදිහ, ළමයි හැසිරෙන විදිහ මේ හැමදෙයක්ම ජීවිතයට බලපානවා. අපි හිතන්නේ හැම දරුවෙක්ම හැන්දෑවට කැමැතියි කියලා. හැබැයි මට මුණගැහිලා තියෙනවා හැන්දෑවට කැමැති නැති ළමයි. ඒ ඇයි කියලා ඇහුවොත් කියන්නේ මේ වේලාවට තමයි අපේ තාත්තා බීලා ගෙදර එන්නේ. ඒ ඇවිල්ලා මට ගහන්නේ. අම්මට බණින්නේ. මේ ඔක්කොම වෙන්නේ හැන්දෑවට. ඉතින් මම ඉර බහිනවට කැමැති නැහැ. මම ආස ඉර හිනාවෙවී අහසේ දිගටම ඉන්නවට. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ පරිසරය ළමයව වෙනස් කරනවා කියන එක. උදේට ප්‍රබෝධයෙන් ඉන්න ළමයා හවස් වෙද්දි මැලවෙනවා.
ලිංගික ශ්‍රමය සපයපු මම දන්න කාන්තාවක් හිටියා. එයාගේ දුව කොළඹ ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරනවා. මේ දියණිය පාසල් යන්න බැහැ කියන නිසා උපදෙසක් ගන්න ඇයව මා ළඟට රැගෙන ආවා. ඒ දරුවා කිව්වා මම පාඩම් කරන්නේ ලයිට් කණුවක් යට. අම්මව බලන්න එක එක මිනිස්සු එනවා මට පේනවා. එයාලා දොරවල් වහගෙන පැයක් දෙකක් ඉඳලා යනවා. පොඩි කාලේ මට තේරුණේ නැහැ ඇයි එයාලා එන්නේ කියලා. හැබැයි අම්මා මාව මුතු ඇටයක් වගේ පරෙස්සම් කළා. ඒ දරුවගේ පරිසරය මට වෙනස් කරන්න බැරිවුණාට මම ඇයගේ සිතුවිලිවලින් ඇයගේ මනස සුවපත් කළා. ඊට පස්සේ මම කියපු විදිහට වැඩ ටික කරගෙන විශ්වවිද්‍යාලයට ගිහින් හොඳට ඉගෙන ගත්තා.
දැන් යුරෝපයේ රටක පදිංචි වෙලා හොඳ ජීවිතයක් ගත කරනවා. ඇය මඩේ උපන් නෙළුමක් වගේ ජීවිතය හදාගත්තා. හැබැයි දරුවාට ඉගෙන ගන්න සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මවුපියන්ගේ වගකීමක්.
විවාහ ජීවිතයටත් පරිසරය කියන සාධකය බලපානවා. පරිසරයට අනුගත වුණොත් විතරයි විවාහය වගේම ජීවයත් පවතින්නේ. නොගැළපෙන පවුල් පරිසරවලින් විවාහ වෙලා මගේ ළඟට අඬාගෙන කාන්තාවෝ ඕන තරම් ඉන්නවා. ඈත ගමක ජීවත් වුණු ගමේ පාසලෙන් ඉගෙන ගෙන කැම්පස් ගිහින් ගුරුවරියක් වුණු කෙනකුයි කොළඹ නාගරික වතු ආශ්රිත පරිසරයක ජීවත් වෙලා කොළඹ ඉස්කෝලෙක ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන තරුණයකුයි මා ළඟට ආවා. ඔවුන්ගේ විවාහය මාස තුනක්වත් රැකගන්න බැරි වුණා. හේතුව නොගැළපෙන පරිසරය. ඒ නිස විවාහයකදීත් පරිසරය ගැළපෙනව ද නැද්ද කියන එකත් හොයලා බලන්න.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව