ළමා කාලයේ ඉඳලම ආසා කළේ

නර්තන ගුරුවරියක් වෙන්නයි
නොවැම්බර් 13, 2019

 

ඔව්. මුහුදු ලිහිණියා තමයි මගේ පළමු වේදිකා නාට්‍යය. ඉන් අනතුරුව වේදිකා නාට්‍ය නිර්මාණ බොහොමයකට එකතු වෙනවා. අකිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ කෙටි නාට්‍යයේ රඟපෑම නිසා යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ලැබුවා. පසුව රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් සම්මාන ලැබුවා සිල්ගත් බිල්ලෝ, වේදිකා නාට්‍යය හරහා.

 

මගේ පළමු ටෙලි නාට්‍ය වන ‘මීදුම් අම්මා’ මට ලැබෙන්නෙත් වේදිකා නාට්‍යයක් නිසා. වේදිකාවේ මා කළ රංගනය දැකලයි සමීර හසුන් මට ‘මීදුම් අම්මා’ ටෙලි නාට්‍යයට කතා කළේ.

 

වේදිකාවෙන් පුංචි තිරයට එද්දී ඒ වෙනස ඔබට තදින් දැනෙන්නට ඇති?

ඔව්. එහෙම වුණා. වේදිකාවේ නිදහසේ රඟපාන්න තියෙන ඉඩ පරාසය වැඩියි.

නමුත් ටෙලි නාට්‍යවල දී එහෙම බැහැ. අපි රාමුවක් ඇතුළෙ කොටු වෙලයි රඟපාන්නේ. මුලදී වෙනසක් දැනුණා. නමුත් මාලනී ෆොන්සේකා මහත්මියගෙන් මට උපදෙස් ලැබුණ නිසා රංගනය පහසු වුණා. මම ‘මීදුම් අම්මා’ හි රඟපෑවේ ඇගේ දුව හැටියට. ඉතින් පිටපතේ වැඩිපුරම තිබුණේ අපි දෙන්නා එකට ඉන්න කොටස්. මට ඒ මොහොතේ ඇගෙන් ලැබුණු සහය අපමණයි. ඉන්පසු නිසල දියසුළි. හිත ළඟ අත් තටු, බලය ඇවිත්, ඔබ ආයෙමත් ඇවිදින්, ඊළඟට, නෙතු සහ ඔක්කොම හොඳටයි වගේ ටෙලි නිර්මාණ රාශියක රඟපෑවා.

 

ඔබ වඩාත් කැමැති වේදිකාවට ද නැත්නම් පුංචි තිරයට ද?

මම වඩාත් කැමැති වේදිකාවටයි. ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවීව වේදිකාවක රඟදැක්වීම අමුතු දෙයක්. ඒ හැඟීම ටෙලි නාට්‍යයක රූගත කිරිම්වලින් දැනෙන්නේ නෑ. වේදිකාවේදී ප්‍රේක්ෂකයන්ට ඒ මොහොතේදී දැනෙන හැඟීම අපිටත් සජීවිව බලාගන්න පුළුවන්. වේදිකාව කියන්නේ හරිම නිදහස් තැනක්.

 

ඔබ සිනමා නිර්මාණ කිහිපයකටත් රංගනයෙන් දායක වුණා නේද?

ඔව්. දැනට චිත්‍රපට දෙකක රඟපාලා තියෙනවා. නිදහසේ පියා, කොට උඩ එක්ප්‍රස්. ඒ චිත්‍රපට දෙකයි. චිත්‍රපට කිහිපයකටම තව ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං ඉදිරියේදි පුංචි තිරයේ වගේම සිනමාවේදිත් රසිකයන්ට මාව දැක ගන්න පුළුවන්.

 

තවම අධ්‍යාපන කටයුතු අවසන් නැද්ද?

මම ඉගෙන ගත්තේ අනුරාධපුර සවර්ණපාලි බාලිකා විද්‍යාලයෙන්. ඊට පසුවයි ටවර්හෝල් පදනමේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාව කළේ. මේ දිනවල විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධිය හදාරනවා. ඉතිං උපාධියේ කටයුතුවලටයි මේ දවස්වල මුල්තැන දෙන්නේ.

 

 

රංගන කටයුතුවල පහසුව නිසා ද ගම දාලා කොළඹ ආවේ..

මගේ ගම අනුරාධපුරය නෙල්ලිකුලම. එවන් සුන්දර ගමක ඉපදෙන්න ලැබීමත් වාසනාවක්. තාමත් මං ගමට ආදරෙයි. මං අධ්‍යාපන කටයුතුවල පහසුව නිසාමයි කොළඹ ආවේ. ඒ අතරතුර රංගනයට සම්බන්ධ වුණා.

 

රංගනයට ඔබ පිවිසෙද්දී පවුලේ අයගෙන් මොනවගේ සහයක් ද ලැබුණෙ...

මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, අයියයි ඉන්නේ. අක්කලා දෙන්නා සහ අයියා විවාහ වෙලා.

රංගනයට සම්බන්ධ වෙනවට එයාලගේ කැමැත්තක් තිබුණේ නැහැ. රංගනයට විරෝධය දැක්වූවා. මං රඟපානවට කැමැති වුණේම නැහැ. කාලයක් යන විට ඒ අකැමැත්ත කැමැත්තක් බවට පත් වුණා. මුලදි ෂූටිංවලට දුර යද්දී අම්මත් මගෙත් එක්ක යනවා. අද මට මේ ලැබුණු ජයග්‍රහණය ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ අම්මා ඇතුළු පවුලේ අයයි.

 

ආදරය ගැන මොකද හිතෙන්නේ?

හොඳ කෙනෙක් ලැබුණොත් ආදරය සුන්දරයි. මං නම් හිත්නනේ නැහැ අම්මා තාත්තාගෙන් ලැබුණු ආදරය තරම් ආදරයක් පිට කෙනකුගෙන් ලැබෙයි කියලා.

 

ඔබ ආදරය ගැන කලකිරිමෙන් ද ඉන්නේ?

එහෙමම නෙවෙයි. දැන් කාලේ සැබෑ ආදරය කියලා දෙයක් හොයන්න අමාරුයි. සුන්දර ආදර කතා හරිම අඩුයි.

 

 

2019/11/13 තරුණි බලන්න.....