අප්පච්චි

ජුනි 9, 2025

 

ආදරණීය පුතා වෙත,

 

අපි මේ කතා කරන්නේ ජීවිතයේ විවිධ දේවල් ගැන. වෙච්චි දේවල් වෙන්න තියෙන දේවල් ගැන. ඒවායින් ඉදිරි දිවිය පවත්වාගෙන යන්න ලැබෙන අත්වැල ගැන හිතලා තමයි අපි මේ කතා කරන්නේ. අරමුණ වුණේ ‘කාන්තාවන්ට ගරු කිරීම’ කියන ප්‍රස්තුතය. කොහොම වුණුත් මම මේ කියන දේවලින් එකක් හෝ හිතට අරන් ඒක ජීවිතයට බද්ධ කරගෙන ඉදිරි ජීවිතයේ යහපත් ගමනට ආලෝකය දෙන එක පහන් කණුවක්වත් කර ගන්නවා නම් ඒක තමයි අපේ සතුට.

 

ඉතින් පුතා මම මේ කියන්න යන්නේ අපි ජීවිතයට බද්ධ කරගත යුතු තවත් කරුණු කීපයක්. එක තමා පරණ ඇඳුම්. පරණ ඇඳුම් කිව්වාම එක පාරටම මතක් වෙන්නේ ඉරිච්ච කඩමාලු වෙච්ච ඇඳුම් වෙන්න පුළුවන්. මම මෙතනදී කියන්නේ එහෙම ඒවා නෙවෙයි ඇඳලා කල් ගත වෙච්ච ඒවා ගැන. ඒ කියන්නේ දහ පහළොස් සැරයක් ඇඳපු ඇඳුම් ගැන. ‘ඒක පරණයි’ කියලා ඉවත දාන්න ඉස්සෙල්ලා ඒ ඇඳුම ගැන ටිකක් කල්පනා කරලා බලන්න. ඒ කිව්වේ අනිත්‍ය නෙවෙයි. මම මේක ගත්තේ කවදාද. ඒක ගත්තේ ස්මරණය කරන්න ඕනෙ දවසක නම් පරණයි කියලා විසිකරලා දාන්න ඉස්සෙල්ලා ඒ අතීතයට ආයෙත් යන්න. සුන්දරයි නේද?

 

“ඒක ඇන්දාම ඔයා ලස්සනයි..” කියලා බිරිය කියන්නත් ඇති. එහෙම කිව්වා නම් ඒ ඇඳුම ඇඳන් ගිය දවසේ අනිත් අයත් වර්ණනා කරන්න ඇති. ඒක ඇඳලා ගිය දවසේ කරන්න ගිය වැඩ සේරම සාර්ථක වෙන්න ඇති. මොකද මම එහෙම කියන්නේ සමහර ඇඳුම් තියෙනවා ඒවා ඇඳලා ගියාම යන ගමන සාර්ථක වෙනවා. අන් අයගේ සහයෝගය ලැබෙනවා. මම මෙහෙම කිව්වාට එක පාරටම වැටහෙන්නේ නැතිව ඇති. ඒත් කල්පනා කරලා බලන්න. වාසනාව තියෙන වර්ණය තියෙන්න පුළුවන් එහි. ඉතින් පරණ ඇඳුම් විසි කරන්න කලින් ඒ ගැන හිතලා තවත් සැරයක් දෙකක් හරි අඳින්න පුළුවන් නම් ඒක නැවත අඳින්න. එහෙම වුණාම ටික දවසකට අලුත් ඇඳුමකට යන වියදම නවතිනවා. ඒක හොඳ දෙයක් නේද. මොකද වෙනත් කටයුත්තකට ඒවා යොදවන්න පුළුවන්. හැකිනම් විසි නොකර තවත් අඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒවා දෙන්න.

 

දුප්පත් යාළුවන් අමතක කරන්නත් එපා. මානව සම්බන්ධතා කිව්වාම යාළුවො නිතැතින්ම ඒ ගොඩට එකතු වෙනවා. පොහොසත් යාළුවන්ට වඩා දුප්පත් යැයි අපි ප්‍රභේද කරගත්ත යාළුවෝ ගාව පුදුමාකර ළෙන්ගතුකම් තියෙනවා. අපිට ඔවුන් කොතනකදි හරි ඕනෙ වෙනවා. පොහොසත් යාළුවන්ට කරන්න බැරි දේවල් ඔවුන්ට පුළුවන් කරන්න. පොහෙසත් යාළුවො දෙයක් කිව්වාම ‘මචා මං මේ ගමනක් යන ගමන්..තව ටිකකින් කතා කරපන්..’ එහෙම කියලා ඇති නෙ. ඒත් පුතා හිතන විදියෙ දුප්පත් යාළුවො කල්පනා කරන්නේ ‘ඇයි දන්නෙ නෑ ..’කියලා.ඔවුන් වහාම ප්‍රතිචාර දක්වනවා. බැරි වෙන්නේ කලාතුරකින්. කොහොම උනත් දුප්පත් කියලා කිසිම කෙනෙක්ව පහත් කරන්න එපා. දුප්පත් වීම කියන්නේ සැණෙකින් වෙන්න පුළුවන් දෙයක්. ධනය නැති වෙනකොට පිරිස් බලයද නැති වෙනවා.

මහලු දෙමාපියන් අමතක කරන්නත් එපා. මම එහෙම කිව්වාම හිතයිද දන්නේ නෑ මගේ වාසියට මේ කියන්නේ කියලා. නෑ පුතා ඔයාට විතරක් නෙවේ දවසක ඔයත් මේ ටික ඔයාගෙ කාටහරි කියන්න පුළුවන් දෙයක් මෙහි තියෙන්නේ.

 

දෙමාපියන් නැතිනම් ඔබ නෑ නේද. ඔබ ඉපදෙන්න ඉන්නකොට අම්මා කොතරම් බලාපොරොතු තියාගෙනද දවස් ගත කළේ දන්නවද. ඒක මහ පුදුම හීනයක්. හිතන්න බලන්න ඔයා විවාහ වෙනවා. ඒ විවාහ වෙන්නේ කවදාවත් නොදන්න කෙනෙක් යම් දවසක හමුවෙලා. ඒක හිතක බැඳිලා පටන් ගන්න හීන සමුදායකින් පස්සේ වෙන දෙයක්. කොහෙදෝ හිටපු ගෑනියෙක් මිනිහෙක්ව බැඳ ගන්නවා කොහෙදෝ හිටපු මිනිහෙක්ව ගෑනියෙක් බැඳ ගන්නවා. ඊට පස්සේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ආදරය, ඔව් ‘මම ආදරෙයි ඔයාට’ කියලා කීවත් නොකීවත් ඒ ජීවිත ඉදිරියට යන්නේ ආදරය එක්ක. ඊට පස්සේ දරුවෙක්. ඒ දරුවා ලොකු මහත් කර ගන්න කරන සටන. ඉතින් ඔබට පුළුවන්ද මහලු දෙමාපියන් අමතක කරන්න. එයාලා නැත්නම් ඔබ ඔතන නෑ නේද කියලා ආපසු යන්න හිතින් දුරට. ඔවුන් ඔබ වෙනුවෙන් කැප වෙච්ච හැටි හිතන්න.

සරල ජීවිතය කියන්නේ ඔබට අත්‍යවශ්‍යම ජීවන රටාවක්. සරල කියලා කියන්නේ හොඳ ලස්සනට ඇඳලා නොඉන්න, හොඳට කන්නේ නැතිව, ගමන් බිමන් යන්නේ නැතිව විනෝද වෙන්නේ නැතිව ගත කරන ජීවිතයට නෙවෙයි. ඇඳුම් ගන්න ඕනෙ. බිරිඳටත් අරන් දෙන්න ඕනේ. දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් පුළුවන් නම් අරන් දෙන්න. සරලයි කියන්නේ ඔබට ගැළපෙන නමුත් විශාල පිරිවැයක් දරලා ගන්න ඇඳුම් නෙවෙයි. තැනට සුදුසු විදියටයි අඳින්න ඕනේ. කෑම උනත් එහෙමයි. තමන්ගේ අතේ ඇති මුදලට වගේම පෝෂණයද සහිත ආහාර වේලක් ගන්න. කිසිවිටෙක ආහාර විසි කරන්න එපා. හොඳ හෝටලයකට ගිහින් කන්න. හැමදාම නෙවෙයි සුදුසු දවසක් යොදා ගන්න. අද හොඳ හෝටලයකින් දහදාහකට විතර බුෆේ එකකින් කාලා ඊට පස්සෙ ඉඳන් නිකං ඔය මොනවා හරි බඩට දාගෙන බඩ රවට්ටන්න. වෙන්නෙ නැතිව හැමදාකම හැම වේලකටම අධික වියදම් නැති ආහාර වේලක් ගන්න. ගමන් බිමන් උනත් එහෙමයි. කන්න නැතත් කොහෙ හරි හෝටලේකට ගිහින් කාලා පොටෝ දාන අයත් ඉන්නවා නෙ. එහෙම නෙවෙයි තමන්ගේ ජීවිතයට ඔරොත්තු දෙන විදියට වියදම් කරන්න. මුදල් ඉතිරි කරන්න. ඒක තණ්හාවෙන් ලෝබකමෙන් නෙවයි. තමන්ගේ වියදමට සරිලන විදියට වියදම් කරලා ඉතිරි කරන්න..

 

අනික තමා ඔබ ජලය මෙන් වෙන්න. ඒ මොකද දන්නවාද කවදාවත් ජලය නවත්වන්න බෑ. ගලාගෙන ඒ යන අරමුණට යනවා. ඒ වාගේම තමා ජලය ඒ ඒ තැන අවස්ථාව අනුව ඒ හැඩය ගන්නවා. ඔබටත් පුළුවන් වෙන්න ඕනේ ඒ ඒ තැන අනුව හැඩ ගැහෙන්න. හැබැයි නරක තැන්වලින් උනත් ඉක්මනින් ගලාගෙන යන්න පුළුවන් වෙන්න. මම මේ කිව්වේ ඔබගේ අරමුණට ඔබ ගලාගෙන යන්න. ගල්පර බාධක වේලි තිබ්බත් අරමුණට යන්න. මේවා හිතට ගන්න. මේ හැම තැනකදිම ගරු කළයුත්තන්ට ගරු කරන්න. විශේෂයෙන් කාන්තාවන්ට.

 

මේ අප්පච්චි

 

උපාලි බණ්ඩාර වීරසේකර