තායිලන්තයේ ක්‍රීඩාපිටිය රනින් සැරසූ මොනරාගල නෙත්මිකා

ජූලි 14, 2025

 

පසුගිය දා තායිලන්තයේ බැංකොක් නුවර පැවති විවෘත මලල ක්‍රීඩා තරගය අපට සුවිශේෂී තරගාවලියක් විය. එහිදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අටදෙනා පදක්කම් 11ක් දිනා ගැනීමට සමත් වූහ. මේ පදක්කම් අතරින් විශේෂිත වූ පදක්කම් දෙකකට හිමිකම් කියූවේ නෙත්මිකා මධුෂානී හේරත් ය. අප නෙත්මිකා ගැන මුලින්ම සටහනක් තැබුවේ පසුගිය වසරේ ඔක්තෝ්බර් මාසයේදීය. ඒ ඇය පසුගිය වසරේ තැබූ වාර්තා ගොන්නක අභිමානය ගැනයි.

 

එහි උණුසුම මැකී යන්නටත් පෙර අපට නෙත්මිකා ගැන නැවත සටහනක් තැබුමට වාසනාව හිමිවූයේ ඇය තායිලන්තයේ දී දැක් වූ දක්ෂතාව නිසයි. බිබිලේ නන්නපුරා මහා විද්‍යාලයෙන් බිහි වූ මේ ක්‍රීඩා තරුව ජාත්‍යන්තර පිටියේ ජයග්‍රහණ හිමිකර ගනිමින් ක්‍රීඩාපිටිය දිග්විජය කරන විට අපට නැවත වරක් ඇය ගැන සටහනක් තබන්නට සිත් වූයේ ඇයගේ පසුගිය අතීතය ද සිහිපත් කරමිනි. තායිලන්ත සවාරියෙන් පසුව ලංකාවට පැමිණ දින කිහිපයකට පසුව නෙත්මිකා අප සමඟ පිළිසඳරකට එක් වූයේ ඇය ලැබූ එම ජයග්‍රහණයේ සතුට බෙදා ගනිමිනි.

 

“මම මේ තායිලන්ත සවාරියට සහභාගි වුණේ හරිම සතුටින් හා ලොකු විශ්වාසයකින්. ඒකට හේතුව වුණේ මගේ ක්‍රීඩා ජයග්‍රහණ වගේම උසස් පෙළ ප්‍රතිඵලයත් හොඳම මට්ටමක තිබීමයි. මම පසුගිය වසරේ විදේශ සංචාර කිහිපයකටම සහභාගි වුණා. ඒ වගේම වැඩි කාලයක් ක්‍රීඩාවටයි යොමු කළේ. සමහර දවස්වලදී පීරියඩ් 4 - 5 මට අධ්‍යාපන කටයුතුවලට එන්න බැරි වුණා. නමුත් මගේ ගුරුවරු මට අතපසු වුණු සියලුම විෂයයන් නැවත ඉගැන්නුවා. සමහර අවස්ථාවලදී පාඩම නතර කරපු තැනත් හොයා ගන්න බැරි තරම් විෂය නිර්දේශය මට අතපසු වුණා. නමුත් ඒ සියලු විෂයන් නැවත උගන්නපු නිසා මම වාණිජ අංශයෙන් A දෙකයි B එකයි ලබා ගනිමින් උසස් පෙළ සමත් වුණා. ඇත්තටම ඒ සතුටත් එක්ක තමයි මේ තායිලන්ත සංචාරයට එකතු වුණේ. ඒ නිසා මට එහිදී මගේ හොඳම දක්ෂතාව පෙන්වන්න පුළුවන් වුණා. මම දුර පැනීමේ තරගය 6.37ක් වාර්තා කළා. තුන් පිම්ම තරගය 13.58ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම් දෙකක් හිමිකර ගත්තේ රටවල් 12ක් සමඟ තරග කරමින්.

