කුෂන් කවර සරසන ලස්සන බිම්මල්

අප්‍රේල් 15, 2024

රැකියාවක නියුක්ත නොවන ඔබට ස්වයං රැකියාවක් ලෙසත්, රැකියාවක් කරන අයකුට අමතර ආදායම් මාර්ගයක් ලෙසින් පමණක් නොව ආත්ම තෘප්තිය සමඟ මේ අපූරු කතිර නිර්මාණකරණයට පිවිසිය හැකියි. කතිර එම්බ්‍රොයිඩරි කලාවට පිවිසෙන ඔබ උනන්දුවක්, ආසාවක් දක්වන්නේ නම් එය ඔබේ ජීවිතය ද වෙනස් කරාවි.

 

දිනෙන් දින වැඩිවන ජීවන වියදමට විසඳුමක් වශයෙනුත්, සිතේ සතුට වැඩිකර ගැනීමේ මාර්ගයක් ලෙසිනුත්, නිරපරාදේ වැයවන කාලය ප්‍රයෝජනවත් අයුරින් ආයෝජනය කිරීමටත් ඉවහල්වන මේ අනගි කතිර රටාවට ඔබත් ජීවය දෙන්න.

අපි මේ නිර්මාණය ආලින්දයේ පුටු සෙටිය සරසන කුෂන් කවරයකට වගේම ගමන් මලු සරසන නිර්මාණයක් ලෙසත් සරසා ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 14ක් හෝ 16ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 24 සිට නොම්මර 26 දක්වා

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණ කැරැලි නුල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු ගණන් කරමින් මැසිය හැකියි. ඒ අනුව ඔබ නිර්මාණයේ ප්‍රමාණය තීරණය කර ගන්න. එසේ නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නූල් පොටවල් 6ම භාවිත කරන්න.