එහෙ මෙහෙ දාන ආභරණ ටික හරි තැන තියන්න රෙසින් ජුවලරි ට්‍රේ එකක්

අප්‍රේල් 29, 2024

 

ආභරණයි කාන්තාවනුයි අතර තියෙන්නේ ලොකු සම්බන්ධයක්. ඒ තරමටම අපේ කාන්තාවන් ආභරණ පලඳින්න තියෙන්නේ ලොකු කැමැත්තක්. කෙතරම් ආභරණ තිබ්බත් දවසින් දවස අප්ඩේට් වෙන ෆැෂන් එක්ක අලුත් ජුවලරිවලට යන්න ඔබත් දෙපාරක් හිතන්නේ නැතුව ඇති.. හැබැයි ඉතින් ආභරණ මහ ගොඩක් තිබුණත් හදිස්සියකට ගමනක් යන්න හදද්දි හරි හමන් ආභරණ එකක්වත් හොයාගන්න නැහැ. එහෙම වෙන්නේ ඒවා තියන්න හරි හමන් තැනක් නැති නිසයි.. ඒ අයට විකල්පයක් විදිහට අද අත්කම් පාඩමෙන් ගේන්නේ රෙසින් ජුවලරි ට්‍රේ එකක්.

තමන්ටම හදාගන්න පුළුවන් මේ අයිටම් එක මේ විදිහට හදන්න පටන් ගනිමු.

මුලින්ම රෙසින් මිශ්‍රණය සකසා ගත යුතුයි. ඒ සඳහා රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. මුලින්ම රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවි.

මේ ට්‍රේ ටික ශක්තිමත්ව තියෙන්න ඕන නිසා රූපයේ පෙනෙන ආකාරයට ඝනකම සහිත තරමක් විශාල මෝල්ඩ් එකක් තෝරා ගන්න. අපි මෙවර මෝල්ඩ් දෙකකින් දම් වර්ණයෙන් සහ නිල් වර්ණයෙන් නිර්මාණ දෙකක්කර තිබෙනවා. ඊට අමතරව නිර්මාණ අලංකාර කිරීමට ෆිෂ් ටේල් සහ සිප්පි කටු සහිත තවත් මෝල්ඩ් කිහිපයක් යොදා ගන්නවා.

අපි පළමු නිල් වර්ණ ජුවලරි ට්‍රේ එක නිමකරගෙන ඉඳිමු. මෙහි නිල් වර්ණය සකසා ගෙන ඇත්තේ පික්මන් කලර්ස් භාවිතයෙනි. මෙම වර්ණයේ විශේෂත්වය වනුයේ මෙය විනිවිද පෙනෙන ස්වභාවයෙන් යුතු වීමයි. නමුත් මයිකා පවුඩර් එසේ නොවේ. එහි ඇත්තේ විනිවිද ස්වභාවයක් නොවෙයි.

පළමුව පෙර සකසාගත් රෙසින් මිශ්‍රණයෙන් රෙසින් කොටස් දෙකක් ගෙන එකකට තද නිල් පැහැ පික්මන් වර්ණයත් අනෙක් කොටස ළා නිල් පික්මන් වර්ණයත් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. මේවාට ග්ලිටර් ස්වල්පයකුත් එකතු කර ගත්තොත් තවත් ලස්සනයි. දැන් ෆිෂ් ටේල් මෝල්ඩ් එකගෙන කඳ කොටසට තද නිල් වර්ණයත් වලිගය කොටසට ළා නිල් වර්ණයත් එකතුකර වියැළෙන්න තබන්න. මේ විදිහට ට්‍රේ මෝල්ඩ් එකටත් නිර්මාණාත්මක හැකියාව යොදා ගනිමින් තද නිල් සහ ළා නිල් වර්ණ එකතුකර, ග්ලිටර් එකතු කරන්න. ඉන්පසු ටූත් පික් එකක් ගෙන රූපයේ ආකාරයට රටා ඇඳගන්න. මෙය පැය 6 -7ක් වියළෙන්න තබන්න.

ට්‍රේ මෝල්ඩ් එක ජෙල් තත්ත්වයට පත්වූ විට ෆිෂ් ටේල් කොටස් දෙක එහි අලවා ගන්න. ස්වභාවික සිප්පි කටු, මුහුදු වැලි සහ බෙල්ලන් ද එයට සවිකර තවත් හැඩකර ගන්න. ඉන්පසු මෙය ට්‍රේ මෝල්ඩ් එකෙන් ගලවා සිල්වර් පාට මෙටලික් පෙන් එකකින් දාර වටා ඇඳ ගන්න.

දම් වර්ණ ජුවලරි ට්‍රේ එක සකසා ඇත්තේ වර්ණ තුනක මයිකා පවුඩර් යොදාගනයි. ක්ලියර් රෙසින් මිශ්‍රණ කොටස් තුනක් ගෙන දම්, නිල් සහ රෝස වර්ණ මයිකා පවුඩර් මිශ්‍රකර ගන්න. ඒවාට ග්ලිටර් ස්වල්පයකුත් එකතුකර ගන්න. ඉන්පසු රූපයේ පරිදි ෆිෂ් ටේල් සහ සිප්පි කටු මෝල්ඩ්වලට නිර්මාණාත්මක ආකාරයට වර්ණක එකතුකර ගන්න. ඉන්පසු ට්‍රේ මෝල්ඩ් එක ගෙන එක් පැත්තකට නිල් වර්ණයත් ඉන්පසු රෝස වර්ණයත් ඉන්පසු දම් වර්ණයත් එකතුකර ගන්න. එයත් වියළෙන්නට තබන්න. හොඳටම වේළුණු පසු ක්ලියර් රෙසින් ස්වල්පයක් ආලේපකර ෆිෂ් ටේල්, බෙල්ලන් සහ සිප්පි කටු අලවා ගන්න.

දැන් හදාගත් රෙසින් ජුවලරි ට්‍රේ එකේ එහෙ මෙහෙ දාන ජුවලරි හරි පිළිවෙලකට තියාගන්න.

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka