රිදී තිරයට පායන නවක තරු දෙකක්

නොවැම්බර් 13, 2019

 

නව පරපුරේ කලා කෙතට පිය නඟන්නට බලාපොරොත්තු වන නවක කලා ශිල්පිනියන් දෙදෙනෙක් පසුගිය දා අපට හමුවුණා. ඒ ළඟදීම තිරගත වීමට නියමිත ලාල් දේවරත්නගේ ‘හරීම ෂෝක්’ සිනමාපටයට රංගනයෙන් දායක වන කෞශල්‍යා චන්ද්‍රතිලක සහ කුසුම් පි‍්‍රයංකා ශ්‍රීමාලී ය.

 

චිත්‍රපට සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක ලාල් දේවරත්නගේ විකසිත සිනමා පාසලෙන් කලාවට පිවිසි ඔවුහු ගායනයෙන්, නර්තනයෙන් සහ රංගනයෙන් එක සේ දස්කම්පාති.

ගලේවෙල පට්ටිපොල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විකසිත සිනමා පාසලට සම්බන්ධ වූ කෞශල්‍යා වේදිකා නාට්‍ය සඳහා පසුබිම් ගායිකාවක ලෙස ද දායක වන්නීය. ඇය විකසිත සිනමා පාසලේ නර්තන උපදේශිකාවක ලෙස ද කටයුතු කරයි. රාවණා, සුදු අඟුරු, සිකුරු ලන්තය වැනි ටෙලි නිර්මාණ රාශියකට රංගනනේ දායක වූ ඇගේ නවතම ගීත දෙකක් ද ඔබට ඉදිරියේ දී රසවිඳීමට හැකි වේවි. බුදුදහම සහ සොබාදහම තේමා වූ එම ගීත දෙකෙහි පද රචනය ලාල් දේවරත්නගෙනි. ටියුලින් ජයරත්නයන් මෙහි සංගීතය අධ්‍යක්ෂණය කර තිබේ. නුදුරේ දීම තිරගත වීමට නියමිත ‘හරීම ෂෝක්’ සිනමා පටයේ ‘පිංකිගේ’ චරිතයට පණ පොවන්නේ ද ඇයයි. කලාවෙන් දිගු ගමනක් යෑමට ඇය බලාපොරොත්තුවෙන් සිටියි. බලංගොඩ ශ්‍රී නාරද මධ්‍ය සහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කුසුම් පි‍්‍රයංකා ද එවැනිම දක්ෂතා පිරි කලාකාරිනියකි. අහිමි, පාලි, සිකුරු ලන්තය, සුදු අඟුරු, රාවණා වැනි ටෙලි නාට්‍ය රැසකත්, සුදු කඩතුරා චිත්‍රපටය ද ඇය රංගනයෙන් දායක වී ඇත.

‘හරීම ෂෝක්’ චිත්‍රපටයේ ‘ටීනාගේ’ චරිතයට පණ පොවන්නේ ඇයයි. බටහිර නර්තන ගුරුවරියක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙසත් කලාව තුළ රැඳී සිටීම ඇගේ බලාපොරොත්තුවයි.