විස්ම විශ්වය

ජුනි 9, 2025

 

අමෙරිකාවේ ලේ පැහැ විල

දකුණු අමෙරිකානු මහද්වීපයේ සුප්‍රකට අන්දිස් කඳු වැටියේ අඩි 14,000ක උසින් පිහිටා ඇති බොලිවියානු සානුවේ අමුතුම ආකාරයේ රතුම රතු විලක් දක්නට ලැබෙනවා.

 

බොලීවියාවට අයිති මෙම විලේ ජලය රුධිරය මෙන් තද රතු පැහැයක් ගෙන ඇති නිසා මෙම විල Red Lagoon නැතහොත් රතු කලපුව නමින් හැඳින්වෙනවා.

අක්කර 15,000ක පමණ වපසරියක පැතිරී ඇති මෙම රතු පැහැ විල සැබැවින්ම ලුණු විලකි. අඩි 4ක් පමණ ගැඹුරින්ද යුක්ත වෙන මෙම ලුණු විලේ ජලයට රක්ත වර්ණය ලැබී ඇත්තේ ලුණු ජලයේ වාසය කරන ඇල්ගී විශේෂයක් නිසයි. එමෙන්ම මෙම විල අලංකාර ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ගේ ප්‍රධාන අභිජනන මධ්‍යස්ථානයක් ද වෙනවා.

 

 

අත්අඩංගු වට ගත් පුදුම ගස

දම්වැල් දාලා හමුදා අත්අඩංගු වට පත් වුණු ගසක් ගැන අහලා තියෙනව ද? මේ ගස හමුවෙන්නේ පකිස්ථානයේ Landi kotal හමුදා බලප්‍රදේශය නමැති. මේ ගස නුග ගසක්. දම්වැල්වලින් ගැට ගහලා හිර කාරයෙක් වගේ අත්අඩංගුවට අරගෙන තියෙන මේ ගස පිටිපස්සේ තියෙන්නේ හරිම සිත් ගන්නා සුළු කතාවක්.

 

19 වැනි ශත වර්ෂය අග භාගයේ ඒ කියන්නේ 1890 ගණන්වල පකිස්ථානය පවතින්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට. හරියට ශ්‍රී ලංකාව වගේම තමයි. ඔන්න ඔය කාලයේ අර කිව්ව නුගගස තියෙන ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ ජේම්ස් ස්කොඩ් නැමති බිතාන්‍ය හමුදා නිලධාරියෙක්. මේ නිලධාරියා අධික ලෙස මත්පැන් පානයට පුරුදු වුණු අයෙක්. හැමදාම වගේ මත්පැනින් සූර්වෙලා ඉන්න මේ හමුදා නිලධාරියාගේ නිවෙස අසල තමයි මේ නුග ගස තිබිලා තියෙන්නේ.

 

අධික බීමත්කම නිසා සිහිය විකල් වෙලා ඉන්න වෙලාවට මේ නිලධාරියා දකිනවලු මේ නුග ගස තමන් ඉන්න දිහාවට දුවගෙන එනවා වගේ. ඉතින් මේකෙන් බය වුණු මේ නිලධාරියා නියෝග කරලා තියෙනවා මේ ගස අත්අඩංගුවට අර‍ෙගන දම්වැල්වලින් බැඳලා තියන්න කියලා.

 

ඉහළ නිලධාරියාගේ බසට අවනත වුනු සොල්දාදුවෝ මොකද කරලා තියෙන්නේ දම් වැල් අරගෙන මේ ගස හරි හරියට ගැට ගහනවා. මේ සිද්ධිය වෙලා අවුරුදු සිය ගණනක් ගත වුණත් මේ ගස තාමත් තියෙන්නේ දම්වැල්වලින් ගැට ගහලා.

 

මේ නුග ගස යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය පාලනය ස්වදේශිකයන් පමණක් නොව ස්වභාවික ගස් පවා තලා පෙළා වැජඹී ඇති ආකාරය පෙන්වන කදිම නිදසුනක්.

 

 

සැණකෙළි සිරි අවුරෝරා

 

හිමාල කඳුමුදුනේ ව්‍යාඝ්‍රයන්ගේ කැදැල්ල

 

හිමාලය කඳුවැටිය අසබඩ පිහිටි සුන්දර දේශයක් ලෙස සැලකෙන භූතානයේ උස් කඳු මුදුන් අතර සැඟවී ඇති මනරම් විහාරස්ථානයකි Taktsang Lhakhang. මෙහි අර්ත වන්නේ ව්‍යාඝ්‍රයන්ගේ කැදැල්ල යන්නයි. එම නිසා මෙය The Tiger's Nest Temple යනුවෙන්ද හැඳින්වේ.

 

පාරෝ නමැති මිටියාවතේ සිට අඩි 10,240 පමණ ඉහළ කඳු බෑවුමක ඉදිකරා ඇති මෙම විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රි.ව. 8 දක්වා දිව යන්නක්.

ජනප්‍රවාද අනූව මෙම විහාරස්ථානයේ පළමු ගුරු හාමුදුරුවන් වූ padmasambhava නම් හිමිනම මෙම ස්ථානයට අහසින් වැඩම කර වසර 3කුත් මාස 3ක් සහ දින 3ක් මෙම ස්ථානයේ ඇති ගුහාවක භාවනා කර මෙහි විසූ නපුරු භූතයින් පලවා හැරිය බව සඳහන් වේ.