හැම ගැහැනියක්ම පුදුමාකාර ශක්තිමත්

සේමිණි ඉද්දමල්ගොඩ
මාර්තු 11, 2024

 

'29 වැනි සුමති සම්මාන උළෙලේ 2023 වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘එයා දැන් බැඳලා‘ ටෙලි නාට්‍යයේ සුද්දි ලෙස රඟ පෑ සේමිණි ඉද්දමල්ගොඩ.'

 

ඒ නිවේදනය ඇසෙද්දීම සේමිණි වේදිකාවට පිවිසියේ සුද්දීට ලැබුණු ඒ සම්මානය ලබා ගන්න.

මේ සම්මානය ලැබුණේ සේමිණිට නොව සුද්දීට ය. සුද්දී කියන්නේ සේමිණීටම ද කියලා හිතන්න වෙන තරමටම ඇය ඒ චරිතයට ජීවය දුන්නේ පණ පිහිටුවා ය.

සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ ඕනෑම චරිතයක් ඒ අයුරින්ම රඟදක්වන්නට හැකියාව ඇති අතළොස්සක් වූවන් අතරින් ප්‍රවීණ චරිතාංග නිළියකි. ඉතින් ඇයව හොඳම නිළිය කළ සුද්දි ගැනත්, කලා ජීවිතයේ නවමු තොරතුරු ගැනත් ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. තරුණී මේ කතාබහ වෙන් වන්නේ ඇය වෙනුවෙන්.

 

ඉතින් කොහොම ද?

හරිම සතුටින් හොඳින් ඉන්නවා.

 

මේ දවස්වල අලුත් තොරතුරු මොනවා ද?

මේ දවස්වල ‘තත්පරයක් දෙන්න‘ ටෙලි නාට්‍යයෙයි ‘ලලයි ලිලයි ලයි‘ ටෙලි නාට්‍යයෙයි රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.

 

පසුගිය සුමති සම්මාන උලෙළවලදී හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණේ ඔබටයි. සම්මානය අතට ගනිද්දී මොකද හිතුණේ.

 

මගේ රංගන ජීවිතයට වසර 23ක් වෙනවා. ටෙලි නාට්‍යයක් වෙනුවෙන් හොඳම නිළිය වෙන්න ලැබුණු ප්‍රථම වතාවයි ෙම්. නමුත් මම රඟපාපු හැම ටෙලි නාට්‍යයකම වගේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා. බොහෝ සම්මාන උළෙලවලදී. නමුත් එවැනි සම්මානයක් අතට ගන්න ලැබුණේ මේ සම්මාන උලෙළේදී. ඒ නිසාම මගෙ නම කියනකම්ම මට කිසිම විශ්වාසයක් ඒ ගැන තිබුණේ නැහැ. ඉතින් සම්මානය අතට ගනිද්දී මට ලොකු සතුටක් දැණුනා. කවදාවත් නොලැබුණු දෙයක් අවුරුදු 23කට පස්සෙවත් ලැබීම ලොකු දෙයක්. ඉතින් ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවී.

 

මේ සම්මානය ලැබෙන්නේ සේමිණීට වුණාට. ඇත්තටම මේක ලැබෙන්නේ සුද්දිට. ඉතින් සුද්දි ගැන කතා නොකරම බැහැ...

 

‘එයා දැන් බැඳලා‘ ටෙලි නාට්‍යය ගෙතිලා තියෙන්නේ සුද්දිගේ චරිතය වටායි. කතාව පටන් ගනිද්දි සුද්දි කියන්නේ ගණිකාවක්. ගැහැනු ඒ තත්ත්වයට පත් වෙන්නෙම පිරිමින්ගේ වැරැදිවලින්. සමහරවිට සාධාරණ හේතු තියෙනවා ඒ තත්ත්වයට පත්වෙන්න. තමන්ගේ දරුවෝ ජීවත් කරවන්න වගේම තමන්ව රැකෙන්න කිසිම ක්‍රමයක් නැතිනම් අවසානයේ ඒ තැනට පත්වෙනවා සමහර කාන්තාවන්. අනෙක් ගැහැනුන්ට තියෙන හැඟීම් දැනීම් ආසාවල්මයි ඒ අයටත් තියෙන්නේ. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න, දරුවෝ හදන්න ඒ හැම ආසාවක්ම එයාලටත් තියෙනවා. සුද්දි හරහා එවැනි කන්තාවන්ටත් යම් කිසි වටිනාකමක් ලැබුණා. මොකද ගණිකාවක් වෙච්ච සුද්දිට ජීවිතයේ දී ආදරයක් ලැබිලා විවාහ වෙනවා. හොඳ ස්වාමි පුරුෂයෙක් හම්බවෙනවා. ඊට පස්සේ දරුවෙක් ලැබෙනවා. ඒ විදිහේ කාන්තාවකටත් හොඳ පැත්තට වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමාජය තමයි එතැනට එන්න ඉඩ නොදෙන්නේ. සුද්දි ඒ හැමදේම දරාගෙන තනියම ගමනක් යන කෙනෙක්. තනිවෙච්ච ගැහැනු පුදුමාකාර ශක්තිමත්. මේ කතාවෙන් කියන්නේ ඒක. ‘එයා දැන් බැඳලා‘ ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්ෂණයක්. ගලහ ප්‍රදේශයේ තමයි රූගත කිරීම් සිදු වුණේ. ඒ ලබාගත් අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

 

‘තප්පරයක් දෙන්න‘ ටෙලියේ බ්‍රිජට්ගේ චරිතයත් මේ හා සමානව බොහෝ දෙනෙක් වැලඳගෙන අවසන්...

බ්‍රිජට් කියන්නෙත් සුද්දිගේ එක පැත්තක් වගේ. මොකද සුද්දි සහ බ්‍රිජට් කියන්නේ පිරිමින් හා එකට එක ගැටෙන චරිත. බ්‍රිජට් කියන්නෙත් හොඳ කොන්දක් තියෙන අසාධාරණයට විරුද්ධව වැඩ කරන කාටවත් බය නැති එඩිතර පොලිස් නිලධාරිනියක්.

 

රංගන ක්ෂේත්‍රය තුළ ලැබිය යුතු ඉහළම සම්මානය හොඳම නිළිය සම්මානයයි. ඉන් එහා තවත් බලාපොරොත්තුවක් තියෙනව ද?

ටෙලි නාට්‍යවලින් හොඳම නිළිය වූ ප්‍රථම අවස්ථාව වුණාට වේදිකාව තුළත්, සිනමාව තුළත් මින් පෙර මා හොඳම නිළිය වෙලා තියෙනවා. එහෙම වුණා කියලා මම නැවතුණේ නැහැ. හැම වෙලාවෙම හිතුවේ තව ඉගෙන ගන්න ඕනේ කියලා. හතු පිපෙනවා වගේ ආපු ගමන්ම හොඳම නිළිය වුණානම් ඒ කාලේ සමහරවිට මට මෙච්චර දක්ෂතාවයක් පෙන්වන්න පුළුවන් වෙන එකක් නැහැ. මොකද ආපු ගමන් ඒ දේවල් ලැබුණාම මම පොර කියලා හිතන පිරිසකුත් ඉන්නවනේ. මේ සම්මානය ගත්තට පස්සේ තමයි ඇත්තටම පරෙස්සම් වෙන්න ඕනේ. තව තව පරෙස්සම් වෙන්න ඕනේ ඒක රැක ගන්නේ කොහොමද කියලා. ඒ තැන තමයි මම ඉන්නේ.

 

සේමිණි කියන්නේ රංගන ශිල්පිනියක්ම විතරක් නෙවෙයි. ගෘහිණියක්, බිරියක්, මවක්. දියණියකගේ මවක් කියන්නේ ලොකු වගකීමක්. ඒ වගකීම දැනෙන්නේ කොහොම ද?

දුවෙක් වුණත් පුතෙක් වුණත් දරුවෝ කියන්නේ ලොකු සම්පතක්. එයාලගේ අනාගතය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද කියන එක. සමාජයට ගියාම මුණ ගැහෙන්නේ විවිධ ආර්ථික මට්ටම්වල, විවිධ සමාජ මට්ටම්වල, විවිධ පවුල් පරිසරවල අය එක්ක තමයි ගැටෙන්න වෙන්නේ. ඒ අය එක්ක ඔළුව කෙළින් තියාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තමයි අපි දරුවන්ට උගන්වන්න ඕනේ. නැතුව අනාගතය වෙනුවෙන් දේවල් රැස් කරන එක නෙවෙයි. අපේ මවුපියනුත් අපිට හැම දේම දීලා නැහැ. ස්වෝත්සාහයෙන් තමයි අපි හැමදේම කරගෙන තියෙන්නේ. ගැහැනු ළමයෙක්ව පරෙස්සම් කරගන්න ඕනේ තමයි. නමුත් හැම වෙලාවෙම පස්සෙන් ඉන්න ඕනෙ නැහැ. අම්මා තාත්තා නැතුව එයාලා කොහොමද පරෙස්සම් වෙන්න ඕනේ කියන එක තමයි අපි උගන්වන්න ඕනේ.

 

ජනප්‍රිය චරිතාංග නිළියක් විදිහට එළැඹෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ කාන්තාවන් වෙනුවෙන් කියන්න තියෙන්නේ මොනවා ද?

කාන්තාවක් සැම විටම ශක්තිමත් විය යුතුයි. ස්වාධීන විය යුතුයි. ආදරණීය විය යුතුයි. අපි කාගෙන්වත් යැපෙන්න බලන් ඉන්න හොඳ නැහැ. ස්ව උත්සාහයෙන් ජීවිතය ජය ගත යුතුයි. තමන්ගේ පවුල තුළදී වුවත් තනියෙන් වැඩක් කරගන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කාන්තාවක්. එයින් අදහස් කරන්නේ පුරුෂයා යටපත් කරගෙන ඉන්න කාන්තාවක් වෙන්න කියන එක නෙවෙයි.

 

 

ඡායාරූප - කල්ප මේනක පීරිස්

Nexus creations