 

මේ සියලු ජයග්‍රහණ හිමිකර ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ මගේ ක්‍රීඩා ගුරුවරුන් දෙදෙනාටයි. එම්. ජී. කේ. කුමාර සර් සහ සංජීවනී මිස් තමයි මට මේ ගමන එන්න ශක්තියක් වුණේ. ඒ දෙන්නා මට හමුවුණේ අවුරුදු පහළොවේදී. දැන් අවුරුදු හයක් ඒ දෙන්නා තමයි මාව මේ තත්ත්වයට පුහුණු කිරීමේ කටයුතු හා අනෙකුත් පහසුකම් ලබා දෙන්න මුල් වුණේ.

 

මගේ තාත්තා ගොවියෙක්. අපේ පවුලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. තාත්තා වනිගසේකර බණ්ඩාර. අම්මා ධම්මිකා අත්තනායක. ඒ දෙන්නට මගේ ක්‍රීඩා කටයුතුවලට වියදම් කරන්න අපහසුකම් හුඟාක් තිබුණා. ඒ ගැටලුවලට විසඳුමක් ලෙස අනුග්‍රාහක ආයතන දෙකක් වන මාස් ඇත්ලටික් ආයතනය හා ලෝඩ් මාස්ටර් ආයතන උදවු කරන්න කැමැති වුණේ මගේ දක්ෂතාව නිසයි. ඒ සියලු දේ මට ලබා ගන්න උදවු කළේ කුමාර සර් සහ සංජීවනී මැඩම්. ඒ දෙන්නා මට සලකන්නේ ඒ දෙන්නගේ දරුවෙකුට වගේයි. ඒ වගේම වර්තමානයේ අපේ පාසලේ ක්‍රීඩා උපදේශක එරන්ද විජේවර්ධන සර් මට හුඟාක් උදවු කරනවා.

 

මම මේ වන විට ජාත්‍යන්තර තරග හතරකට සහභාගි වෙලා තිබෙනවා. මුලින්ම සහභාගි වුණු තරගය තමයි ඩුබායිවල පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය. ඒ තරගයෙන් මට තුන් පිම්ම සඳහා රිදී පදක්කමක් හිමි වුණා. ඉන්පසුව පසුගිය වසරේදී ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයට සහභාගී වීමට අවස්ථාව ලැබුණා. එම වසරේදීම පාසල් තරගාවලියේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව වීමටත් හැකි වුණා.

 

මේ වගේ ජයග්‍රහණ රාශියක් ලබා ගනිමින් මට මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ මගේ මවුපියන් සහ ගුරුවරු නිසයි. ඒ අය තමයි බිබිල වගේ ඈත දුෂ්කර ඉපදුණු මගේ සැඟවුණු දක්ෂතාවක් ජාත්‍යන්තරය දක්වා රැගෙන ආවේ. මම ඒ අය කරපු උදවු කිසිම දවසක අමතක කරන්නේ නැහැ. මම ඉගෙනුම ලැබූ නන්නපුරා මහා විද්‍යාලටයි, ගුරුවරුන්ටයි හැමදාම ණය ගැතියි.

 

මගේ ලොකුම ඉලක්කය අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරම ජාත්‍යන්තර පුහුණුවක් ලබා ගනිමින් ලෝක ශූරතාව හිමිකර ගැනීමයි.“

 

මධුෂානී සැබැවින්ම විශාල කැපවීමක් කරමින් ජාත්‍යන්තර මට්ටම දක්වා පැමිණි ක්‍රීඩිකාවකි. ඇයගේ එම දක්ෂතාව හා උනන්දුව සමස්ත දරු පරපුරටම ආදර්ශයක්. අගනුවරින් ඈත බිබිල ප්‍රදේශයේ උපන් මේ ක්‍රීඩා තරුව ලොවම දිනන දිනය වැඩි ඈතක නොවනු ඇත.

 

මවුබිමට කීර්තියක් හිමිකර දෙමින් අැය එම ජයග්‍රහණය රැගෙන එන තෙක් අපි දෑස් දල්වාගෙන බලා සිටිමු.