රිය අනතුරකට නඩු පවරා වන්දි ලබාගන්නේ කොහොමද?

ජනවාරි 23, 2019

අමල් සහ ගයානි වැඩ නිම වී යතුරු පැදියෙන් ආපසු නිවෙස බලා එමින් සිටියහ. අතරමඟදී ඔවුන් මුහුණපෑවේ නොසිතූ සිදුවීමකයටය. ඉදිරිපසින් වේගයෙන් පැමිණි වෑන් රථයක් ඔවුන්ගේ යතුරුපැදියේ හැපුණු අතර අමල් සහ ගයානි බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරිණි. වෑන් රථයේ රියැදුරා බීමත්ව සිටි බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබිණ.

අමල්ගේ කකුල් දෙක ම කැඩී තිබුණු අතර ගයානිගේ ද අතක් කැඩී තිබිණි.

ඔවුන් දෙදෙනාටම දීර්ඝ කාලයක් යන තුරු සේවයට වාර්තා කිරීමට පවා නොහැකි විය. වෙනත් ආදායම් මාර්ගයක් ඔවුන්ට නොතිබුණු අතර රෝහල් ගාස්තු ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධික මුදලක් දැරීමට ද සිදු විය. දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඇතුළු දෛනික වියදම් පවා දරාගත නොහැකි තත්ත්වයක් උදාවන්නට විය. මෙවැනි ශෝචනීය තත්ත්වයකට පත් වූ ඔබේ නෑ හිතමිතුරන් ගැන ඔබ කොතෙකුත් අසා තිබෙන්නට පුළුවනි.

මෙවැනි රිය අනතුරු පිළිබඳ දිනපතාම ජනමාධ්‍ය තුළින් වාර්තා වේ. එනිසා මෙවැනි සිද්ධි දුලබ නොවන බව පැහැදිලිය. රිය අනතුරු සම්බන්ධ නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය තුළ පවතී. එනිසා රිය අනතුරක් සිදු වූ පසු ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? ඔබට සිදු වූ හානියට ලබා ගත හැකි සහන මොනවාද? ඒ සඳහා ඔබ කෙසේ ක්‍රියාකළ යුතු ද? යන කරුණු ගැන දැනුවත් වීම වැදගත් වේ.

තොරතුරු ලබාගැනීම

වාහනයක් ධාවනය කරමින් සිටින අතරතුර අනතුරක් සිදුවුවහොත් වහාම එම වාහන නතර කළ යුතු වේ. අනතුරින් හානියට පත් වූ තැනැත්තා අදාළ වාහනයේ රියැදුරුගේ නම, ලිපිනය, වාහනයේ අයිතිකරුගේ නම, ලිපිනය, වාහන අංකය ඇතුළු විස්තර ඉල්ලා සිටි විට ඒවා ලබා දිය යුතු වේ. එමෙන් ම ඒ ස්ථානයට පොලිස් නිලධාරියෙක් හෝ ග්‍රාම නිලධාරීවරයා පැමිණි විස්තර ඉල්ලා සිටි විට ද ලබා දිය යුතු වේ. අනතුරින් හානියට පත් වූ පුද්ගලයා ඔහුව රෝහල්ගත කරන ලෙස හෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින විට එය ඉටු කළ යුතුය. ඉන්පසුව අනතුර සම්බන්ධව ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දිය යුතු වේ. 2009 අංක 8 දරන මෝටර් වාහන (සංශෝධන) පනත යටතේ අනතුරට සබ්බන්ධ රියැදුරා අනතුර පිළිබඳ පොලිසියට දැනුම් දෙනු නොලැබීම දඩ මුදලකට යටත් කළ හැකි වරදකි. එමෙන් ම වාහනයේ රක්ෂණ සහතිකය ඉදිරිපත් කිරීමට ද කටයුතු කළ යුතු වේ. අනතුර පිළිබඳ රක්ෂණ සමාගම දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් රක්ෂණ සමාගමෙන් වන්දි මුදල් ලබා ගැනීමේ අවස්ථාව ඇත.

 

2019/01/23 තරුණි බලන්න