අපේම බතික් කලා‍වෙන් උඩරට මනාල යුවළට ‍වෙනසක්

මැයි 9, 2022

 

ගහකොළ මලින් ඵලින් බරවුණු වසන්ත මාසය ගෙවී යනවාත් සමඟම උදාවන්නේ පින්බර වෙසක් මාසයයි. එහෙමත් නැතිනම් මල් මනාලියන්ගේ මාසයයි. ඉතින් මේ මංගල මාසයේ හෙළ කුල සිරිතට දෑඟිලි බඳින්නට පෙරුම් පුරනා තරුණ තරුණියන් බොහෝමයි.

එබැවින් තම ජීවිතයේ සොඳුරුතම දිනයේ දී අපූර්වත්වයෙන් හැඩවැඩ වෙන්නට, අලංකාර ඇඳුම් පැලඳුම් තෝරාගන්නට උනන්දු වන්නේ කල්තියාමයි.

වර්තමානයේ බොහෝ මනාලියන්, මනාලයන් තම මංගල ඇඳුම ලෙස තෝරා ගන්නේ සාම්ප්‍රදායික උඩරට ඇඳුම් කට්ටලය. තවත් කෙනකු එයට නිර්මාණශීලීත්වය එකතු කොට වඩාත් සුන්දර කරගනියි. අද ඔබේ ඇස ගැටෙන මේ මනාල යුවළ සැරසී සිටින්නේද උඩරට ඇඳුම් කට්ටලයකිනි.

සාමාන්‍යයෙන් ඔබ දකින සාම්ප්‍රදායික උඩරට ඇඳුම් කට්ටලය වෙනුවට මේ යුවළ සැරසී සිටින්නේ බතික් රෙද්දෙන් කළ ඇඳුම්වලින් වීම විශේෂත්වයකි.

මෙහිදී මනමාලයාගේ හිස් වැසුමේ සිට පාවහන් දක්වා සියල්ල ළා රෝස පැහැය සහ තද මෙරුන් පැහැති බතික් රෙද්දෙන් මසා ඇත.

ඊට අමතරව සාම්ප්‍රදායික මුල් ඇඳුමක දකින්නට ලැබෙන හංස පූට්ටු, ලියවැල් වෙනුවට මෙහි දකින්නට ඇත්තේ පුන්කලස සහ මල් කැටයම්. සාමාන්‍ය මුල් ඇඳුමේ සුන්දරත්වය වැඩිකරනා අපූරු මෝස්තර රටා මෙයට ද එක්කර ඇති අතර ඒ සඳහා පබළු, සීකුවින්ස් වැනි විසිතුරු දෑ යොදාගෙන තිබේ.

මනාලයන් සඳහා බොහෝවිට තෝරා ගැනෙන්නේ සුදු, ක්‍රීම් වැනි වර්ණයන් වුවත් මෙහි රෝස සහ මෙරූන් පැහැය හරහා අපූරු විචිත්‍රත්වයක් වාගේම නිර්මාණාත්මක වෙනසක් එකතු කරගෙන තිබේ. සුදු පැහැති අමු රෙද්ද රෝස සහ මෙරුන් පැහැයෙන් වර්ණ ගන්වා අනතුරුව එම බතික් රෙද්දට ගැළපෙන පරිදි පබළු ආදිය යොදා හැඩගන්වාගෙන මේ මුල් ඇඳුම සකසා ඇත. ඉන්පසුව සාම්ප්‍රදායික මුල් ඇඳුමට භාවිත කරන ආභරණ භාවිත කරමින් මනාලයා හැඩගන්වාගෙන තිබේ.

මනාලයාගේ මුල් ඇඳුම සේම මේ මනාලියගේ ඔසරිය සකසාගෙන ඇත්තේ ද බතික් රෙද්දෙනි. ඊට අමතරව බීරළු රේන්ද, පබළු, සීක්වින්ස්, ජීක්, විසිතුරු ගල් ආදිය භාවිත කරමින් ඔසරියේ සුන්දරත්වය වැඩි කරගෙන තිබේ.

බැලූ බැල්මට සාම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙසින් පෙනුණත් මේ මනාලියගේ ඇඳුම් පැලඳුම්වලට ද නිර්මාණාත්මක වෙනසක් එකතු වී ඇති බව ඔබට වැටහේවි. එනම් ඔසරියේ නෙරියේ තට්ටු දෙක, සාරි හැට්ට අත සේම හිස් සැරසිල්ල ලෙස මල් වෙනුවට පබළු සහිත සැරසිල්ලක් භාවිත කිරීම වැනි දෑ හරහා ඇයට නිර්මාණාත්මක වෙනසක් එකතු කර තිබේ.

මුල් ඇඳුම නිර්මාණය - දසත බතික්

නිර්මාණ ශිල්පිනී  - රසිකා සමන්මලී

 

හැඩගැන්වීම

මනාලිය  -රූපලාවණ්‍ය ශිල්පී සුමුදු වසන්ත

මනාලයා- මධුසංක පතිරගේ

 

නිරූපණය - දිනූක සහ මිතුනිකා