උණ්ඩයෙන් නිහඬ කළ පාකිස්තානයේ ටික් ටොක් තරුව

ජුනි 16, 2025

 

පාකිස්තානයේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර විශාල ආකර්ෂණයක් දිනා සිටි ඇය ගැන ලෝකයේම අවධානය යොමු වුණේ , ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සිය නිවහනේ දීම වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ. ඇය , පාකිස්තානයේ ටික් ටොක් තරුවක වූ සනා යුසෆ්.

යොවුන් වියේ සිටි ඈ සිය 17 වෙනි උපන්දිනය සමරා ගතවූයේ දින කිහිපයක් පමණයි. සමාජ මාධ්‍ය අවකාශයේ ඇය අතිශය ජනප්‍රිය මෙන්ම විශාල හඬක් නැඟීමට හැකි චරිතයක් වූවා. සනාගේ Instagram ගිණුම සමඟ සම්බන්ධව සිටි රසික පිරිස ලක්ෂ 7 ඉක්මවනවා. ඇගේ ටික් ටොක් රසික ප්‍රජාවද මිලියනය ඉක්මවා තිබුණා. මෙම ඛේදවාචකයත් සමඟ පැය 24 තුළ එය මිලියන 1.5ක් පමණ තෙක් ඉහළ ගියා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ මරණය පිළිබඳ ශෝකය පළකර තිබුණා.

 

සනා, සිය සමාජ මාධ්‍ය භූමිකාව ඔස්සේ බොහෝවිට මතු කළේ කාන්තා අයිතීන්, සංස්කෘතික පසුබිම, පරිසර සුන්දරත්වය වැනි කාරණා ගැනයි. අධ්‍යාපනික අගයකින් යුතු දැනුම්වත් කිරීම් ද ඊට අයත්. ඇය බොහෝ විට සිය රසිකයන් වෙත ගියේ, ජනප්‍රිය ගීතයකට තමන්ගේ හඬින් දෙබස් මුසුකරමින්. ඇයගේ සන්නිවේදන ශෛලිය ඉතා ආකර්ෂණීය වූවා.

සනා අවසන් වරට සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇත්තේ සිය 17 වෙනි උපන්දින සාදයයි. ඊට සනාගේ සමීප මිතුරු මිතුරියන් එක්ව සිටි අතර , ඇය බැලුන් ගොඩක් වටකරගෙන උපන්දින කේක් කපන අයුරු සහ මල් පොකුරක් අතැතිව සිටින සේයාරුවක් ද එහි තිබෙනවා.

 

සනාගේ ඝාතනය දැනගැනීමත් සමඟ ඝාතකයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසට රටපුරා විශාල හඬක් නැඟුණා. එය පොලීසියට ද පීඩනයක් එල්ල කළ බව ඉස්ලාමාබාද් පොලිස් ප්‍රධානියා මාධ්‍යයට පවසා තිබුණේ එය බිහිසුණු ඝාතනයක් ලෙස හඳුන්වමින්. අගනුවරම ආවරණය වන පරිදි වහා මෙහෙයුම් දියත් කළ පොලීසිය CCTV 113ක පටිගත වූ දර්ශන ද පරීක්ෂාවට ලක්කර පැය 24 ගතවීමටත් මත්තෙන් ඝාතකයා බවට සැකකෙරෙන තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.

 

ඒ බව පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද තහවුරු කර තිබෙනවා. සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝලය සහ අපරාධය සිදුකළ අවස්ථාවේ දී රැගෙන ගොස්තිබූ ඇයගේ ජංගම දුරකතනය ද සමඟ. විදෙස්

මාධ්‍ය වාර්තා කර ඇති පරිදි , සැකකරු ඇය සමඟ සබඳතාවක් ඇතිකරගැනීමට වරින් වර උත්සාහ කර ඇති අයෙක්.

 

එහෙත්, ඊට ඇයගේ එකඟතාවක් නොවූ පසුබිමක කල් යල් බලා නිවෙසට ඇතුළු වී මෙම අපරාධය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ . එම අවස්ථාවේ ඇයගේ මවුව්පියන් නිවෙසේ නොසිටි බවද එහි සිටි නැන්දණියකට ද ඝාතකයා මරණ තර්ජන එල්ල කළ බවද පැවසෙනවා. පවුලේ එකම දියණිය අහිමි වීමේ කම්පනයෙන් යුතුව ඇයගේ පියා මාධ්‍යට පැවසුවේ , සිය දියණිය ඉතාමත් නිර්භීත දැරිවියක වූ බවයි. ඒ වනතෙක්ම ඇය තමන්ට කිසියම් තර්ජනයක් ඇතැයි පවසා නොතිබූ බවද ඔහු පවසා තිබුණා.

 

සනා යුසෆ් වැනි සමාජ මාධ්‍ය වේදිකාවේ ක්‍රියාකාරී කතුන් මෙවැනි ඛේදනීය මෙන්ම අසාධාරණ ඉරණමකට මුහුණ දුන් අවස්ථා ගණනාවක් ආසන්න වසර කිහිපයක් තිස්සේ පාකිස්තානයෙන් වාර්තා වුණා. එම ඝාතන පසුපස මූලධර්මවාදී අදහස් හා යම් ආගමික පෙළඹවීම් තිබුණේ ද යන්න අවධානයට ලක්ව ඇති කාරණයක්.

පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම (HRCP) වාර්තා කර ඇති පරිදි , 2024 වසරේ දී කාන්තාවන් 346 දෙනෙක් සහ 2023 වසරේ දී 324 දෙනෙක් ඝාතනය කර ඇත්තේ , පවුලේ කීර්තිය හා ගෞරවයට අවමන් කළේය යන චෝදනාවට ලක්කරමින්. එම ඝාතන බොහොමයක් පවුල් තුළම සිදු වූ ඒවායි. මීට මාස කිහිපයකට පෙර සිය දියණියගේ ටික්ටොක් වීඩියෝවක් හේතුවෙන් ඇය මරා දැමූ පියෙක් ගැන ද එරටින් වාර්තා වුණා.

 

මානව හිමිකම් හා කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන අවධාරණය කරන්නේ මෙවැනි සිද්ධීන් හුදෙකලා සිදුවීම් ලෙස බැහැර කළ නොහැකි බවයි. ප්‍රසිද්ධියේ පෙනී සිටීම, ස්වාධීනත්වය වැනි කාරණා සම්බන්ධයෙන් සීමා පවතින සමාජයක එවැනි හැසිරීම් දඬුවම් ලැබීමට කාරණා වී ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා. තමන්ගෙන් කෙරෙන යම් ඉල්ලීම්වලට අවනත නොවීම හේතුවෙන් කාන්තාවන් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක්වීම කොපමණ ඛේදනීය තත්වයක්දැයි ඔවුන් ප්‍රශ්න කරනවා. 2016 වසරේ දී මෙවැනිම සමාජ මාධ්‍ය තරුවක් වූ ඛන්දීල් බලොක් ඇයගේ සොහොයුරා විසින් ඝාතනය කරන ලද අතර එය ද විශාල ආන්දෝලනයක් ඇති කළා. "පවුලේ ගරුත්වය" ට හානි කිරීම ඔවුන් ඇයට එල්ල කළ චෝදනාවයි.

 

