කලා තරු අවුරුදු සමරන්නේ මෙන්න මෙහෙමයි

අප්‍රේල් 8, 2024

රතට රතේ දිලිහෙන එරඹදු මල්... කොහාගේ ගී රාවය.. කැවුම් කොකිස් බැදෙන සුවඳ... මේ හැමදේකින්ම කියාපාන්නේ බක් මහේ අසිරියයි. ඒ අසිරිමත් සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තව දින කිහිපයක් පමණයි. හැමෝම සිංහල අලුත් අවුරුද්දට ලහි ලහියේ ලැහැස්ති වෙද්දි අපේ කලා තරුත් අවුරුද්දට කලින්ම ලෑස්ති වෙලා. අවුරුදු සමය කලා ක්ෂේත්‍රයටත් එක් කරන්නේ අසිරිමත් බවක්. සිංහල අලුත් අවුරුද්ද සමරන කලා තරු එයාලා මෙවර අවුරුදු සමරන්නේ කොහොමද කියලා තරුණී සමඟ බෙදා හදා ගත්තේ මේ විදිහටයි.

 

කඳුකරේ සිරි බලන්න යනවා - ශේෂාද්‍රි ප්‍රියසාද්

තවම සිංහල අලුත් අවුරුද්දට කරන්නේ මොනවද කියලා විශේෂ ප්ලෑන් එකක් නැහැ. හැබැයි ඒ කොහොම වුණත් හැම අවුරුද්දෙම අම්මලගෙ මහ ගෙදර යනවා. අපි කතෝලික වුණාට අපිත් සිංහල මිනිස්සු. ඒ චාරිත්‍ර වාරිත්‍ර අපිත් ඒ විදිහටම කරනවා. අම්මලාගේ ගෙදර තමයි ඒවා හරියටම කරන්නේ. කිරි උතුරවනවා. කැවිලි මේසයක් හදනවා. ආහාර අනුභව කරනවා. මට ඕනේ මගේ පුංචි දුව ක්‍රිෂාර්යාටත් ඒ දේවල් පෙන්නන්න. අපිට ඉතින් අවුරුදු තියෙන්නේ මහගෙදරනේ.

ඒ වගේම හැම සිංහල අලුත් අවුරුද්දක ම පවුලේ අයත් එක්ක එකතු වෙලා අපි පුංචි ට්‍රිප් එකක් යනවා. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක අපි හිතන් ඉන්නේ කඳු තියෙන ටිකක් සීතල පැත්තකට යන්න. ඉතින් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපි කාටත් සතුටු හිතෙන සුන්දර කාලයක්. පොඩි කාලේ වගේම අදටත් බක් මාසේ ලබද්දි අපිට හරි සතුටුයි.

රිද්මා නැකතට බරයි - රොෂාන් පිලපිටිය

පොඩි කාලේ මම හැදුණු වැඩුණු සුන්දර පරිසරයෙන් මට ලැබුණු දේ, අපේ කම, අපේ සංස්කෘතියට මම හදවතින්ම ආදරෙයි. ඒවා මගේ මතකයත් එක්ක බැඳිලා තියෙන්නේ. මට මතකයි අපි පුංචි කාලේ අලුත් අවුරුද්ද ළං වෙනකොට ගෙවල්වල කැවිලි හදන සුවඳින් පරිසරයේ සුවඳ පවා වෙනස් වෙනවා. කොහාගේ මිහිරි හඬ ඇහෙනවා. දුර ඈත ඉන්න නෑදෑයන් පවා ගෙවල්වලට එකතු වෙනවා.

නැති බැරි ඇති හැකි හැම කෙනකුගේම ගෙදර අලුත් අවුරුද්දට ලැහැස්ති වෙනවා. මේ සොබාදහම පවා අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. අදටත් ඒක එහෙම්මමයි. රිද්මා මාගේ ආදරණීය බිරිය දැනටමත් ඊට සූදානම් වෙනවා. පුතත් එක්කාසු කරගෙන කැවිලි පෙවිලි හදනවා. එයාගෙ අතින්මයි හැමදේම කරන්නේ. රිද්මා කියන්නේ ඒ දේවල් හරියටම කරන කෙනෙක්. අපි නැකැත් වෙලාවල් හරියටම බලලා ඒ චාරිත්‍ර ඉටුකරනවා. සිංහල අලුත් අවුරුද්ද සැමරුවා කියන හැඟීම එන්නේ එතකොට.
 

සචින්ටයි මටයි විශේෂයි -  දුෂේනි


මෙවර සිංහල අලුත් අවුරුද්ද මට ගොඩක් විශේෂයි. මොකද මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මේ සිංහල අලුත් අවුරුද්ද කිව්වොත් හරි. පසුගියදා සුමති, රයිගම් සම්මානවලදී ජනප්‍රියම නිළිය.. සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් ඒක මට ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මගේ ජීවිතය ඉදිරියට තිබුණ ලොකු දෙයක් හෙළි කළා. සචිත්ගෙයි මගෙයි ආදර කතාව. මේ සිංහල අලුත් අවුරුද්දේ එයාගේ ආදරෙයි මගේ ජයග්‍රහණයි එක්ක මං ලොකු සතුටකින් ඉන්නේ. කවදත් අපේ ගෙදර අය සිංහල අලුත් අවුරුද්ද චාරිත්‍ර කරලා අවුරුදු සැමරුවා. මේ අවුරුද්දේ මේ සතුටත් එක්ක වෙනදටත් වඩා මහ ඉහළින්ම අවුරුදු සමරන්න පුළුවන්. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලාංකික අපිට තියන එකම සංස්කෘතික මංගල්‍යය. ඉතින් ගමේ නගරේ කියලා වෙනසක් නැහැ. හැමෝම සිංහල අලුත් අවුරුද්ද සමරන්න මග බලාගෙන ඉන්නේ.
 

මෙදා සැරේ අපට අවුරුදු සාරයි - චිලී තිලංක
 

මෙදා සැරේ අවුරුද්ද තමයි හරිම අවුරුද්ද කියලා දැනෙන්නේ. මොකද බබාලා දෙන්නයි බිරියයි එක්ක හරිම සතුටින් මෙවර අවුරුදු සමරන්න බලාගෙනයි ඉන්නේ.

ලොකු බබා රිතිල් ලියෝන්.. පොඩි එක්කෙනා ලිවේනා ජෝජියානා. දරුවොත් එක්ක අවුරුදු සමරන එක තරම් තවත් සතුටක් තියෙනව ද. හැබැයි මේ අවුරුදු දවස්වලත් කොළඹින් පිට කලා කටයුතුවල වැඩ කිහිපයක් වැටිලා තියෙනවා. හැබැයි ඒවත් පුළු පුළුවන් විදිහට කරගෙන අවුරුදු චාරිත්‍ර ටිකත් කරගෙන ලස්සනට මේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

ගොඩක් වෙලාවට සිංහල අලුත් අවුරුද්දට මෙදා සැරේ නෑදෑයොත් ගොඩ දෙනෙක් අපේ ගෙදර එකතු වේවී. අපි අපේ සංස්කෘතික උරුමයන් රැකගන අපේ අනාගත පරම්පරාවට මේ සොඳුරු අවුරුදු චාරිත්‍ර - වාරිත්‍ර දායාද කළ යුතුයි.