මෙන්න මේ දවස්වලට ගැළපෙනම ඇඳුම

ඔක්තෝබර් 16, 2023

මේ දවස් රටේ බොහෝ තැන්වලට වැස්ස වහිනවා. ඉතින් ඔයාලට හිතෙන ඇති අපි ඉන්නෙ නුවරඑළියෙ ද කියලා. ඇත්තටම ඉතින් අපි නුවරඑළියේ වගේ විනෝද ගමනක් යනවානම් ඇඳුම් ගැන බොහෝ සැලකිලිමත් වෙනවානේ. දැන් අපි මේ දවස්වල මේ පළාතේ ඉඳලත් සීතලට පින්නට ඔරොත්තු දෙන ඇඳුම් අඳින එක කෝකටත් හොඳයි. මේ අත දිග ටී ෂර්ට් එක එවැනි විලාසිතාවත්. ගෙදර පොඩිත්තො ඉන්නව නම් එකම පැහැයෙන් මෙවැනි ටී ෂර්ට් කීපයක් මසා දෙන්නත් පුළුවන්. එසේම යුවතියන්ට යෙහෙළියන් සමඟ සැන්දෑ කාලයේ විනෝද ගමනක් යන්නට මෙවැනි දේ ටී ෂර්ට් එකක් කදිමයි.

ඔබත් අදම මෙවැනි ටී ෂර්ට් එකක් මසාගන්න.

 

මෙන්න අවශ්‍ය මිමි

 

* උරහිස අඟල් 16

* කර වට අඟල් 13

* උස අඟල් 26

* පපුව වට අඟල් 39

* උකුළ වට අඟල් 42

 

* අත උස අඟල් 15

* කැප් උස අඟල් 4

* පතරොමේ අත්කට අඟල් 11

 

ටී ෂර්ට් එක මසාගන්නට ඒ සඳහා භාවිත වන රෙදි වර්ගයක් අවශ්‍ය වේ. ටී ෂර්ට් එක රෙද්දේ ඇඳ කපනවට වඩා පතරොමක් සාදා ගැනීම පහසුය.

 

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වෙ. B සිට අඟල් 1 3/4

ක් පහත්කර A ලක්ෂ්‍යය යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලීක කර අඳින්න.

E සිට පහතට උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

G සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය GI වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ගෙන අඟල් 1/2 ක් පමණ ඇතුළට හැඩ කරන්න .

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය ADවේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. D සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එයDE වේ. E සිට අඟල් 1 ක් පමණ ඇතුළට ලකුණුකර D යා කරන්න.

 

පසුපස

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගානට තබා ගන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපාගන්න.

 

මෙන්න මෙහෙම මසාගන්න

 

ටී ෂර්ට් එක සාමාන්‍යයෙන් භාවිත වන මැසිමෙන් මැසිය නොහැකි විය හැකියි. ඒ ඔබ තෝරාගන්නා රෙදි වර්ගය අනුවයි. එම නිසා මැසීමට පෙර ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.

එමෙන්ම ටී ෂර්ට් සඳහා කර බෑන්ඩ් එක හා අත බෑන්ඩ් එක වෙනම මිලදී ගැනීමට ඇත.

 

* උරහිස මසන්න.

* අත අල්ලාගන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක