මේ ලෝකෙ හොඳම පෙම්වතී එයා කියලා මට දැනෙනවා

මාර්තු 25, 2024

 ඇය ඇඳ සිටියේ සුදු පැහැති සාරියක්. ඇගේ අසලිින්ම ඉඳගෙන හිටියේ ඇයටම කැපෙන කඩවසම් තරුණයෙක්. ආදරෙන් සිටින මේ යුවළ දකින කාට වුණත් මතකයට නැඟෙන්නේ ඉසුරුමුණි පෙම් යුවළ. හැබැයි අපි අද ඉන්නේ ඒ රන්මසු උයනේ නෙවෙයි ජයවර්ධනපුර. ඇය මාධවි වත්සලා ඇන්තනි. ජැක්සන් ඇන්තනීගේ දියණිය කිව්වම ඇයව කවුරුත් හඳුනනවා. ඔහු කසුන් මහේන්ද්‍ර හීනටිගල. ඔහු ගැන කියන්න වැඩි විශේෂණ පද අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අද අපි ඇවිත් ඉන්නේ ඔහුත් එක්ක කතා කරන්න.

 

ඉතින් කොහොමද කසුන් ජීවිතේ?

 

බොහොම හොඳින් ඉන්නවා. ඉදිරියේදී එළිදකින්න නියමිත නිර්මාණ කිහිපයක් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ නමුත් ආදරේ මිහිරියාවත් එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

 

මොනවද මේ දවස්වල වැඩකටයුතු? කසුන් අතගහපු වෙනස්ම විදිහේ වැඩේ 'නමෝනාම' ගැන කියලම පටන්ගමු.

 

ඔව්. මමයි මාධවියි එක්කහු වෙලා පටන්ගත්ත අලුත්ම වැඩේ තමයි 'නමෝනාම'. නමෝනාම කියන්නෙ නාමකරණ සේවාවක්. අපි ඒ තුළින් අලුත උපන් බිලිඳුන්ට, අලුතින් පටන් ගන්න ව්‍යාපාරවලට, අලුත් චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට වගේම තියෙන නම අලුතින් වෙනස්කර ගන්න කැමති පුද්ගලයන්ටත් එක සේ සේවාව සපයනවා. නමෝනාම ආරම්භ කරලා තවම මාසයක්වත් නෑ. නමුත් මේ ගෙවී ගිය ටික කාලෙට බොහෝ තරුණ මවුපියවරුන්, ව්‍යාපාරිකයන්, නිර්මාණකරුවන් අපේ සේවාව ලබාගත්තා. අපි හිතනවා ඔවුන් අපේ කාර්යක්ෂම, අවංක, නිර්මාණාත්මක මහන්සිය අත්වින්දා කියලා. ඒ නිසා කුමන තරාතිරමේ කෙනෙක්ට වුණත් අපේ නමෝනාම ෆේස්බුක් පිටුව හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ ප්‍රාණ සම දරුවාට, ඔබ පටන්ගන්නා සාරවත් ව්‍යාපාරයට මතක හිටින නමක් දෙන්න නමෝනාම අපි ආදරයෙන් බලන් ඉන්නවා.

 

මුහුණු පොතේ නම් කසුන් - මාධවී ආදර කතාව හරි ජනප්‍රියයි. කොහොමද ඉතින් ඒ ගෙවන ජීවිතය..

හරිම සෞන්දර්යාත්මකයි. හරිම අනුරාගීයි. හරිම ප්‍රේමාන්විතයි. හරිම කාව්‍යාත්මකයි. හරිම ප්‍රායෝගිකයි. හරිම කාරුණිකයි. හරිම සාමකාමියි. හරිම වටිනාමයයි. හරිම සංගීතාත්මකයි. හරිම රහයි !!!

 

මාධවී සහකාරිය කරගන්න හිතුවේ ඇයි?

මාධවී මගේ අම්මමයි. මං කියන්නෙ හදවතින්. මාධවීගෙ රූපය, පිටත පෙනුම, ගෑනුකමට මං කොහොමත් ආසයි. ලෝබයි. මං කියන්නෙ අපිට පිටට නොපෙනෙන දේනෙ හදවත, හදවතේ නලියන ආදරය, සෙනෙහස. අන්න ඒ 'මවුවත් ගුණාංග' හැමදේම මාධවී ළඟ උතුරන්න තියෙනවා. ඉතින් මේ ලෝකෙ හොඳම පෙම්වතී එයා කියලා මට දැනෙනවා.

 

ලෝකේ කතාවක් තියෙනවනේ ගැළපෙන මිනිස්සු කොහෙදි හරි හමු වෙනවා කියලා.. මේකත් එහෙම හමුවීමක් ද?

අනිවාර්යයෙන්ම. ගහට ගහක් මොරටුවෙදි ඉක්මනින් හම්බුණාට අපිට අපිව හමුවෙන්න කාලයක් ගත වුණා. නමුත් අපි දෙන්නම විශ්වාස කරනවා හොඳම දේවල් හමුවන්නෙ, හිමිවෙන්නෙ පහුවෙලා කියලා. ඉතින් දෛවයේ කැමැත්ත අනුව, විශ්වීය ආශීර්වාදයෙන් අපි අපේ වුණා.

 

එයාගේ කැමැතිම ගුණාංගය මොකක්ද?

මගේ හැමදේම අම්මෙක් වගේ දරාගන්න එක. ඒක මට මාරයි.

 

කසුන්ගේ කලා කටයුතුවලටත් මාධවීගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති.

අප්පේ ඔව්. මං කරන හැම නිර්මාණයක්ම , මං ලියන හැමදේම මට පස්සෙ මුලින්ම දකින්නෙ එයා. අපි දෙන්නටම නිර්මාණ කියන්නෙ අපේ දරුවො වගේ. ඒ තරම් ආදරෙයි. මං ලියන වෙලාවට, නිර්මාණ උපද්දන්න හිතන වෙලාවට මාධවීගෙන් ලැබෙන අමරස හොට් චොකලට් වීදුරුවෙ ඉඳලා , නිර්මාණයක් බිහිකරලා ඒක ජනගත වෙනකල්ම එකසේ ලැබෙන ආදර ශක්තිය ආත්මීයයි.

 

මාධවිගේ අප්පච්චි ජැක්සන් ඇන්තනීව කසුන් දකින්නේ මොන විදිහට ද?

යුගයට එකයි. රටකට එකයි. ලෝකෙට එකයි. ඉතිහාසෙට එකයි. සිනමාවට එකයි. වේදිකාවට එකයි. රූප පෙට්ටියට එකයි. සාහිත්‍යයට එකයි. ලිවිල්ලට එකයි. ඇවිදිල්ලට එකයි. සෙවිල්ලට එකයි. කියවිල්ලට එකයි. දැනුමට එකයි. පෙනුමට එකයි. අප්පච්චිලා එකයි ! 'සකල කලා සක්විති' ජැක්සන් ඇන්තනී.

 

කසුන්ගෙයි මාධවිගෙයි අප්පච්චිලා දෙන්නා අතරෙ තිබ්බේ මොන වගේ සම්බන්ධයක් ද?

අප්පච්චිගෙ නිර්මාණවලට, සජිතගෙ නිර්මාණවලට තාත්තා එකතු වෙලා තියෙන්නෙ අපි අඳුරගන්නත් කලින්. ඉතින් එයාලා ක්ෂේත්‍රයේ ආදරණීය හිතවතුන්. අප්පච්චිගෙ මළ ගෙදරදි මගේ තාත්තා කුඩා දරුවෙකු වගේ වැලපුණා. අප්පච්චි නැතිවෙලා තුන් මාසයක් යන්නත් කලින් තාත්තා අන්ත්‍රා වුණා. අපි තනියම හැමදේම දරාගෙන ජීවත් වෙන්න පුරුදු වුණා.

 

මෑතක ටෙලි නාට්‍යයකුත් අධ්‍යක්ෂණය කරන්න නේද ඉන්නෙ ?

ඔව්. වසර කිහිපයක ඉඳන් මං ලියමින් ඉන්න පර්යේෂණාත්මක පිටපතක් ඉදිරියේදී මගේම අධ්‍යක්ෂණයෙන් යුතු ටෙලි නාට්‍යයක් හැටියට නිර්මාණය වෙන්නට නියමිතයි. ඒක ජීවිතේ හැම රසයක්ම අඩංගු කතාන්දරයක්.

 

දැන් කවි ලියැවෙන්නේ නැද්ද?

ලියැවෙන ප්‍රේම කවි ෆේස්බුක් එකේ පළ කරනවා. මගේ පළවෙනි කවිපොත 'කවි ඇසිඩ්' එළිදක්වලා මේ වසරට අවුරුදු දහයක්. අවුරුදු ගණනාවක් තිස්සෙ කාටවත් නොපෙන්වා, බොහොම ඉවසීමෙන් තැන තැන රැස්කරපු කවි කිහිපෙකුයි , අලුතින් ලියැවෙමින් පවතින කවි කිහිපෙකුයි එකතු කරලා මගේ දෙවැනි කවිපොත හැටියට ඉදිරියේදී එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒ ගැන සවිස්තරව කතා කරමු.

 

සමහර මිනිස්සු ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි කිව්වට තවත් අය කියන්නේ ජීවිතය කියන්නේ සල්ලි කියලයි.. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ජීවත් වෙන්න සල්ලි ඕනෙ. සල්ලි හොයන්නම විතරක් ජීවත් වෙන්න හොඳ නෑ.

 

මොනවද ඉතින් ඉදිරි බලාපොරොත්තු ?

මගේම ටෙලි නාට්‍යයක්. චිත්‍රපටයක්. ගීත නිර්මාණ කිහිපයක්. ඒ වගේම පොත් කිහිපයක්.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර