නාසා කැලැන්ඩරයට ගිය තිරප්පනේ ලෝෂිතගේ කතාව

ජනවාරි 8, 2024

 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන ජයග්‍රහණ නම් ඕනෑ තරම්ය. එහෙත් මේ කියන්නට යන්නේ ඒ සියල්ලම අතරින් සුවිශේෂීවන ජයග්‍රහණයක් සම්බන්ධයෙන්ය. අමෙරිකාවේ නාසා ආයතනය යනු ලොව සියලු රටවලින් ඉහළ පිළිගැනීමක් හිමිවන ස්ථානයකි. එවන් ස්ථානයක ශ්‍රී ලාංකිකයකුගේ නම සටහන් වීම රටක් වශයෙන් අපට හිමිවන ඉහළ ගෞරවයකි. නාසා ඇල්ලූ අපේ විද්‍යාඥයන් සේම රටට කීර්තියක් ගෙනා අපේ කතානායකයා සුවිශේෂී වන්නේද ඒ නිසාමය. මේ කතාබහ පසුගිය දින කිහිපයේම කතාබහට ලක් වූ නාසා දින දර්ශනයට ගිය සිතුවමේ පුංචි සිත්තරා ගැනයි.

දහම් ලෝෂිත ප්‍රේමරත්න පුංචි සිත්තරාගේ වයස තවම අවුරුදු 7 ලැබුවා පමණි.

අනුරාධපුර තිරප්පනේ මහනාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම්ට චිත්‍ර කලාව සම්බන්ධ හුරුව ලැබෙන්නේ මවු කුස පිළිසිඳගත් දා සිටමය. දහම්ගේ මව වන ඉසුරිකා උදයංගනී රණබාහු ද චිත්‍ර කලාව සම්බන්ධයෙන් උපන් හපන්කමක් ඇත්තියකි. උසස් පෙළට ඒ සමාර්ථ්‍ය තුනක් හිකර ගන්නා ඇය ඒ වසරේ ඇය නියෝජනය කළ දිස්ත්‍රික්කයේ 12 වැනි තැන හිමිකර ගනිමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යෑමට සුදුසුකම් ලබන්නේ ඒ බව සනාථ කරමිනි. ඇගේ නැඟණිය හෙවත් දහම්ගේ පුංචි අම්මා ද චිත්‍රවලට යොමු වන්නේ තම අක්කාගේ ගුරුහරුකම් මධ්‍යයේය. කෙසේ වෙතත් දහම් නාසා ආයතනය මඟින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයට චිත්‍රයක් ඉදිරිපත් කරන්නේ ඔහුගේ පුංචි අම්මා කළ දිරිගැන්වීම හරහාය. තිරප්පනය නගරයෙනුත් කිලෝමීටර 3ක පමණ දුරකින් පිහිටි සෙම්බුකුලම ගම්මානයේ ජීවත්වන දහම්ගේ පියා චමින්ද ප්‍රේමරත්න ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. මව ඉසුරිකා උදයංගනී රණබාහු සිය දරුවාගේ අනාගතය වෙනුවෙන් තමන් කරමින් සිටි බැංකු රැකියාවෙන් ද ඉවත්ව දරුවාගේ හැකියාවන් ඔප් නැංවීමට අතහිත දෙමින් සිටියි. මේ සියල්ලන් දහම්ගේ මේ ජයග්‍රහණය පසුපස සිටින්නේ යෝධ සෙවණැල්ලක් වෙමිනි.

නාසා ආයතනය මඟින් සෑම වර්ෂයකම එක් එක් දිනයන් සඳහා සුවිශේෂීවන දින දර්ශනයක් නිර්මාණය කරනු ලබයි. ඒ සඳහා ලෝකය පුරා විසිරී සිටින දරුවන්ට සිතුවම් ඉදිරිපත් කළ හැකිය. අභ්‍යවකාශ ගවේෂණය සමඟ දරුවන්ට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරමින් මෙම චිත්‍ර තරගය සංවිධානය කර තිබිණි. "living and working in the space" හෙවත් 'අවකාශයේ ජීවත් වීම හා වැඩ කිරීම යන තේමාව' යටතේ දහම් ලෝෂිත දරුවා තම සිතුවම නාසා චිත්‍ර තරගය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව එහි වයස අවුරුදු 4-6 කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ඔහු සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟින් ඔහුට තවත් සුවිශේෂී අවස්ථාවක් හිමි විය. ඒ, නාසා 2024 දින දර්ශනයේ ජූලි මාසය සඳහාවන සිතුවමට දහම්ගේ සිතුවම තෝරාගෙන තිබීමයි. ලෝකයේම දරුවන් පරයා පළමු තැනට හිමි සිතුවම ඉදිරිපත් කළා පමණත් නොව, නාසා දින දර්ශනයට චිත්‍රය තෝරා ගැනීමත් මෙම තරගයේ මෙතෙක් ශ්‍රී ලාංකිකයකු දිනූ පළමු ජයග්‍රහණය මෙය වීමත් හේතුවෙන් දහම් ජාත්‍යන්තරයට ගියේ දරුවකුගේ ජීවිතයේ ලැබිය හැකි ඉහළම ජය හිමිකර ගනිමිනි. කලාවට සුවිශේෂී හපන්කමක් පාන දහම් ජාත්‍යන්තර චිත්‍ර තරගයකට ඉදිරිපත් කළ පළමු චිත්‍රය මෙයයි. එම පළමු චිත්‍රයෙන්ම ලොව පළමුවැන්නා වීමට ඔහුට හැකි වීම ඔහු ඉගෙනුම ලබන පාසලට, මවුපියන්ට මෙන්ම රටට ද අත්කර දුන්නේ ඉමහත් කීර්තියක් හා ආඩම්බරයකි.

සිය පුංචි අම්මාගේ මඟ පෙන්වීම මත නාසා චිත්‍ර තරගයට චිත්‍ර ඇඳි දහම් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවලින් පවත්වන සිතුවම් තරගවලට ද සිය සිතුවම් ඉදිරිපත්කර ඒවායේ ද ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියි. ඊට අමතරව පළාත් හා ජාතික මට්ටමේ චිත්‍ර තරගවලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ද දහම් සමත්ව තිබේ. මෙසේ ලොවක් දිනූ දහම්ට නාසා ආයතනය වෙතින් පිරිනමනු ලබන ත්‍යාග හා සහතිකපත් නුදුරේදීම හිමි වනු ඇත. දහම්ගේ ජයග්‍රහණය පිටුපස සිටිමින් දහම් මෙම චිත්‍ර තරගයට චිත්‍රයක් ඉදිරිපත් කරන්නට තරම් දිරිගැන්වීමක් කළ දහම්ගේ පුංචි අම්මා සුදර්ශි රණබාහු අප සමඟ අදහස් දක්වමින් දහම්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළාය.

"නාසා ආයතනය මඟින් වසරක් පාසා පවත්වනු ලබන චිත්‍ර තරගයකට තමයි මම දහම් පුතාවත් මගේ දුවවත් යොමු කළේ. මම ගුරුවරියක් විදිහට මේ තරගයට දරුවන්ව යොමු කරන්න කියලා මවුපියන්ව දැනුම්වත් කළා. දහම් මගේ අක්කගේ පුතා. මම අක්කටත් කිවුවා නාසා විද්‍යුත් ලිපිනය හරහා පුතාගේ චිත්‍රය යොමු කරන්න කියලා. ඒ අනුව ඒ අය පුතාගේ සිතුවම ජයග්‍රහණය කළ බව ඔවුන්ගේ විද්‍යුත් තැපෑලෙන් දන්වා තිබුණා. ඒ වගේම ඒ සිතුවම නාසා දින දර්ශනයේ ජූලි මාසය හැඩ කිරීම පුතා වගේම අපේ රටත් ලැබූ විශාල ජයග්‍රහණයක්. රටවල් 25ක් පමණ සහභාගී වුණු මේ තරගයේ ලංකාව දිනපු පළමු අවස්ථාව මේක. වැඩිම වාර ගණනක් පළමු ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය. ඉන්දියාවත් එක් වතාවක් පළමු ස්ථානය හිමි කරගෙන තිබුණා. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරලා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරලා තමයි ගුරු වෘත්තියට යොමු වුණේ. දැන් මම ඉන් ඉවත්ව කථිකාචාර්ය තනතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මාවත් කලාවට යොමු කළේ මගේ අක්කා. ඒ කියන්නේ දහම්ගේ අම්මා. එයත් කලා හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක්. දහම් පුතා චිත්‍ර අඳින්න විතරක් නෙවෙයි සින්දු කියන්නත් දක්ෂයෙක්. ඒ වගේම කථික තරගවලින් දිස්ත්‍රික්කයේ පළමුවැනි ස්ථානය පවා හිමි කරගෙන තිබෙනවා. මම මේ දරුවාගේ හැකියාව නිසයි මේ තරගයට දැම්මෙ. ඒකෙන් එයා අපි හැමෝටම ගෞරවයක් ලබා දීම ගැන ආඩම්බරයි.