වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
ඔයත් සුවඳ බෙදන කෝපි ඇටයක් වෙන්න

අද රැකියාවක් නොකරන කාන්තාවක් නැති තරම්. ඉතින් මේ කාර්යාල ජීවිතයේදී කාන්තාවකට මුහුණ දෙන්න සිදුවිය හැකි බොහෝ දේ තිබෙනවා. අපේ රටේ කිසිම කෙනෙක් කාර්යාල ජීවිතය ගැන සතුටින් නම් කතා කරන්නේ නැහැ. "අපෝ අපේ ඔෆිස් එක ද? එපා වෙලා තියෙන්නේ. අපේ ඔෆිස් එකේ ඉන්න පුළුවන් නම් ලෝකෙ ඕෙන තැනක ඉන්න පුළුවන්." ඔයා වැඩ කරන ඔෆිස් එක කොහොමද කියලා ඇහුවොත් ඒ වගේ උත්තර තමයි ලැබෙන්නේ.
සෑම කාර්යාලයකම සියලුම දෙනා මාසේ අන්තිමට වැටුපක් ලබනවා. මාසේ අන්තිමට ලබන වැටුපට අපි වැඩ කරන එක අපේ වගකීම. සමහර විට ඒ කරන වැඩවලට කැමති වැඩ වෙන්නත් පුළුවන්. සමහර විට එතරම් ප්‍රිය කරන්නේ නැති වැඩ වෙන්නත් පුළුවන්. මේ කාර්යාල පැය 8 ඇතුළේ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බෙදා හදාගන්න අය, තමන්ගේ පෞද්ගලික හැඟීම් ගැන කතා කරන්න පුළුවන් අය, හරියට තමන්ව තේරුම් ගන්න අය නැති වෙන්න පුළුවන්. මොකද ගොඩාක් මිනිස්සු අපිව දන්නවා වුණාට අපිව තේරුම් ගන්නේ ටික දෙනයි. ඒක නිසා මම හිතනවා මේ කාර්යාල ජීවිතයේදී අපි අපේ හැම දෙයක්ම පෞද්ගලික දේවල් එයාලට කියන්න ඕනේ නැහැ කියලා. අපිට මුණගැහෙන මිනිස්සු එකම සමාජ මට්ටමේ අයවත්, එකම අධ්‍යාපන මට්ටම තියෙන අයවත්, එකම ප්රශ්නවල ඉන්න අයවත්, එකම ආර්ථික මට්ටම් තියෙන අයවත් නෙවෙයි. උගත් මට්ටමත් එහෙමයි. සමහර අය ඉන්නවා පළමු උපාධිය කරලා ඉන්න, සමහර අය උසස් පෙළ කරලා එතැනින් එහාට ඉගෙන ගෙන නැහැ. ආයේ ඉගෙන ගන්න ඕනේ නැහැ, රස්සාවක් තියෙනවානේ කියලා නිකම් ඉන්නවා. ඒක නිසා එයාලට වඩා ඉස්සරහට යන අය ගැන ලොකු සතුටක් නැහැ.
ගැහැනියක් නම් ගොඩක් වෙලාවට ලිංගිකව තමයි එයාව ගොඩක් වෙලාවට අපහසුතාවට පත් කරන්නේ. ලස්සන, සුදු කාන්තාවක් නම් අනිත් අය කියනවා ඔය "හිටියට එයා හොඳ කෙනෙක් නෙවෙයි. වටේම මිනිස්සු. එයා ඉතින් කරන්නේ මිනිස්සු හුරතල් කරන එකනේ" කියලා. එහෙම කතා කියන අයටම තමයි ඒ විදිහෙ නරක හැසිරීම් තියෙන්නේ. මොකද හරි කාන්තාවක් නම් කවදාවත් අනුන්ගේ වැරදි කිය කිය යන්නේ නැහැ. ඒ අයට අනිත් අයගේ වැරදි වැඩකුත් නැහැ.
හොඳට අඳින පලඳින, කෑම එකට එළවළු දෙක තුනක් තියාගෙන හොඳ කෑම වේලක් කන කෙනෙක් කියන්නෙම අනිත් අයගේ ඉරිසියාවට ලක් වෙන කෙනෙක්. හොඳ ලස්සන සැපවත් පවුල් ජීවිතයක් ගෙවන කෙනෙක්ව දැක්කම ඉරිසියා සහගත ඇස් ගොඩකට ලක් වෙන්න ඉඩ තියෙනවා. මට නම් හැම තිස්සෙම හිතෙනවා කාර්යාලවල ඉන්නේ ළමා කාලය සංවර්ධනය වෙලා නැති අය කියලා.
කේලාම් කියන කෙනාට කවදාවත් කාර්යාලයේ වැඩ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ කාමරෙන් මේ කාමරේට, මේ කාමරෙන් ඒ කාමරේට කේලාම් කිය කිය ඉද්දි වෙලාව ගත වෙනවා දන්නෙවත් නැතුවම. මළ ගෙදරක එහෙම ගියහම කන්න බලාගෙන යන අය කියනවා "අපෝ කෑමවත් දුන්නේ නැහැනේ" කියලා. කෑම තිබුණොත් කියනවා "අපෝ හරි ගොඩේනේ මඤ්ඤොක්කයි, කරවලයිනේ තිබුණේ. නෙස්කැෆේ මැෂින් එකක්වත් නැහැනේ" කියලා. මැරිච්ච කෙනාගේ දුක බෙදාගන්න යන්නේ නැහැ. අඩුපාඩු බලන්න තමයි ඉතින් මළ ගෙදර යන්නේ. ඒ අයට හොඳ දේත් නරකක් විතරමයි.
මට ඇහිලා තියෙනවා සමහර අය තමන්ගේ දරුවෝ ගැන කියාගෙනම තමයි ඉන්නේ. අද මගේ කෙල්ල ගියානේ බාස්කට් බෝල් ගහන්න. කෙල්ල ගියානේ බැට්මින්ටන් ගහන්න. ඉතින් මම උදේම චිකන් ටිකක් උයලා, අල ටිකක් තෙල් දාලා බත් එක බැඳලා දුන්නා. එහෙම කියන අයගේ මම දකින දෙයක් තමයි ඒ අම්මලට එහෙම පහසුකම් කුඩා කාලයේදී ලැබිලා නැහැ. ඒ නිසා තමන්ගේ දරුවන් විඳින පහසුකම් ගැන අනිත් අයට දැනෙන්න පේන්න කියනවා. ඇත්තටම ඒවා කාර්යාලයකට අවශ්‍ය දේවල් නෙවෙයි.
සමහර අය ආයතනය හදන්න, දියුණු කරන්න ලොකුවට කතා කරනවා. හැබැයි කවදාවත් වෙලාවට වැඩට එන්නේ නැහැ. මේ අය නිතරම බලන්නේ හොර පාරේ හරි කට්ටි පනින්න. කතා කරන්නේ ලොකු දේවල්. කේලාම් කියන රණ්ඩු වෙන අයව දැක්ක ගමන්ම කියන්න පුළුවන්. එයාලගේ ශරීර ස්වභාවයෙන්ම හොයන්න පුළුවන්. ඒ ගොඩක් අය කුඩුකේඩු, නපුරු, නරක මිනිස්සු. හකු බැහැලා, සම වේළිලා, කැමරාවක් වගේ උකුසු ලොකු ඇස්, වක්කඩවගේ කටවල් තියෙන අය තමයි ඒ විදිහට හැසිරෙන්නේ. පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන, අවශ්‍ය තැනදි අවශ්‍ය වෙලාවට විතරක් කතා කරන කෙනා වැදගත් පවුල් පරිසරවලින් එන අය. අර විදිහේ නරක හැසිරීම් තියෙන අය එක්ක කතා කරන එකත් සාමකාමී අයට හරි වෙහෙස කරයි. කාර්යාලවලදී අනිත් අයව විවේචනය කරන්න කලින් තමන් හරියට වැඩේ කරලද කියලා බලන්න.
දෙයක් කියන්න කලින් ඇත්තද කියලා හොයලා බලන්න. ඇත්ත වුණත් මම මේක කියන්නේ මොකටද කියලා හිතන්න. අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව සිරගත කර තිබුණා. කාර්යාලයේ කෙනෙක් ඇවිත් කිවුවා මේ මෙයාගේ මහත්තයා තමයි රිමාන්ඩ් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ වෙලා තියෙන්නේ එකම නම තියෙන වෙන කෙනෙක්. අනිත් අය හරියට දන්නේ නැතුව කරපු චෝදනාවම නිසා ඒ කාන්තාව සියදිවි හානිකර ගැනීමට පවා ගියා. ඉතින් කොච්චර නරකද මිනිස්සුන්ගේ කටකතා.
"එයා අඳින සාරි හැමදාම පරණ පාටයි. එයා හොඳ සාරි අඳින්නේ නැත්තේ එයාට කරදර ඇති. එයාට හස්බන්ඩ් සලකන්නේ නැතුව ඇති." මෙහෙම කියන ගොඩක් අය සමාජයේ අවාසිසහගත තැන්වලින් ආපූ අය. හැබැයි අවාසිසහගත තැනකින් හොඳ තැනකට ආවම එයා හැසිරෙන්න ඕනේ හොඳ විදිහටනේ. හැබැයි මේ අය කවදාවත් එහෙම හැසිරෙන්නේ නැහැ. ඒක අනිත් කෙනාට හරි වෙහෙස කරයි. කාර්යාලයේ ඉන්න පැය 8 සතුටින් ඉන්න ඕනේ. නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි නරකම දකින අය හිටියම බුම්මගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මම හැම කෙනෙක්ටම යෝජනා කරන්න කැමතියි කාර්යාලය සුවඳ පිරුණු තැනක් කරගන්න. මල් වත්තක ඉඳලා එනවා වගේ කාර්යාලයෙන් පිටත් වෙන්න. හැම තිස්සෙම සතුට බෙදන කෙනෙක් වෙන්න. වතුර සහ ගින්දර එකම ප්‍රමාණයකට භාජනයකට දාලා ඒකට අල ගෙඩියක්, බිත්තරයක් සහ කෝපි ඇටයක් දාලා ළිප තිබ්බොත් අල ගෙඩිය ස්වභාවයෙන් ගන වුණාට රත් වුණාම මෘදු වෙනවා. සමාජ පීඩනය හමුවේ ඒ වගේ ගන මනුස්සයෙක් මෘදු වෙන්නත් පුළුවන්. බිත්තරය ස්වභාවික පරිසයේදී මෘදු වුණාට රත් වුණාම ගන වෙනවා. හරියට සමාජ පීඩනය හමුවේ මෘදු මිනිස්සු ගන වෙනවා වගේ. කෝපි ඇටයක් වතුරේදී රත් වුණාම ප්‍රණීත සුවඳක් විහිදවනවා. ඒ සුවඳට බොන්නත් හිතෙනවා. මුළු ගේම සුවඳවත් වෙනවා. ඔබත් කෝපි ඇටයක් වෙන්න. කොච්චර පීඩනයක් හමුවේ වුණත් කෝපි ඇටයක් වගේ සුවඳ බෙදමින් ඉද්දි හැමෝගෙම ආදරය ලැබෙන්න ගන්නවා. තරුණ වෙනවා. ප්‍රභාමත් වෙනවා. ඔයාට කරඬුවක් වගේ කාර්යාලයේදී බබළන්න පුළුවන්. අනිත් කෙනාට ඉරිසියා කළා කියලා ඔයාට ලැබෙන දෙයක් නැහැ. අනිත් අයගේ වචනවලින් වැටෙන්නත් එපා. අපි යන ගමන අපි දැනගත්තම ඇති. අනිත් අය දැන ගන්න ඕනේ අපි ගමනක් යනවා කියලා විතරයි. ඔබ ගන්න වැටුපට සාධාරණව වැඩ කරන්න. එහෙම කළොත් විතරයි ඒ වැටුප වැඩි කාලයක් ඔබේ මුදල් පසුම්බියේ රැඳෙන්නේ.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව