වතුකර ජන දිවිය සාහිත්‍යයට ගෙනා ආරුමුගම් මලරන්බන්

ජුනි 16, 2025

 

මාතලේ දිස්ත්‍රික්කයට සිවු වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර දූන් ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරන්බන් මහතාට උපහාර පිදීමේ ‘මලරන්බන් සම්භාවනා‘ පසුගියදා මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේ දී පැවැත්විණි. මේ ලිපිය ඒ වෙනුවෙනි.

 

යටත් විජිත යුගයේදී මෙරට වතු කර්මාන්තය සඳහා දකුණු ඉන්දියාවෙන් රැගෙන ආ වතු කම්කරුවන් කඳුකර වතුකරය කේන්ද්‍රගෙන සිය ජන ජීවිත ගත කළහ. කුඩා ලයින් කාමරවලට කොටුවූ ඔවුන්ගේ ජන ජීවිතය සාකල්‍යයෙන්ම දුක්ඛිත විය. පුරවැසි අයිතීන් කිසිවක්ම නොමැතිව ගත කළ ඔවුන් මෙරටට රැගෙනවිත් වසර 200ක් ද ඉක්ම ගොස් තිබේ. එහෙත් තවමත් ඔවුන්ගේ මානව අයිතීන් සහ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම ඉටු වී නොමැත. මෙම දෙමළ වතු ප්‍රජාව ගැන සාහිත්‍යයේදී කතා කළ ප්‍රමුඛතම ලේඛකයා වන්නේ ආරුමුගම් මලරන්බන්ය. ආරුමුගම් කතා කරන්නේ මේ මිනිසුන්ගේ දුක්ඛිතභාවය හා වද වේදනාවන් පිළිබඳවය.

 

ලංකාවේ දෙමළ සාහිත්‍යය ශානර තුනක් ඔස්සේ හඳුනාගත හැකි අතර ඒ යාපනේ දෙමළ සාහිත්‍ය, කොළඹ දෙමළ සාහිත්‍ය සහ වතුකරයේ දෙමළ සාහිත්‍ය වශයෙනි. මාතලේ ආරුමුගම් මලරන්බන් මහතා වතුකර දෙමළ සාහිත්‍ය ශානරය තුළ කටයුතු කරන්නේ 1965 වසරේ සිටය. සරත් කුමාරගම ඇතිගේ මහතා විසින් ‘මිනී සළුව’ නමින් සිංහලයට පරිවර්තනය කොට ඇති ඔහුගේ ‘කෝඩිචෛලෙ’ කෙටි කතා එකතුවට පසුවදනක් ලියන ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන මහතා මලරන්බන්ව හඳුන්වා දී ඇත්තේ ලංකාවේ ගෝර්කි යනුවෙනි.

 

ආරුමුගම්ගේ පරම්පරාවේ මුල් පුරවැසියන් අයත් වන්නේ ඉන්දියාවෙන් වතු වැඩ සඳහා මෙරටට රැගෙන ආ පරම්පරාවටය. නෝත් මාතලේ වත්තේ ක්ෂේ්ත්‍ර නිලධරයෙකු ලෙස මලරන්බන්ගේ පියා වැඩ කළේය. ඔහුගේ අම්මා ඉන්දියානු ජාතික කාන්තාවකි. පියා ඇයව කසාද බැඳ තමිල්නාඩුවල සිට ලංකාවට කැටුව ආ අතර ලංකාවේ නව ජීවිතයට හුරු විය. නවදෙනෙකුගෙන් යුක්ත පවුලේ සහෝදරියන් හයදෙනෙකු සහ සහෝදරයින් තුන්දෙනකි.

 

පියා ඔහුව තුන්වැනි පන්තියේ වතු ඉස්කෝලෙට ඇතුළත් කරන අතර පසුව ඩබල් ප්‍රමෝෂන් ලබාගෙන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට ඇතුළත් විය. ඒ පහේ පන්තියේ ශිෂ්‍යයෙකු ලෙසය. ක්‍රිස්තුදේව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන ඔහු විද්‍යාලයීය හොකී කණ්ඩායමේ ද සාමාජිකයෙකුව සිට ඇත. 1960 වර්ෂයේ විභාගය අවසන් කොට සිටින අතර ගහකින් වැටී වම්පාදය බිඳීයාම ඔහුගේ ලේඛන දිවියට ආශීර්වාදයක් වූවාට සැක නැත.‍

 

මලරන්බන් විවාහ වුවේ ශාන්තිලතා පොඩි මැණිකේ අමුණුගම නම් සිංහල කුල කාන්තාවක සමඟය. ඔවුන්ට දියණියන් තිදෙනෙකු සිටින අතර තිදෙනාම උපාධිධාරීනියන් ලෙස රැකියාවල නිරතව සිටින්නේය. ඔවුන් විවාහ වී වෙනත් පළාත්වල පදිංචිව සිටී. වතු පාසල් ගුරුවරයෙකු ලෙස ඔහු මාතලේ කොහොලන්වල විද්‍යාලයේ කටයුතු කළත් එම රැකියාව ස්ථිර වූයේ නැත.

 

1965 සිටම නිර්මාණකරණයෙහි නිරතවන ඔහු මුල් කාලයේ නාට්‍යකරුවෙකු ලෙස කටයුතු කොට තිබේ. ඉන්දියානු කාමන්කුත්තු රිද්මයේ නාට්‍ය කිහිපයක්ම ඔහු නිෂ්පාදනය කොට වතුකරයේ ප්‍රදර්ශනය කළේය. “මින්නුම් අලෙයිහල් (දිලිසෙන දිය රැලි), පඬිත්ත මානවී (උගත් භාර්යාව), කාදල්කාදේ (ආලය නොකරම්), අන්බිම් අලෙයිහල් (කරුණා රැලි)” එම නාට්‍ය වේ.

