අවුරුදු තිළිණ දෙන්න කදිම කතිර රටා

අප්‍රේල් 8, 2024

 

බක්මහ සැණකෙළියට තව වැඩි කාලයක් නැහැ. ඒ නිසා ගෘහිණියක් වඩාත්ම කාර්ය බහුලවන වකවානුවකි. නිවෙස කලඑළි කිරීමේදී වගේම තෑගි බෝග දීමේදීත් වැඩි වගකීම පැවරී ඇත්තේ ඇයටයි. මෙවර කතිර රටා ඔස්සේ ගෙනෙන නිර්මාණය බිත්තියේ හැඩට, කුෂන් කවරයට වගේම ගමන් මලු හැඩ කරන්නත් යොදා ගන්න පුළුවන්. මේ මෝස්තර නිර්මාණ අවුරුදු තිළිණ ලෙස තෑගි කරන්නත් කදිමයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 12ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්.

නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

 

අවශ්‍ය වර්ණ සහිත කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නි්ර්මාණය කිරීම

 

මෙම නිර්මාණය සෙන්ටිමීටර් 16.5 x 16.5 ප්‍රමාණයට හෝ අඟල් 6.5 x 6.5 ප්‍රමාණයට මසා ගත හැකියි. එසේ නොමැති නම් මෙය කොටු ගණන්කර මසා ගන්න පුළුවන්. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. නූල් පොටවල් දෙක භාවිතයෙන් මෙම නිර්මාණය මැසිය හැකියි. එසේම නිර්මාණය සඳහා ආපසු මැස්ම ද යොදාගෙන තිබේ. ඒවා අදාළ සංකේත සහ වර්ණ මඟින් අප ඔබට ලබා දී ඇත. මේ නිර්මාණය මැසීමේදී මැස්ම තදින් ඇදීම නොකළ යුතු මෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. එය සමබරව පවත්වාගෙන යාමට සැලකිලිමත් වන්න. අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ නූල් රෙදි කොටසට සම්බන්ධකර ගැනීම පිළිබඳවයි. ඒ අපි කතිර මැස්ම මැසීමේදී කිසිවිටෙකත් ගැට නොදමන බැවිනි. පළමුව මසන කතිර භාගය මසා එම නූල පිටුපසට ගෙන කොටු අතරින් යවා සකසා ගන්න.