ඔබේ ණය ගනුදෙනු ගැන පවුලේ අය දැනුවත් කරන්න...

අගෝස්තු 7, 2019

මූල්‍ය විනය පවත්වා ගැනීම සාර්ථකත්වයේ අඩිතාලමයි

'ණය' අද බොහෝ දෙනකුට ගැටලුවකි. ණය ගැනීමට බොහෝ විට සිදුවන්නේ නිසි මූල්‍ය කළමනාකරණයක් නොමැතිව මුදල් පරිහරණය කිරීම නිසයි.

ණය ගැනීමෙන් අපේ සමහර අරමුණු සාක්ෂාත් කරගත හැකි වුවද ඇතැම් විට ණය ගැනීම් නිසාම ජීවිත විනාශ මුඛයට ගෙන ගිය චරිත පිළිබඳ ද අසන්නට දකින්නට ලැබේ.

කිසියම් නිශ්චිත අරමුණක් සඳහා අපට ණයක් ලබා ගැනීමට සිදුවිය හැකිය.. ව්‍යාපාරික කටයුත්තක් සඳහා ණයක් ලබා ගන්නේ නම් අප සිතිය යුතු කාරණා කිහිපයකි. මේ ණයට මම කොතරම් පොලී මුදලක් ගෙවන්නේද? වාරික කොපමණ සංඛ්‍යාවකින් ගෙවා නිම කරන්නේ ද? ඒ අතර මෙම මුදල ආයෝජනය කිරීමෙන් මම ගෙවන පොලී මුදලට වඩා ලාභයක් ඉපැයිය හැකිද?

මේ අතර අන්තර් සම්බන්ධතාව (තමා ගන්නා ණය මුදල හා ආයෝජනයෙන් ලබන ලාභය) පිළිබඳ සොයා බලා ණය මුදල ගැනීමට යොමු විය යුතුයි.

ඇතැම් පුද්ගලයෝ බැංකු අයිරාවන් ගැනීමට පුරුදු වී සිටිති. එය පුරුද්දට සිදු කරන පුද්ගලයන් සිතන්නේ 'මම රෝලක් දානවා' ලෙසයි. එහෙත් මෙලෙසින් ණය පිළිවෙළක් නැති ලෙස දිගින් දිගට ගැනීමෙන් සිදු වන්නේ තමා නොදැනීම ණය උගුලක සිරවීමයි.

පෞද්ගලික මට්ටමින් ගත් විට අප දරා ගැනීමට අපහසු දේවල් සඳහා ණය වේ. යමක් දුටු විට ආසාවට යම් යම් දේ සිදු කිරීම යම් නිවෙසක් දුටු විට එහි තිබූ ආකාරයේ අංග නිවෙසට අවශ්‍යදැයි නොසිතා එකතුකර ගැනීම), කොටස් වශයෙන් ගෙවීම සඳහා බඩු භාණ්ඩ මිලදී ගැනීම ආදිය සිදු කරයි. අපිට එක්වරම සිතෙන්නේ වාරික වශයෙන් ගෙවා මිලදී ගැනීම් සිදු කිරීම වාසිදායක බවයි. නිවැරැදි මූල්‍ය සැලසුමක් පවත්වා ගන්නා අයකුට මෙම වාරික නිසි ලෙස ගෙවීම අපහසුවක් නොවිය හැකියි. එහෙත් නිවැරැදි මූල්‍ය සැලසුමක් නොමැති පුද්ගලයකුට මෙය තවත් කරදරයක් දමා ගැනීමක් විය හැකි වන්නේ නිසි ලෙසින් වාරික නොගෙවීමෙන් අමාරුවේ වැටෙන නිසයි. මෙවැනි බඩු භාණ්ඩ ගැනීමේ දී හෝ පුද්ගලික මට්ටමේ අවශ්‍යතා සඳහා ණය ගන්නේ නම් තමාගේ ස්වාමියා හෝ භාර්යාව දැනුවත්කර කතාබහක නියැලී තීරණයක් ගැනීම වඩාත් සුදුසු ම ක්‍රියාවයි.

අනෙක් කරුණ වන්නේ හිතවතුන්ට තමාට දැරීමට අපහසු ආකාරයේ මූල්‍යමය උදවු කිරීමයි. ඇතැම් වෙලාවට සමහර පුද්ගලයන් තමාගේ කනකර ආදී වටිනා දේ උගස් තබා මුදල් ලබා දීමට පෙලඹේ. එමෙන්ම තමා පොළියට මුදල් ලබාගෙන හිතවතුන්ට උදවු කරයි. එහෙත් මෙහිදී ඔබෙන් උදවු ලබා ගත් පුද්ගලයා එය නැවත ලබා දීමට තරම් මානුෂික නොවුවහොත් හෝ යම් කරුණක් නිසා මුදල් ලබා දීමට නොහැකි වුවහොත් ඉන් අපහසුතාවට පත් වීමට සිදු වන්නේ තමාටය. මෙවැනි සිද්ධීන් බොහොමයක් අද සමාජයේ දී අසන්නට දකින්නට ලැබේ.

එක් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් පැවසූ උපදේශයක් වන්නේ 'අමතක කරන්න බැරි තරම් මුදලක් ණයට දෙන්න එපා..' යන්නයි. එය ඉතා වටිනා අදහසකි. එසේ නොවුණහොත් ඔබට මුදලත් මිතුරාත් යන දෙදෙනා ම අහිමි වේ. තමාගේ පවුලේ අයකුගේ අසනීපයක දී තිබෙන දෙයක් විකුණා හෝ එම අවස්ථාවට මුදල් ලබා ගැනීම මෙයට අයත් නොවන්නේ තමාගේ පවුලේ සබඳතා ඉතා වටිනා බැවිනි. එය ඔබගේ යුතුකමකි. මෙහිදී පළමුව මානසික විසඳුම ගෙන පසුව මූල්‍ය විසඳුම ගත යුතුය.

විවාහක අයකු මෙවැනි මූල්‍යමය ගනුදෙනු, ණය ගැනීම්, ණය දීම් ආදිය සිදු කළ යුත්තේ පවුලේ අනෙක් අයගේ ද අනුදැනුම ඇතිවයි. තනි මතයට දේවල් සිදු කිරීම විවාහයක දී සුදුසු නොවේ. මන්ද එහිදී ඔබ ගන්නා තීරණය මත පවුලේ ආර්ථිකය රඳා පවතින බැවිනි. මෙම ගනුදෙනුවේ වාසි අවාසි කුමක් වුවත් එය විඳීමට සිදු වන්නේ පවුලේ සාමාජිකයන් සියලුදෙනාට ම ය. ආයතනයක මූල්‍යමය තීරණ ගනු ලබන්නේ කළමනාකාරීත්වයේ සියලු දෙනාගේ තීරණය අනුවයි. එසේ නැතිව තනි තීරණ එක් නිලධාරියකුගේ සිතිවිලි අනුව ගත නොහැකියි.

බොහෝ දෙනෙක් ණය වීමට හේතු කිහිපයකි. ඉන් එකක් වන්නේ මූල්‍ය විනයක් නැති කමයි. දෙවැන්න ඇවතුම් පැවතුම්වල ඇති අපිළිවෙළ හා, නොයෙකුත් දේ සඳහා ඇබ්බැහි වීම ආදියයි. ඇබ්බැහිවීම ලෙස හඳුන්වන්නේ යම් දෙයක් නැතිව බැරි තත්ත්වයට පත් වීමයි. උදාහරණයක් ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වූ ඇතැම් අය තමාගේ අනෙක් වියදම් පවා මේ සඳහා යොදවයි. එක්වරක් අපි‍්‍රකාවේ සිගරට් අලෙවිය අඩු වී ඇති නිසා එම ආයතනයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර ඇත. එහිදී හෙළි වී ඇත්තේ බොහෝ දෙනා සිගරට් සඳහා යන මුදලත් ජංගම දුරකථනය භාවිත කිරීම සඳහා යොදවා ඇති බවයි. මෙය ජංගම දුරකථන හඳුන්වා දුන් අවධියේම සිදු වූවකි. අපි ඇබ්බැහියන් සේ මත්ද්‍රව්‍ය පමණක් ගැන සිතුව ද ජංගම දුරකථන, අන්තර්ජාලවල සැරිසැරීම ආදියට ඇබ්බැහි වූවන් ද බොහෝ සිටිති. මෙම තත්ත්වය බටහිර රටවල හඳුන්වන්නේ ඩිජිටල් හෙරොයින් ලෙසයි.

මූල්‍ය විනය සකසා ගැනීම සාර්ථකත්වයට අඩිතාලමයි. මූල්‍ය විනයක් ලබා ගැනීමට නම් එම පුද්ගලයා සියල්ලට පළමු තම ජීවිතයේ විනය සකසා ගත යුතුයි. මෙයට වසර 15කට පමණ පෙර කැනඩාවේ එක් රක්ෂණ සමාගමක් හා ක්‍රෙඩිට් කාඩ් සමාගමක් එක්ව සමීක්ෂණයක් සිදු කළා. එම රටවල ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු ගැන දැන ගැනීමට ඇගයීම් සංකේත ඇත. මෙහිදී සොයා ගැනුණේ මෙම හොඳ ඇගයීම් සංකේත ඇති එනම් නියමිත පරිදි ක්‍රෙඩිට් කාඩ්වල ගෙවීම් සිදු කරන පුද්ගලයන් රිය පැදවීමේ දී ද ආරක්ෂාකාරී පුද්ගලයන් වන බවයි. එනම් මූල්‍ය විනයක් ඇති පුද්ගලයන් අනිවාර්යයෙන් ම ජීවිතයේ පිළිවෙළක් ඇතිව විනයකින් යුතුව ජීවත් වන පුද්ගලයන් ය.

මෙයට කලකට පෙර එක් රජයේ ලිපිකරු යුවළක් තම ආදායමට අනුව වියදම සිදු කළේ ඉතාමත් පරෙස්සමිනි. ඔවුන් මේ සඳහා පඩිය ලද විට ලියුම්කවර කිහිපයක් ගෙන ඒවා එක් එක් වියදම් සඳහා යන මුදල් දමා තැබීමට භාවිත කළේය. එම ලියුම් කවරවල මාසයට අදාළ සියලු වියදම් පමණක් නොව, කඨින පූජාව සඳහා මුදලක් ද මාස් පතා වෙන් කළේය. මෙය ඉතාමත් ආදර්ශවත් ක්‍රියාවකි. සාර්ථක මිනිසුන් දෙස බැලීමේ දී පෙනෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළ මූල්‍ය විනයක් පැවතීමයි. පිරිහුණු ඕනෑම පුද්ගලයකු දෙස බැලීමේ දී පෙනී යන්නේ ඔවුන් තුළ මූල්‍ය විනයක් මෙන්ම ජීවිතයේ ද විනයක් නොමැති බවයි.

ණය කිහිපයක් ගෙන ගොඩගැසුණ විට ඇතැම් පුද්ගලයන් එය කෙසේ විසඳා ගන්නේදැයි නොදැන සියදිවි පවා අහිමිකර ගන්නා අවස්ථා දැක ඇත. සාමාන්‍යයෙන් ණය කිහිපයක් ඇති විට පළමුවෙන් ම ගෙවා නිම කළ යුත්තේ වැඩි පොළියක් ගෙවීමට සිදුවන ණය මුදලයි. ඔබට ගෙවීමට ඇති ණය පිළිබඳ නිවෙසේ අය ද දැනුවත්කර ඒ සඳහා ලේඛනයක් ද පවත්වාගෙන යන්නේ නම් ඉතාමත් වැදගත් වේ.

ඇතැම් විට ව්‍යාපාරික ආයතනවලට පවා මූල්‍ය අර්බුද ඇති වන අවස්ථා පැමිණෙයි. එවැනි විටෙක සිදු කරන්නේ අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරීමයි. ඉන් පසුව ව්‍යාපාරයට අදාළ වෙනත් වත්කම් හිමි නම් ඒවා විකුණා ආයතනය අර්බුදයෙන් ගළවා ගත යුතුය. මෙහිදී තමාගේ හෝ ආයතනයේ තත්ත්වය ගැන නොසිතා අදාළ තීරණ ගත යුතුය.

තෑගි භෝග දීම සඳහා තමාගේ හැකියාවන්ගෙන් සකසා ගත් නිර්මාණ ආදිය යොදා ගත හැකියි. නිර්මාණාත්මක ත්‍යාග ලබා දීම ඔබේ වටිනාකම ද ඉහළ නංවන්නකි. කරණීය මෙත්ත සූත්‍රයේ පවා 'බාහු සච්ංච සිප්පංච' යනුවෙන් කියා ඇත්තේ ද බොහෝ ශිල්ප ඉගෙනීමයි එය ජීවිතයට අප නොහිතන තරම් වටිනාකමක් එක් කරයි. මුදල් වියදම් කිරීම අමාරු දෙයක් නොවේ. අමාරුම කාර්යය වන්නේ මුදල් ඉපැයීම හා එය නිසි ලෙස කළමනාකරණය කරගැනීමයි.

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි