වියළි මල් සැකසුම් කලාවෙන් මංගල්‍යයට අලුත් ම කල එළියක්

මැයි 9, 2022

 

ආදරයෙන් බැඳුණු තරුණ යුවළකගෙ ඊළඟ සිහිනය වන්නේ ජීවිතය පුරා දුක සැප බෙදා ගනිමින් ජීවන ගමන යන්නට විවාහ දිවියකට එළඹීමයි. එදා නිවෙසක හෝ ඉඩකඩ ඇති ස්ථානයක සිදු කෙරුණු විවාහ මංගල්‍යයන් ක්‍රමයෙන් විකාශය වී විශාල ශාලාවල හෝටල් වල සිදු කෙරුණු අතර උත්සවයේ අලංකාරය වැඩි කරන්න යොදාගත්තේ මල් සැරසිලිය.

මනාලියගේ හිස පලඳනාවේ සිට මල් කළඹ, පෝරුව, සෙටි බැක් එක පමණක් නොව මේස සැරසිලි පවා සිදු කළේ ස්වභාවික මලිනි.

එහෙත් කෝවිඩ් වසංගතයත් සමඟ වෙනසකට ලක්වුණු මල් සැරසිලි කලාව අද වන විට වෙනස්ම ආකාරයට සිදු කරන්නට බොහෝ දෙනෙක් පෙළඹී සිටින්නේ අද පවතින ආර්ථික ගැටලුවලට පිළිතුරක් ලෙසිනි.

බලන්න මේ අපූරු නිර්මාණ රැස ඔබටත් ඔබේ මංගල උත්සවය අඩුවියදමකින් අලංකාර කරගන්න. අලුත්ම අදහසක් ලබාගත හැකිවේවි.

මෑතක් වනතුරු මනාලිය අතරැඳි මල් කලඹ, හිස් පලඳනාවේ රැඳි මල් කිනිති, පෝරුව, ශාලාව සැරසීමේදී වගේ මලින් කෙරෙන සියලුම සැරසිලි සඳහා ස්වාභාවික මල් යොදා ගත්තා. එහෙත් අද වන විට නම් එය තරමක් සිහිනයක් වෙලා. රුපියල් 50ට අලෙවි වූ මලක් දැන් රුපියල් 150ක්. සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට දැරිය නොහැකි මිලක් මේ සඳහා වැය වේ. එබැවින් කොයි කාටත් ගැළපෙන අපූරු වෙනසක් අද අපි හඳුන්වා දෙනවා. මංගල මල් කලාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක මෙයයි.

(ඩ්‍රයි ෆ්ලවර් තීම්) Dry Flower Theam 'වියලි මල්' කලාව වන මෙය ස්වභාවික මල්වල ස්වභාවිකත්වය රැඳෙන පරිදිම නිදහසේ පරිසරයේ වියලා ගැනීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අඳුරු පරිසරයක 'Dark Room' එකක වියළා ගැනීමයි. එහිදී මල්, කොළ, ගෙඩි, කිනිති, අතු සහ වැල් යන සියල්ල භාවිත කිරීමත් විශේෂත්වයකි.

නිර්මාණය අවසානයේදී මනාලියගේ කැමැත්ත පරිදි කෘත්‍රිමව සකසා ගත් මල් කළඹට ස්වභාවික මල් කිහිපයක් වුව එකතු කර ගත හැකියි. මැඩෝනා, රෝස සහ ඕකිඩ් ඉන් ප්‍රධානයි. තම දිවියේ අමරණීයම සංකේතයක් වූ මංගල මල් කලඹ සිහිවටනයක් සේ තබා ගැනීම ඇතැම් මනාලියන්ගේ කැමැත්තයි. කිසිදු අඩුපාඩුවකන් තොරව මේ වියළි මල් කලඹ වුව එලෙස වර්ණයන් වෙනස් නොවී තබා ගැනීමේ හැකියාව පවතී. ඒත් එක්කම ඔබ ඩ්‍රයි තීම් යටතේ මංගල්‍ය සිදු කරනවා නම් ඒ සඳහා මනා දැනුමක්, අවබෝධයක් ඇති විශ්වාසවන්ත සේවාදායකයකුට මෙය බාර දිය යුතුයි. එහිදී මාස 5කට පෙර ඇණවුම බාර දීම තුළින් නිර්මාණයේ සාර්ථකත්වය රඳා පවතී.

 

පිවිසුම් දොරටු සැරසිලි

උත්සව ශාලාවට ඇතුළු වන තැනම මනා ආකර්ෂණයක් තිබීම මඟින් පළමුවෙන්ම අමුත්තන්ගේ සිත් මංගල්‍ය කෙරෙහි ඇද බැඳ ගත හැකිය. මංගල ශාලාව ඇතුළේ ඇති සෙසු සැරසිලි හා පිවිසුම් දොරටුවේ සැරසිලි එකිනෙක ගැළපිය යුතුයි. ආච් හැඩය ප්‍රධාන කොටගෙන ඔබට කැමැති හැඩයක් මේ සඳහා ගත හැකි වුවත් වඩාත් වැදගත් වන්නේ එළිමහනට විවෘත වන ඉඩකඩ වැඩි බැවින් වියළා ගත් සියලු අමුද්‍රව්‍ය සුළඟේ යාම, කුඩු හැලීම සිදු නොවීමට තරම් ගුණාත්මක වීමයි.

 

මේස සැරසිලි

මංගල උත්සවය පුරාවටම එකම තේමාවකින් මල් සැරසිලි කිරීම මඟින් මංගල්‍යයේ සුන්දරත්වය කැපී පෙනෙන ලෙස වැඩි කළ හැකිය. මෙහිදී මේස සැරසිලි ද ප්‍රධාන තැනක් ගන්නා අතර මේස සැරසිලි සඳහාද ඩ්‍රයි තීම් එක කදිමට ගැළපේවි. මේ ඡායාරූපවල පෙනෙන පරිදි වැල් මඟින් ස්ටෑන්ඩ් එකක් සාදා ගන්න පුළුවන්. ඒ සඳහා යකඩ භාවිත කර එය නොපෙනෙන සේ වියළි වැල් මල් සහ වියළි කොළ එකතු කර ගත හැකියි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය අනුව සුළඟේ යාම, විහිදි යාම, කැඩී කුඩු හැලීම වළකා ගත හැකියි. වියලි මල් කලාව ප්‍රගුණ කරගත් අයකු විසින්ම මේ නිර්මාණය සිදු කරන්නේ නම් ඒ ගැන කිසිදු බියක් ඇතිකරගත යුතු නොවෙයි.

මනාලියට ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන මල් කළඹ

මංගල දිනයේ මනාලියට ආකර්ෂණීය සොඳුරු පෙනුමක් ලබා දෙන්නේ ඇගේ පිවිතුරු බව කියාපාන මල් කලඹයි. ඩ්‍රයි තීම් ඔස්සේ තෝරා ගත් මල් කලඹට ස්වභාවික මල් කිහිපයකුත් කැමැත්ත පරිදි එකතු කර ගත හැකියි. එසේම අලංකාර ඕනමන්ට්, කෘත්‍රිම කොළ, ඉති, ගෙඩි, පිහාටු වැනි දෑ මඟින් තව තවත් මල් කලඹේ සුන්දරත්වය වැඩිකර ගතහැකියි. මෙවැනි මල් කලඹක් විහිදී (ස්ප්‍රෙඩ්) යන හැඩයක් ගනී. එමඟින් මනාලියට හුරුහුබුටි, වැඩි ආකර්ෂණයක් ගෙන දෙයි.

මේ සඳහා බහුලවම යොදා ගන්නේ රතු, ගහ, ගෝල්ඩ් වෙන්ම කළු සහ දුඹුරු වර්ණයි. මෙලෙස ස්වභාවික මල් වියළීම (ඩ්‍රයි කිරීම) සිදු කළත් එමඟින් මල් කලඹේ ගුණාත්මක භාවයට කිසිදු අයුරකින් හානි නොවේ. එනම් කොළ හැලීම, කුඩු හැලීම, අමුද්‍රව්‍ය සුළඟේ යාම සිදු නොවේ. මෙහි රහස වන්නේ මේ සඳහා දැව ආරක්ෂක පොලිෂ් වර්ණ එකතු කිරීම මෙන්ම නිර්මාණශිල්පියාගේ දක්ෂතාවයි.

 

සෙටි බැක් එක

මනාල යුවළගේ රුචිකත්වය අනුව සෙටි බැක් එකෙහි හැඩය සකසා ගත හැකියි. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක නම් රවුම්, ත්‍රිකෝණ සහ ඉංග්‍රිසි ඒ අක්ෂර හැඩ ඇති සෙටි බැක්ය. ඔබ මේ දකින ඡායාරූපය ඒ සඳහා කදිම නිදසුනකි. ලොකු මුදලක් වැය නොවන මේ සෙටිබැක් එකට වියළා ගත් මල් කිනිති, ගෙඩි සහ වැල් ඇසුරු කරගනිමින් අපූරු සොඳුරු නිර්මාණ්‍යක් කර තිබේ.

 

කුලගෙට යන දා ආශිර්වාද ලබන පෝරුව

යුවයතියක පතිනියක වී කුලගෙට යන දා පෝරුව මත නැග දෑඟිලි බැඳ ආශිර්වාද ලබා ගැනීම සිදු කරන පෝරුවේ චාරිත්‍රය මංගල්‍යයක ප්‍රධාන අංගයයි. සතර වරිගයේම ඥාතීන් ඉදිරියේ සිදු කෙරෙන මේ චාරිත්‍රය මනාල යුවළට අතිශයින්ම වැදගත් වෙයි. එබැවින් පෝරුව සැරසීම ඉතාමත් විහිෂ්ට ලෙස සිදුවිය යුතුයි. මේ සඳහා තල්, පොල් වැනි ගස්වල අමුද්‍රව්‍ය සහ මාන වර්ග වියලා සැරසීම සිදු කරනු ලැබේ. අඳුරු කුටියක මාස ගණනාවක් වියළා ගැනීමෙන් පසුව මේ නිර්මාණය සිදු කරයි. රවුම් හැඩයට දෙපසට විහිදී යන පරිදි, ආච් හැඩය වැනි ඕනැම හැඩතලයකින් නිර්මාණය නිමවා ගත හැකියි. පෝරුවේ අවට සුබපැතුම් පුවරු, වට පිටාව, ලන්තෑරුම් වලින් සකසා ගැනීමෙන් තවත් ආකර්ෂණයක් ගෙන දේ.

උපදෙස්

ධනංජය ෆ්ලෝරා අධිපති

සමන් ජයලත්