විස්ම විශ්වය

ජුනි 16, 2025

ආදරය සොයන කණමැදිරියෝ

සෑම වසරකම මැයි ජූනි මාසවල ජපානයට ගිම්හානය උදාවෙනවාත් එක්කම ජයාරූප ශිල්පින් යුහුසුලු වෙන්නේ ස්වභාවධර්මයේ හරි අපූරු ක්‍රියාවලියක් කැමරා කාචයේ සටහන් කර ගන්න.

ඒ තමයි ජපානයේ වනාන්තරවල ජීවත් වෙන කණමැදිරියන් (fireflies) , එයාලට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගෙන යන ගමන ඡායාරූප ගත කර ගන්න. මිලියන ගණන් කණමැදිරියන් රාත්‍රී 7 - 9 අතර කාලයේ කරන මේ ඉන්ද්‍රජලික සංචාරය කැමරා කාචවල සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට.

 

සූරියකාන්ත මල් මිටියාවත

8 වැනි ශත වර්ශයේ සිටම ඉතාලියේ Tuscany පළාත සූරියකාන්ත මල් වගාවට ලෝක ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. සෑම වසරකම ජූනි, ජූලි මාසවලදී ලෝකයේ නන්දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට Tuscany පළාතේ ගම්බද ප්‍රදේශ බඳුන්වෙන්නේ සියලුම මිටියාවත් රන්වන් පැහැයෙන් බබළන මනස්කාන්ත සූර්යකාන්ත මල්වලින් වැසී යන නිසාය.

සූරියකාන්ත ශාකය මුලින්ම යොදාගනු ලැබුවේ ගෙවතු සරසන විසිතුරු ශාකයක් ලෙසිනි.

පසුව සූරියකාන්ත ඇටවලින් තෙල් ලබා ගැනීම ආරම්භ වීමත් සමඟ එය වාණිජ බෝගයක් වශයෙන් යුරෝපය පුරා ප්‍රචලිත විය.

 

ඉතාලියේ නිදි කුමරිය

 

1920 වර්ෂයේ ඉතාලියේ ජීවත් වූ රෝසාලියා ලොම්බාඩෝ (Rosalia Lombardo) නම් දැරිය නියුමෝනියාව සෑදී මියයන්නේ ඇයට වයස අවුරුදු දෙක සම්පූර්ණ වන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.

 

පණ මෙන් ආදරය කළ තම දියණියගේ අකල් මරණයෙන් දැඩි කම්පාවට පත්වන රෝසාලියාගේ පියා, ඇයගේ මෘත දේහය ආරක්ෂා කිරීම සඳහා එවකට ඉතාලියේ නමගිය රසායන විද්‍යාඥයකු ලෙස සැලකූ ඇල්ෆ්රෙඩො සලාෆි හට භාර දෙනු ලබයි.

 

ඇල්ෆ්රෙඩො විසින් ඉතා දක්ෂ ලෙස රහස් වට්ටෝරුවකින් කරන ලද එම්බාම් කිරීම හේතුවෙන් රෝසාලිසා මියගොස් වසර සියයකට වැඩි කාලයක් ගත වුවද අදටත් එම සිරුර ජීවමානව පවතින්නේ දුටු දුටුවන් පුදුමයට පත් කරමිනි. ඇයගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පවා තවමත් සුරක්ෂිතව පවතින බව එක්ස් කිරණ ස්කෑන් මඟින් තහවුරු කරගෙන ඇත.

 

ලොව වඩාත් හොඳින් සංරක්ෂණය වී ඇති මෘතශරීර අතුරින් එකක් ලෙස ද සැලකෙන රෝසාලිසාගේ සිරුර, වීදුරු පෙට්ටියක බහා සිසිලියේ Capuchin Catacombs නමින් හැඳින්වෙන උමං සොහොන් ගෙය තුළ තැන්පත් කර තිබෙන්නේ එය නරඹන්නන් හට නිද්‍රාවකට වැටී සිටින පුංචි කුමරියක් සිහිගන්වමිනි.

 

බෙල්ලට වද දෙන ජිරාෆ් ළඳුන්

බෞද්ධ රටක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති බුරුමයේ විශේෂිත වූ ජන වාර්ගික කණ්ඩායම් කිහිපයක් ජීවත් වෙති. ඔවුන් අතරින් නැඟෙනහිර බුරුමයේ ජීවත් වන කායන් ගෝත්‍රයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගෙල වටා පිත්තල වළලු බැඳ දිගු ගෙලක් සහිත කායන් කාන්තාවන් බුරුමයේ කායන් සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කෙරෙන සංකේතයක් වශයෙන් සැලකේ.

 

කායන් කාන්තාවන් අවුරුදු 5 සිට පිත්තල කැබැල්ලක් තම ගෙල වටා දඟරාකාරව ඔතා ගනියි. ඔවුන් වයසෙන් වැඩෙත්ම වළලු ප්‍රමාණය වැඩි කරනු ලබන අතර අවසානයේ වැඩිහිටි කාන්තාවකගේ ගෙල වටා ඔතාගෙන ඇති පිත්තල වළලුවල බර ප්‍රමාණය කිලෝ 10ක් පමණ වෙයි.

මෙලෙස ගෙල වටා පිත්තල වළලු පැලඳීම මඟින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ගෙලෙහි ශක්තිමත් බව වැඩිකර ගැනීම සහ දිග ප්‍රමාණය වැඩිකර ගැනීමයි.

 

කායන් කාන්තාවකට දික් වූ ගෙලක් පිහිටීම කායන් සංස්කෘතිය අනුව සුන්දරත්වය පෙන්නුම් කරන මූලික ලක්ෂණයක් බව ඔවුන් විශ්වාස කරනු ලබයි.