බී.බී.සී.ය වාර්තා කළ පරිදි, ඩිජිටල් මාධ්‍යයට අදාළව උපදේශාත්මක කාර්යයන්හි යෙදෙන Bolo Bhi නම් සංවිධානය එම අවකාශයේ ක්‍රියාකාරී කාන්තාවන් සම්බන්ධයෙන් යොමුකෙරෙන ප්‍රතිචාර නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී පෙනීගොස් ඇත්තේ අන්තර්ජාලය පරිහරණයේ යෙදෙන පුරුෂ පක්ෂය අතරින් සුළුතරයක් දෙනා තර්ජනාත්මකව හා එදිරිවාදීව අදහස් පළකරන බවයි. ඒ ඇතැම් අය ආගමික පසුබිමක් සහිත වූවන් බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සිය ප්‍රතිචාර මඟින් බොහෝවිට ප්‍රශ්න කරන්නේ, ඔබ මෙවැනි දේ කතා කරන්නේ හෝ ප්‍රශ්න කරන්නේ ඇයි ? , ඔබේ මේ කටයුතු පවුලට ලජ්ජාවක් නිසා ඔබ ඉන් වැළැකිය යුතුයි වැනි කාරණා. එසේම මෙවැනි හැසිරීම් පවුලේ අය විසින් පාලනය කළ යුතු බවට ද ඔවුන් එමඟින් දන්වනවා. පාකිස්තානයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන ආචාර්ය ෆර්ෂානා බාරි ගේ අදහස වී ඇත්තේ මෙවැනි ප්‍රතිචාර බොහොමයක් ස්ත්‍රී විරෝධී මෙන්ම පුරුෂ මූලික ඒවා බවයි. කාන්‍තාවන්ට ද නිදහස තිබිය යුතු බව ද සනාට ද තමන්ගේම හඬක් තිබූ බව ද පෙන්වා දෙනවා.

කෙසේවුවද , මෙවැනි කාන්තා ක්‍රියාකාරිණියන්ට සමාජ මාධ්‍ය ඉතාමත් අවදානම් සහගත කලාපයක් වී ඇති බව ඇයගේ ද අදහසයි.

 

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂම (NCSW) මෙම අපරාධය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට රජයෙන් ඉල්ලා ඇතැයි, අල්ජසීරා පුවත්සේවය වාර්තා කළා. කොමිෂමේ සභාපති උමේ ලයිලා අෂාර් පවසා තිබුණේ සමාජ අපකීර්තිය , අසත්‍ය කතාන්දර හෝ ක්‍රමවේදයේ වරදක් හේතුවෙන් අපරාධකරුවන්ට නීතියේ රැහැනින් ගැලවී යන්නට හෝ මෙම සිද්ධීන් යටපත් කිරීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවයි.

 

තවමත් කාන්තාවන් හා ගැහැනු ළමුන් මෙවැනි බිහිසුණු ඉරණමකට ගොදුරු වීම ඛේදනීය බව ද ඇය පෙන්වා දෙනවා. එබැවින් , නොපමාව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුකර සනාට සහ ඇයගේ පවුලේ අයට යුක්තිය ඉටුකරන ලෙස ඇය ඉල්ලා තිබුණා.

 

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාකිස්තානයේ විශාලම පා ගමන සංවිධාන කරන Aurat March නම් සංවිධානය, මෙම අපරාධය අහම්බයක් නොව සැලසුම්සහගතව කරන ලද්දක් බව පෙනීයන බව පවසා ඇත්තේ, කාන්තාවන් පුරුෂ මූලික සමාජ හිංසනයේ ගොදුරු බවට පත්ව ඇතැයි ද පවසමින්. පාකිස්තානයේ ජනප්‍රිය සිනමා නිළි මහීරා ඛාන් ද Instagram පණිවිඩයක් තබමින් සනාගේ මරණය පිළිබඳ සිය කලකිරීම හා ශෝකය පළකර තිබුණා.

 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කාන්තාවන්ට මෙලෙස බලපෑම් එල්ල වෙමින් ඇත්තේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ පමණක් නොව ශාරීරික හිංසනය මඟින් වීම ඛේදනීය තත්ත්වයක්. එබැවින් ආයතනික පද්ධතියේ වෙනසක් විය යුතු බව මෙවැනි ක්‍රියාකාරීන් හා කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන පෙන්වා දෙනවා. කිසියම් කාන්තාවක් පුරුෂ පාර්ශ්වයේ අයුතු ඉල්ලීමක් ප්‍රතිකේෂ්ප කරන අවස්ථාවක පුරුෂයා ඊට ප්‍රතිචාර දක්වන්නේ හිංසනයෙන් නම්, එය කම්පනය නිසා සිදුකරන්නක් නොව ඇයව අපයෝජනයට ලක්කිරීමක් බව ද ඔවුන්ගේ අදහසයි.