ලෝකයේ හැමෝටම ලංකාවේ හැඩේ ලංකාවම කතා කරන රෙසින් කලාවේ රස රහස

අප්‍රේල් 8, 2024

කී ටැග් නම් එක එක ජාතියේ ඒවා තියෙනවා. හැබැයි හැම තැනම දකින්න ලැබෙන්නෙත් මිල දී ගන්න ලැබෙන්නෙත් එකම ජාතියේ කී ටැග්. එකම ජාතියේ කී ටැග් අතර වෙනස් විදිහක කී ටැග් එකක් හැදුවොත් ස්වයං රැකියාවක් විදිහට හොඳ ඉල්ලුමකුත් තියේවි.

නිර්මාණශීලි හැකියාවෙන් දෙයක් කරන අයටත් මේ නිර්මාණය හොඳ අදහසක් වෙයි. ශා... ශ්‍රී ලංකාවේ හැඩයට හදපු අපූරු කී ටැග් එකක්...! දකින කෙනෙක්ගේ වුවත් එවැනි දෙයක් මුවින් පිටවෙන්නට තරම් මේ කී ටැග් එක හරිම අපූරුයි. රෙසින් නිර්මාණත් එක්ක අප්ඩේට් වෙන අය නම් දන්නවා මේ නිර්මාණය සකසන්න කොච්චර පහසුද කියලත්. සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නෙත් තව දින කිහිපයයි. ඉතින් ගෙදරට එන අමුත්තෙක්ට වුණත් මේවගේ කී ටැග් එකක් තිළිණ කරන්න කදිමයි. එය අපි මේ විදිහට නිර්මාණය කරමු.

මේ කී ටැග් එක නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා හැඩය සහිත මෝල්ඩ් එකක් අවශ්‍යයි. ඒ මෝල්ඩ් එකෙන් තමාගේ කලාත්මක හැකියාව අනුව ඕනෑම විදිහක රෙසින් නිර්මාණයක් කරන්න පුළුවන්.

මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවී.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

මෙහි දැක්වෙන නිර්මාණයකර තිබෙන්නේ මුහුද තේමාවකර ගනිමිනි. එම රෙසින් කීටැග් නිර්මාණ අලංකාරකර ගැනීම සඳහා සිප්පි කටු, මුහුදු වැලි සහ ගල් අවශ්‍ය වේ. මේවා මුහුදු වෙරළින් ලබා ගන්නත් පුළුවන්. නැතිනම් වෙළෙඳසැල්වලින් මිල දී ගන්නත් පුළුවන්.

ඊළඟට තවත් කප් එකක් ගෙන ඒකට සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් දමා ගන්න. එයට මුහුදු වැලි, සිප්පි කටු සහ කුඩා ගල් කැට එකතුකොට හොඳින් මිශ්‍රකර ගන්න.

රූපයේ පරිදි ශ්‍රී ලංකාව හැඩය ගත් මෝල්ඩ් එකට සකසාගත් මේ මිශ්‍රණය පහළට වන්න දමා ගෙන පැය 4ක් පමණ වියැළෙන්න තබන්න. මේකට මුතු පබලුවක්, කුඩා බෙල්ලෙක් එකතුකර ගත්තොත් තවත් ලස්සන වේවී.

දැන් වර්ණ සකසා ගත යුතුයි. රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. දැන් අපි වර්ණක සකසා ගනිමු. ඒ සඳහා කප් තුනක් ගෙන එකිනෙකට තද නිල්, ළා නිල් සහ සුදු යන වර්ණ එකතුකර ගන්න. ඒ එක් එක් කප්වලට මුලදී සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න.

දැන් මුහුදු වැලි, සිප්පි කටු යොදාගෙන මෝල්ඩ් එකට දැමූ ලේයර් එක මතට වර්ණක ලේයර් වශයෙන් එකතුකර ගත යුතුයි. ශේඩ් වෙන ආකාරයට ළා නිල්, තද නිල් සහ සුදු වර්ණය එකතු කරගත හැකිය. එහිදි එක් වර්ණයක් දමා මඳ වේලාවක් තබා අනෙක් වර්ණය දමන්න. දැන් මෙය වියැළෙන්න තබන්න.

දැන් ඔබට පුළුවන් අකුරු සහිත ස්ටිකර් එකක්, මාළුන්ගේ රූප සහිත ස්ටිකරයක් ඊට උඩින් අලවා ගන්න. ස්ටිකර් අලවා ගැනීමෙන් පසු නැවත ක්ලියර් රෙසින් ලේයර් එකක් උඩින් දමාගන්න.

කුඩා දූපතක් එකතුකර සකසන ලද කීටැග් එකත් නිර්මාණය කරගන්නේ ඒ ආකාරයටමයි. මුලින්ම ගල්, වැලි, බෙල්ලන් එකතුකර ගම් යොදාගෙන දූපත සකසා එය වියැළුණාට පසු පෙර සඳහන් කළ පරිදි වර්ණක එකතු කරගන්න පුළුවන්. Sri lanka ස්ටිකරය ඇලවූ කී ටැග් එක සකසා ගෙන තියෙන්නේ වර්ණ තුනක් ශේඩ් වෙන්න දමා වියැළුණාට පසු ස්ටිකරයක් ඇලවීමෙනි. අවසානයට ක්ලියර් රෙසින් ලේයර් එකක් එකතු කරගන්න.

සකසා ගත් මෙම කී ටැග් හොඳින් වියැළුණාට පසු මෝල්ඩ් එකෙන් ඉවත්කොට කී චේන් එකක් සම්බන්ධකර ගන්න.

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka