පොඩ්ඩාගේ කාමරයට බලු සුරතලෙක්

ජූලි 31, 2023

ලොකු වියදමක් නැතිව නිර්මාණය කරගත හැකි මේ සැරසිල්ලෙන් ඔබේ නිවෙසත් හැඩකර ගන්න.

සෑම මවුපියකුගේම ලෝකය තමන්ගේ දුවා දරුවන්. ඉතින් පොඩ්ඩෝ ආස කරන විදිහට එයාලගේ කාමර ලස්සන කරන්න අම්මලා අමතක කරන්නේ නැහැ. බලු පැටියා කියන්නේ ඕනෙම පොඩ්ඩෙක් ආස කරන සුරතලෙක් නේ. ඉතිං පේපර් ක්වීලින් කලාවෙන් බලු සුරතලෙක් නිර්මාණය කරලා එයාගේ කාමරය හැඩ කළොත් පොඩ්ඩා කොතරම් සතුටු වේවි ද?

හැබැයි මේ නිර්මාණය පොඩ්ඩන්ගේ නිදන කාමරයට විතරක් නෙවෙයි විසිත්ත කාමරයට වුවත් ගැළපෙනවා.

මේ හුරුබුහුටි බලු සුරතලාව නිර්මාණය කරගන්නා ආකාරයයි අද කියලා දෙන්නේ. ලොකු

වියදමක් නැතිව නිර්මාණය කරගත හැකි මේ සැරසිල්ලෙන් ඔබේ නිවෙසත් හැඩකර ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය -

පේපර් ශේඩරය

ක්විලීන් ටූල් එක

ගම්

කතුරක්

පැන්සලක්

ටුවිසරයක්

රතු, තැඹිලි, කහ, ළා රෝස, සුදු, ළා නිල්, තද නිල් සහ කළු වර්ණවලින් A4 කොළ

සුදු වර්ණයෙන් A4 බෝඩ් එකක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව බලු පැටියාගේ රූපය සුදු A4 බෝඩ් එක මත පැන්සලකින් පිටපත් කරගන්න. ඒ මත අදාළ වර්ණවලින් A4 කොළ කපා

අලවා ගන්න. ඉන්පසු රූපයේ පෙන්වා ඇති පරිදි අවශ්‍ය වර්ණවලින් පේපර් ශේඩරය ආධාරයෙන් A4 පටි කපා ගන්න. දැන් ඇඳගත් රූපය මත ක්විලීන් කිරීම අරඹන්න.

ඒ සඳහා මුලින්ම අපි බලු පැටියාගේ මුහුණ නිර්මාණය කර ගනිමු. මුහුණ නිර්මාණය කිරීමට පින්තූරයේ පෙනෙන ආකාරයට අවශ්‍ය තැන්වලට සුදු පැහැති A4 පටි තීරු එකට තබා දිගු අතට මුහුණේ හැඩය පෙනෙන පරිදි ටුවිසරයක් ආධාරයෙන් හැඩකර අලවා ගන්න. මුහුණේ ඉහළ කොටස එනම් නළල කොටසට රතු A4 පටි පින්තූරයේ පෙනෙන පරිදි අලවා ගන්න.

ඇස් දෙක සඳහා කළු සහ සුදු A4 පටි වලින් ද, නහය රතු සහ කළු A4 පටි වලින් ද හැඩකර අලවා  ගන්න.

කන් දෙක සඳහා ළා රෝස, කහ, රතු සහ තැඹිලි පැහැ වර්ණවල A4 තීරූ එකට තබමින් ටුවිසරයක් ආධාරයෙන් කනේ හැඩය ඉස්මතුවන ආකාරයට අලවා ගන්න. එහි රතු සහ තැඹිලි තීරු කෙළවර රවුම් හැඩය සකසා අලවා ගන්න.

කඳ කොටස සැකසීමේදී තද නිල් සහ ළා නිල් A4 පටි ලූස් රෝල් ආකාරයට සාදා හැඩකර අලවා ගන්න. ළා රෝස සහ රතු A4 පටි ලූස් රෝල් ආකාරයට සාදා හැඩකර අලවාගෙන, ඇඟේ මැද කොටස රූපයේ පෙනෙන පරිදි අවශ්‍ය හැඩතල සාදා ත්‍රිමාණ ලෙස අලවා ගන්න.

වටේ තිබෙන හැඩතල සඳහා ළා රෝස හෝ රතු පාටින් ලූස් රෝල් සාදා ඒ වටා කහ පාටින් A4 පටි බුරුල්ව එතීමෙන් ද, ළා නිල් පාටින් හැඩතල යෙදීමෙන් ද නිර්මාණයේ අලංකාර බව ඉස්මතු කර ගත හැකිය.

ක්වීලින්කර අවසන් වූ පසු බොක්ස් ෆ්‍රේම් එකක් යොදා ගනිමින් මේ නිර්මාණය රාමු කරගන්න.

 

උපදෙස් -

බිස්මි රංගනා කුරුවිට ආරච්චි

අත්කම් නිර්මාණ ශිල්පිනී,

විසිතුරු අත්කම් උපදේශිකා

හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය