නව දිවියකට අවබෝධයෙන් පා තබන්න...

ජනවාරි 22, 2020

අප බොහෝ දෙනා නොදැනුවත්ව ම ක්‍රියා කරන්නේ ඒ ඒ කාලවලට පවතින සංස්කෘතික හෝ විලාසිතා රැලි අනුවයි. එහෙත් ජීවිතය සාර්ථක කරගැනීමට නම් යමක් කිරීමේ දී එය සිදු කරන්නේ කුමන හේතුවක් මතදැයි දැනගෙන ඒ අනුව කටයුතු කළ යුතු බව අපි මෙම ලිපි මාලාව ආරම්භයේ දී ම ඔබට පැවසුවෙමු.

එසේ පැවසුවේ බොහෝ විට අප සිදු කරන ඇතැම් කාර්යයන් සිදු කරන්නේ කුමන හේතුවක්, අරමුණක් ඇතිවදැයි නොදැන කරන්නන්වාලේ සිදු කරන නිසයි. මේ වසර ආරම්භයේ දී අපි කතා බහ ආරම්භ කළේ පුද්ගල සබඳතා හා එම සබඳතාවල වැදගත්කම් පිළිබඳයි. පුද්ගලයකු ලෙස අපට විවිධ වූ සමාජ සම්බන්ධතා පැවැත්වීමට සිදු වේ. විශේෂයෙන් ම මෙහිදී මූලික වන්නේ තම පවුල තුළ වූ සම්බන්ධතා ය. ඉන් ද ප්‍රභල සම්බන්ධතාවක් වන්නේ ස්වාමි - භාර්යා සම්බන්ධතාවයි.

එහිදී මේ සම්බන්ධතාව ආරම්භ වීමේදී ම ඒ සඳහා විශේෂ වූ පදනමක් දැමිය යුතුය. මේ පදනම දමන දිනය වන්නේ විවාහය සිදු වන දිනයයි. මන්ද විවාහයෙන් ආරම්භ වන මේ ස්වාමි භාර්යා සම්බන්ධතාව පවුලක් ගොඩනැගීමේ පදනම වන බැවිනි.

මෙහිදී මා දුටු එක් විවාහ මංගල්‍යයක් පිළිබඳ ඔබගේ ද අවධානය යොමු කිරීම වඩාත් සුදුසු යැයි මට සිතුණේ මගේ ජීවිත කාලය පුරාවට මා දුටු සරල, සුන්දර මෙන්ම අරමුණ වටහාගෙන සිදු කළ විවාහ මංගල්‍යයක් ලෙස එය මගේ හදවතට සමීප වුණු බැවිනි. විවාහයක් යනු කුමක්දැයි හඳුනාගෙන එයට අනුගත වෙමින් සිදු කළ මෙම විවාහ උත්සවය අද වෙසෙන බොහෝ තරුණ දරුවන්ට ආදර්ශයක්. මෙහි මනාලයා සහ මනාලිය යන දෙදෙනා ම ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරුන් දෙදෙනෙකි.්. මේ නිසා ඔවුන්ගේ ආර්ථිකය වුවද යම් මට්ටමක ඇති පිරිසක්. මෙහි මා දුටු පළමු වැදගත් දේ වන්නේ එහි තිබූ සැලසුම් සහගත බව හා ක්‍රමානුකූල බවයි. මනාල යුවළගේ මවුපියන් පවා ඉතාමත් නිදහසේ අනෙක් ඥාතීන් සමඟ සුහද කතා බහේ නියැළී සිටියේ එම සැලසුම් සහගත බව නිසයි. දෙවැනි මනාල මනාලියන්, මල් කුමර කුමරියන් කිසිවෙක් මේ මංගල උත්සවයේ දකින්නට නොසිටීම ද විශේෂත්වයකි. එහි සිටියේ මනාලයා හා මනාලිය පමණි. මනාලයාගේ හා මනාලියගේ ඇඳුම් පැලඳුම් වුවද ඉතාමත් සරල, සුන්දර ආකාරයට හා ප්‍රතාපවත් පෙනුමක් ලැබෙන ආකාරයට සිදුකර තිබුණි. විශේෂයෙන් ම මනාලියගේ ඇඳුම මෙන්ම ඇගේ අනෙකුත් අලංකරණ ද ඇයගේ ස්වභාවික රුව ඔප් නැංවෙන අයුරින් සිදුකර තිබුණි.

