මඟ තොටේ නෙතු ගැටෙන ජනප්‍රියතම විලාසිතාවෙන් හැඩ වෙමු

අප්‍රේල් 15, 2024

 

යොවුන් දියණියගේ හැඩ වඩාත් ඔප්නැංවෙන මේ සොඳුරු ගවුම් විලාසිතාව අද මඟ තොටේ ඔබ නෙතු ගැටෙන ජනප්‍රිය විලාසිතාවකි. යෙහෙළියන් සමඟ විනෝද ගමනකට වගේම සාමාන්‍ය ගමනකදී සැරසී යාමටත් ගැළපෙන අපූරු විලාසිතාවකි. ඔබේ දෑතින් මසා ගන්නා මේ ගවුම සඳහා රෙදි තෝරා ගැනීමට වග බලාගන්න. එයින් ගවුමේ පෙනුමට එක්වන්නේ වඩාත් සුන්දරත්වයකි.

 

අවශ්‍ය මිමි -

 

*උරහිස = අඟල් 16 1/2

* කර වට = අඟල් 15

* ඉණ දක්වා උස = අඟල් 15

* උකුළ දක්වා උස = අඟල් 22

* උස = අඟල් 33

* පපුව වට = අඟල් 35

*ඉණ වට = අඟල් 30

*උකුළ වට = අඟල් 38

*අත උස = අඟල් 16

* කැප් උස = අඟල් 4

* අත අඟවට = අඟල් 9

* පතරොමේ අත්කට = අඟල් 10

මිමි සකසා ගැනීම -

 

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 1 1/2ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. කර ගැඹුර පහත්කර අවශ්‍ය කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස, උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ. ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල හා මැවුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යා කර අංශය අඳින්න. මැහුම් වාසි තබාගන්න.

 

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා මැවුම්වාසි හා බුරුල සඳහා එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය jk වේ GIK යාකර අංශය අඳින්න. K සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් ඇඳ අවශ්‍ය ඉඩ පිටතට ලකුණුකර K ලක්ෂ්‍යයට යා කරන්න.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

 

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

 

පසුපස පතරොම ඇඳගත් පසු ඉදිරිපස පතරොම වෙන් කරන්න. මැහුම් වාසි තබා කපාගන්න.

 

 

අත

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න.නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත්කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය ADවේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා අඟල් 3ක් 4ක් එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය B E වේ. ED යා කරන්න.

 

මෙලෙසින් මසාගන්න.

 

* උරහිස මසන්න.

* කර පයිපින් හෝ පේසින් අල්ලා ගන්න.

* අත පතරොමට අල්ලන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක

 

රූ රටා - අංජන හිරුෂාන්