සාම්ප්‍රදායිකත්වය ඉක්මවා සිතිවිලි මෙහෙයවන්න...

සාර්ථකත්වයට මඟ එයයි...
මාර්තු 3, 2021

 

ජීවත් වීම සඳහා සෑම අයකුම විවිධාකාර දේ සිදු කරයි. ජීවත්වීම සඳහා සෑම අයකුට ම ජීවිකාවක් තිබිය යුතුය. ජීවිකාව සලසා ගැනීම තම තමාගේ කැමැත්ත අනුව සිදු වුවද ඇතැම් ජීවිකාවන් පිළිබඳ සෑහීමකට පත්වීමට අසීරු ය.

එහෙත් අපගේ ජීවිතය සාර්ථක කරගෙන තවත් අයට ඒ සඳහා මඟ පෙන්වීමට ද හැකියාව ඇත. එවැනි ජීවිත සත්‍ය ලෙසින් ම සාර්ථක ජීවිත ලෙස සැලකිය හැකිය.

බොහෝ දෙනා ව්‍යාපාරයක් කිරීමට වඩා රැකියාවක් කිරීමට වැඩි කැමැත්තක් දක්වති. නමුත් ව්‍යාපාර කරන්නේ ඔවුන් අභියෝගවලට මුහුණ දීමට කැමැති, ලෝකයට යමක් කිරීමට අවශ්‍ය, විශාල උද්‍යෝගයක් ඇති, අවදානම් දැරීමට බිය නොවන, සුවිශේෂී මිනිසුන් ය. මේ අනුව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යමෙක් සිතනවා යැයි කියන්නේ ම යම් කිසි ප්‍රගතිශීලී අදහසක් බැව් පැවසිය හැකියි.

අනෙක් බොහෝ දෙනෙක් සිතන්නේ යම්කිසි රැකියාවක් සොයාගෙන එම රැකියාවෙන් සුරක්ෂිතව විසීම ගැන පමණි. මෙයින් ද බොහෝ දෙනකුගේ අපේක්ෂාව වන්නේ රජයේ රැකියාවකි. රජයේ රැකියාවක් අපේක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ රැකියා සුරක්ෂිතතාවයි.

අවදානමක් ගැනීමට අකැමැති පුද්ගලයන් රාජ්‍ය අංශයේ රැකියා සඳහා යොමුවන අතර ඊට වඩා මඳක් අවදානම් දැරීමට හැකියාව ඇති පිරිස පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු වේ. ඉහළ අවදානමක් දැරීමට හැකියාව ඇති පිරිස ව්‍යාපාර සඳහා යොමු වේ. 'ඹ්ධඹ පඪඵඬ තධඹ පඥබභපද, ඩ්ඪඨඩ පඪඵඬ ඩඪඨඩ පඥබභපද ' ලෙසින් පැවසෙන කියමනක් ඇත.

යම්කිසි ලෙසකින් ව්‍යාපාරයක් ආරම්භ කොට එය සාර්ථක වුවහොත් එහි ප්‍රතිඵලය පරම්පරා ගණනාවකට බුක්තිවිඳිය හැකිය. නමුත් රැකියාවක සාර්ථකත්වය බුක්තිවිඳිය හැකි වන්නේ තමාට පමණි.

තරගකාරී ජීවන රටාව තුළ තම අවශ්‍යතා ඉටුකර ගැනීමට රැකියාවක් කරන බොහෝ දෙනකුට අපහසු වී ඇත. නමුත් ව්‍යාපාර කරන බොහෝ දෙනා ගත කරන්නේ උසස් ජීවන රටාවකි. මෙයට උදාහරණයක් ලෙස ලෝකයේ ධනවතුන් ගතහොත්, ඔවුන් ධනවතුන් වී ඇත්තේ රැකියා කිරීමෙන් නොව, ව්‍යාපාරිකයන් වීමෙනි.

ලංකාවේ කෝටිපතියෙක් වූ ධම්මික පෙරේරා මහතා එම තත්ත්වයට පැමිණ ඇත්තේ ව්‍යාපාර හිමිකරුවෙක් වීම නිසයි. චීනයේ මහා ධනවතකු වන අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ද ව්‍යාපාරිකයෙකි. ඇමරිකාවේ විශාලතම ධනවතුන් දහදෙනා අතර සිටින බිල් ගේට්ස්, වොරන් බුෆේ වැනි අය ධනවතුන් වී ඇත්තේ ව්‍යාපාරිකයන් වීම නිසයි.

එමෙන්ම මෙම උපයන ධනය නිවැරැදි ලෙස ඉපයීම ද අවශ්‍යය. තමා කරන ව්‍යාපාර සමාජ විරෝධී හෝ වක්‍රාකාරයෙන් හෝ සමාජයට අයහපත සිදු කරන ව්‍යාපාර නොවිය යුතුය. නැතිනම් ඔබ කොතරම් ලොකු ව්‍යාපාරිකයකු වුවත් පිරිහීමට ද වැඩි කාලයක් ගත නොවේ.

රජයකට රැකියා නිර්මාණය කිරීමේ සීමාවක් පවතී. ඒ නිසා රැකියා වියුක්තිකයන් කොපමණ සංඛ්‍යාවක් වැඩි වුවත් ඔවුන් සඳහා රැකියා ලබා දිය හැක්කේ කොටසකට පමණි.

ඒ අතින් බැලුව ද යමෙක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතීම රටකට ද ඇති රැකියා ලබා දීමේ පීඩනය අඩු කිරීමට සහාය දීමකි. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙක් අප හඳුන්වන්නේ රැකියා උත්පාදකයෙක් ( බ්ධඡ ජපඥචබඥප) ලෙසිනි. අනෙක් කාරණය වන්නේ රටක් දියුණු වීමට නම් එම රට තුළ සාර්ථක ව්‍යාපාරිකයන් වැඩි ප්‍රමාණයක් සිටිය යුතුය. සාර්ථක ව්‍යාපාරික පැලැන්තියක් සිටීම මඟින් රටක් ආර්ථික අතින් සුරක්ෂිත භාවයට පත් වේ. කුමනාකාරයෙන් ගත්ත ද තමාගේ ම වූ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යමෙක් උත්සාහ කිරීම සමාජමය වශයෙන් බැලුවද ප්‍රගතිශීලී ක්‍රියාවකි.

අනෙක් කරුණ වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතන බොහෝ දෙනකුට තිබෙන ගැටලු කිහිපයකි. එනම්, ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද, ව්‍යාපාරයකට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සොයා ගන්නේ කොහොමද, ව්‍යාපාරික සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, බැංකුවකින් ණය මුදලක් ලබා ගන්නේ කොහොමද, වෙළෙඳපොළ නිර්මාණය කරගන්නේ කොහොමද, ඕනෑම අයකුට ව්‍යාපාරිකයකු විය හැකිද යනාදී ලෙසයි.

බොහෝ විට ආරම්භ කරන ව්‍යාපාරවලින් 60%ක් පමණ ප්‍රමාණයක් මූලික මාස හය ඇතුළත අසාර්ථක වන බව සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් එම ව්‍යාපාර අසාර්ථක වීමට හේතු සොයා බැලීමෙන් සාර්ථකත්වය සොයා යාමට තවත් අයකුට හැකියාව ලැබේ.

ආරම්භ කරන සෑම ව්‍යාපාරයක් ම සාර්ථකත්වය කරා ළඟා නොවූවද අප කටයුතු කළ යුත්තේ අපගේ ව්‍යාපාරය කෙසේ හෝ සාර්ථකත්වය ළඟාකර ගැනීමට මෙහෙයවිය යුතුය. නමුත් එසේ වුවද අප ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බිය විය යුතු නැත. එය සාර්ථක කරගැනීමට හැකි වේද යන්න දැන ගැනීම සඳහා හෝ එය සිදු කළ යුතුය.

අතේ කිසිදු මුදලක් නැතිව වුවද ව්‍යාපාර ආරම්භ කළ පුද්ගලයන් අද සාර්ථක ව්‍යාපාරිකයන් වී සිටී. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මූලික සාධකය ප්‍රාග්ධනය ම නොවේ.

එමෙන්ම තවත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අද සාර්ථක ව්‍යාපාර හිමි සෑම අයකුම මුලින් ම යොදා ගත් ව්‍යාපාරික අදහස ම ක්‍රියාවට නැංවූ අය ම නොවන බවයි. ඇතැම් විට දෙවන හා තෙවන වර පවා ව්‍යාපාරයේ මූලික අදහස සංශෝධනය කරගත් අයයි. ඇතැම් ව්‍යාපාර අසාර්ථක වීම, නතර කොට නැවත වෙනස් ලෙසින් ආරම්භ කිරීම මඟින් සාර්ථකත්වය කරා ළඟා වූ ව්‍යාපාරිකයන් සිටියි. තමාට ගැළපෙන ව්‍යාපාරය සොයා ගැනීම සඳහා ඇතැම් විට කිහිප වතාවක් උත්සාහ කිරීමට සිදු විය හැකියි. මේ නිසා ඔබට සාර්ථකත්වය හඹා යාමේ ධෛර්ය තිබිය යුතුය.

ව්‍යාපාරික සැලැස්මක් යනු කුමක්ද යන්නවත් නොදන්නා අය සාර්ථක ව්‍යාපාරිකයන් වී සිටියි. එමනිසා ඕනවට වඩා ව්‍යාපාර සැලසුම් පිළිබඳ ඉගෙන ගනිමින් ඒ සඳහා කාලය මිඩංගු නොකොට තමාගේ ආත්මශක්තිය නැතිකර නොගෙන ව්‍යාපාරය ආරම්භ කරන්න. සැලැස්මක් තිබීම හොඳ වුවත් ඒ ගැන සිතමින් කාලය නාස්ති කරනවාට වඩා හැකි ලෙස ආරම්භ කිරීම වැදගත් වේ.

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ඔබ සම්ප්‍රදායෙන් මිදුණු අයකු විය යුතුයි. සාම්ප්‍රදායික ලෙස නොසිතා අලුත් අදහස් ඇති පුද්ගලයකු ලෙස සිතීමෙන් සාර්ථක ව්‍යාපාරිකයකු වියහැකියි.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා

පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු