වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
අමෙරිකාවේ කරාතේ වළල්ලේ දස්කම් පාන අපේ පුංචි කෙල්ල

මේ පුංචි මවුබිමේ ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන යාම අපට විශාල ශක්තියකි.විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලාංකේය නාමය රැව් පිළිරැව් දෙන විට එහි ගෞරව හිමිවන්නේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටය.එවැනි ගෞරවයක් හිමිකර දුන් අවස්ථාවක් ගැන අපට පසුගියදා අසන්නට ලැබුණේ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි පුංචි දියණියකගෙනි. අෙමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි උසස් පාසල් සිසුවියක් වන ශ්‍රී ලංකාවේ මන්මිතා සේනාධි ජිනසේන පසුගියදා අෙමරිකා එක්සත් ජනපද කරාතේ ජාතික ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීම ජාත්‍යන්තරයේ කතාබහට ලක් වූ මාතෘකාවක් විය.
වයස අවුරුදු පහළොවක් වන මේ පුංචි දියණිය මේරිලන්ඩ් ප්‍රාන්තය නියෝජනය කරමින් එකම කාන්තා ජයග්‍රාහිකාව ලෙස කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමිකර ගත්තේ කරාතේ 'කාතා' අංශයේ තරගාවලියට සහභාගී වෙමිනි. මෙලෙසින් ඇය මෙම ජයග්‍රහණය ලබන්නේ සෙන්සේ කරාතේ ඩෝගේ ගුරුහරුකම් යටතේ කරාතේ ගමන ආරම්භ කර වසරකට පසුවය.
වයස අවුරුදු හතේදී ශ්‍රී ලංකාවේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් කරාතේ ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වූ ඇය මේ වන විට ජාත්‍යන්තර තරග ගණනාවක් ජයග්‍රහණය කර තිබේ. ඇය ලැබූ මේ ජයග්‍රහණ පිළිබඳ මහත් අභිමානයෙන් යුතුව අපට සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ඇයගේ මව වන ශලනි තරින්දි ෆොන්සේකා මහත්මියයි.
ශ්‍රී ලංකාවේ නිළි රැජන වන මාලිනී ෆොන්සේකා මහත්මියගේ සමීප දියණියක් වන ඇය මේ ජයග්‍රහණය පිළිබඳ සඳහන් කළේ මෙලෙසිනි.
"අපට ඉන්න එකම දුව තමයි මන්මිතා. එයා හරිම නිශ්ශබ්ද අහිංසක චරිතයක්. අපි කවදාවත් හිතුවේ නෑ අපේ දුව මේ වගේ ක්‍රීඩාවකට යොමු වෙයි කියලා. සෙන්සේ සපරමාදු තමයි අපට මුලින්ම දුවගේ ඇඟේ හැඩය දැකලා කිවුවේ එයාට කරාතේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඇත්තටම අපිත් පුදුම වුණා එයා මුලින්ම ක්‍රීඩා කරන්න ගිය දවසේ පටන්ම දක්වපු දස්කම් දැකලා. ඊට පස්සේ එයාට වෙනම උපදේශිකාවක් ලබා දුන්නා. නවෝධි ගුරුතුමිය තමයි සපරමාදු මහතාගේ උපදෙස් මත දිගටම ලංකාවේදී පුහුණුවීම් කටයුතු කළේ.
අපි අමෙරිකාවට ආවට පස්සේ මේ කරාතේ ක්‍රීඩාව සඳහා පුහුණුවීම් කටයුතුවලට උපදේශකයකු සොයා ගන්න එක විශාල ගැටලුවක් වුණා. ගිය වසරේ තමයි එයාට පුහුණුවීම් සඳහා උපදේශකයෙක් සොයා ගත්තේ. දුව වර්ජිනියා ප්‍රාන්ත තරගයේදී කුඹිතේ සහ කාතා තරග දෙකට ඉදිරිපත් වෙලා රන් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත්තා.
අපි අමෙරිකාවට ඇවිල්ලා වසර කිහිපයක් වෙන්නේ. මගේ සැමියා රසික ජිනසේන. එකම දියණිය මේ වගේ දක්ෂතාවක් දක්වනවා දැකීම හරිම සතුටුයි."
මව සමඟ කළ පිළිසඳරෙන් පසුව ඇයගේ බලාපොරොත්තු ගැන මන්මිතා මොහොතක් අපට සඳහන් කළේ මෙලෙසිනි.
මම මේ සටන් කලාවට අමතරව නාට්‍ය, සංගීතය, ගායනය, ලිවීම සහ කලාවට කැමැතියි. මේ පාසලට පැමිණියාට පසුව පාසලේදී "මාමා මියා" සහ "රේඩියම් ගර්ල්ස්" වැනි ජනප්‍රිය නිෂ්පාදනවලට දායක වුණා. ඇත්තටම මට ආසාවක් තියෙනවා රංග කලාව ගැන.
ඒ වගේම රොබෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම තමයි මගේ අධ්‍යාපනයේ ලොකුම ඉලක්කය. ඒ ඉලක්කයට යන්න මගේ අම්මයි, තාත්තයි මට ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම මට කරාතේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මේ ප්‍රාන්තයේ සිටින සෙන්සේ හොඳ පුහුණුවක් ලබා දෙනවා."
මාලිනී ෆොන්සේකා නම් විශිෂ්ට රංගවේදනියගේ අඩි පාරේ යමින් මන්මිතා රංගන කුසලතාවය ද කරාතේ ක්‍රීඩාවෙන් තවත් ජයග්‍රහණ රැසක් ද සමඟින් ඉදිරියේ දී අපට දැක ගැනීමට හැකි වනුු ඇත.