අද බොහෝ මංගල උත්සව විකට ඇඳුම් තරග මෙන් දිස් වේ. ඇතැම් මනාලියන් හඳුනා ගැනීමට ද නොහැකි වේ. දිනක් මම එක් මංගල උළෙලකට සහභාගී වන්නට එක්තරා හෝටලයකට ගියෙමි. එදින එම හෝටලයේ මංගල උත්සව කිහිපයක් ම තිබූ බැවින් අදාළ උත්සව ශාලාවට ගිය විට වැරැදි මංගල උත්සවයකට පැමිණියේදැයි සිතුණේ මනාලිය දුටු විටයි. ඇය මා දන්නා තරුණිය නොවේ. වටපිට බලන විට දන්නා හඳුනන තවත් අය සිටි නිසා මේ අදාළ මංගල උත්සවය යැයි සැකහැර ගැනීමට හැකි විය. සිදු වී තිබුණේ මනාලියට දැමූ මේක්අප් එක නිසා ඇය වෙනස් වී හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී තිබීමයි.

අද මා මාතෘකාව කරගත් සරල මංගල උළෙලේ ආරාධනා කිරීම් ද විශේෂිත ය. මෙහි ඥාතීන්ට ප්‍රධාන තැන දී තිබුණත් ආරාධනාකර තිබුණේ හතර වරිගයට අයත් පළමු රවුමේ ඥාතීන්ට පමණි. මිතුරන් වුවද ඉතාම සමීප මිතුරු මිතුරියන්ට පමණක් ආරාධනාකර තිබූ අතර ඔවුන්ගේ රැකියාවට අදාළ පුද්ගලයන්ට ආරාධනාකර නොතිබුණි.

එමෙන්ම ආරාධනා පත්‍රයේ උත්සවය ආරම්භ වන්නේ සවස 6.00 ට බවත් නිමාව රාත්‍රී 10.00 ට බවත් සඳහන්ව තිබිණි. කොළඹ, රොස්මිඩ් පෙදෙසෙහි කුඩා පෞද්ගලික හෝටලයක් මේ උත්සවය පැවැත්වීම සඳහා තෝරාගෙන තිබූ අතර හරියටම හයට උත්සවය ආරම්භ විය. පෝරුව ද ඉතාම මනස්කාන්ත ලෙස නිර්මාණය කොට තිබිණි. හෝටලයේ උද්‍යානයේ තිබූ ඇට්ටේරියා ගසක් පසුබිම් වන සේ සකසා තිබූ පෝරුව සඳහා ඇට්ටේරියා ගසේ ඕකිඩ් මල් වැල් එල්ලා මල් වියනක් සේ අලංකාරව සරසා තිබිණි. මොවුන් පෝරුවක් කෙසේ විය යුතුද යන්න සොයා, උස නියමාකාරයෙන් වන පරිදි කුඩා පීඨිකාවක් සකසා එහි අෂ්ඨ මංගල ලකුණු ද සකස්කර තිබිණි. පෝරුව පටුපස අලංකාරය සඳහා හෝටලයේ තිබූ විශාල බරණියක් ද ස්ථානගතකර තිබිණි. මෙය සරල වුවත් අලංකාරවත් පෝරුවකි.

පෝරුවෙහි චාරිත්‍ර හා අෂ්ඨක ගායනය සඳහා විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු පැමිණ සිටිය අතර ඔහු විසින් පෝරුවේ චාරිත්‍ර පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමෙන් අනතුරුව එය සිදු කළේය. මේ නිසා මංගල උත්සවයට පැමිණි සියලු දෙනාම පෝරුව චාරිත්‍ර සඳහා ද සහභාගී වූහ. නැතිනම් වෙනත් මංගල උත්සවවල පෝරුව චාරිත්‍ර සඳහා සහභාගී වන්නේ කීප දෙනෙක් පමණකි.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2020/01/22 තරුණි බලන්න