 

1967 සිට දෙමළ පුවත්පත්වලට නිර්මාණ සපයන මලරන්බන්ගේ කෙටිකතා සහ කෙටි නවකතා එකල දෙමළ ජනයා අතර ජනප්‍රිය විය. ඒ සමඟම ගුවන් විදුලියට ද ඔහු නාට්‍ය රචනා කළේය. චිත්‍රපට කිහිපයකටම ද ගීත රචනා කොට තිබේ. “ආදර මීනා, හලෝ මිස්ටර් මම ඩිරෙක්ටර්, අප්පාරිහල්” එම චිත්‍රපටයි. කලාවති මුත්තලගේ වැන්නන් ඒ ගී ගායනා කොට තිබේ. “උලහම් යාරුක්කාහ” (මේ ලොව කාටද) නමින් චිත්‍රපට තිර පිටපතක් ද ඔහු ලියා තිබේ.

 

සාහිත්‍යකරුවෙකු ලෙස ඔහු වඩාත් ප්‍රචලිත වූයේ කෙටිකතාකරුවෙකු සහ නවකතාකරුවෙකු ලෙසනි. මේ බොහෝ නිර්මාණවලට පාදක වී තිබෙන්නේ යටත් විජිත යුගයේ ඉන්දියානු වතු කම්කරුවන් මෙරටට රැගෙනවිත් කඳුකරය සහ වතුකරය ආශ්‍රිතව පදිංචි කරවීම හරහා මතු වූ ජන පීඩාවය. ඒ අනුව ඔහුට වතුකර දෙමළ සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබීමට හැකි විය. 1989 දී ඔහු විසින් ලියා පළ කළ “කෝඩි චේලෙයි” සහ 2008 දී පළ කළ “පිල්ලෙයාර්සුලි” කෙටිකතා සංග්‍රහයන් සඳහා ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිණි. 2001 දී ඔහු රචනා කළ මහවැලියේ මහ නදියේ ගීත රචනා එකතුව සඳහා ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිණි. එසේම ඒවාට පළාත් මට්ටමේ සම්මාන ද හිමි විය. ඔහුගේ පිල්ලෙයාර්සුලි කෘතිය උපාලි ලීලාරත්න මහතා විසින් “පෙරියතම්බිගේ තිත් එළුවා” නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එයම එම්. පාරුක් මහතා විසින් “ජෙනසිස්” නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය.

 

එසේම විශ්ව කෙටිකතා එකතුවක් “කොලුෂා” නමින් දෙමළ බසට පෙරළමින් 2023 වසරේ ඔහු යළි රාජ්‍ය සම්මානය හිමිකර ගත්තේය. ඇන්ටන් චෙකොෆ්, මක්සිම් ගෝර්කි, මෝපසාං වැනි ජාත්‍යන්තර කෙටිකතාකරුවන් අතර මෙම කෙටිකතා එකතුව සඳහා ඔහු විසින් ජී. බී. සේනානායක, දෙනගම සිරිවර්ධන, කපිල කුමාර කාලිංග සහ

ගාමිණී නිශාන්ත කරුණාරත්න දේශීය ලේඛකයින්ගේ කෙටිකතා නිර්මාණ හතරක් එක්කොට තිබිණි.

 

විමලා ආරියරත්නගේ “මහතලා හටනේ අතුරු කතාවක්” යොවුන් නවකතාව ඔහු විසින් මාත්තල පෝරාටත්තින් ඕර් උබකත” යනුවෙන් දෙමළ බසට පෙරළුවේය. 2019 වසරේ පළ වූයේ පාල් වනංගලිල් කෘතිය විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්විණි. එය මෙරට වතුකර රබර් වගාව ආශ්‍රිත ජන ජීවිතයේ දුක් දොම්නස් යථාවාදීව ප්‍රතිභිම්බනය කළ කෘතියකි.

 

සිංහල ලේඛකයින්ගේ පොතපත දෙමළ පාඨකයාට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක යෙදෙන මලරන්බන් මහතා ඒ වෙනුවෙන් ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය. දිවංගත පියදාස වැලිකන්නගේ මහතාගේ “එයා හරි අපූරු ළමයෙක්” කෘතිය “අවන් ඕර් අබූර්ව සිරුවන්” නමින් දෙමළ බසට පෙරළීම වෙනුවෙන් ද ඔහුට රාජ්‍ය සම්මානය හිමි විය.

 

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 04ක්, පළාත් සම්මාන 05ක්, ගොඩගේ සම්මාන 03ක්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සම්මානය ඇතුළුව බහු සම්මානිය වූ මේ නිරහංකාර මිනිසා 82 වියෙහි ද අනලස්ව සිය ලිවිසැරියෙහි නිරතව සිටී.

 

උතුරු මාතලේ ශාන්ති නි‍ෙවසේ පදිංචිව සිටිමින් සිංහල, මුස්ලිම් ලේඛකයින්, පාඨකයින් අතර සංස්කෘති පාලමක් හැදූ මිනිසා ආරුමුගම් මලරන්බන්ය.

 

විරං ජයතු හද රන්වන් මලරන්බන් මැති සඳ

 

 

ගාමිණී නිශාන්ත කරුණාරත්න

මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය සංසදයේ සභාපති