මම රඟපාන්න යනවාට තාත්තා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ

ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනා සුදර්ශනී
සැප්තැම්බර් 23, 2020

හැමවිටම හැමෝටම හැමතැනකදීම හැමදේම ලැබෙන්නේ නැත .දෛවය අපට ලබාදෙන දේ සේම අපට නොදී ඉතිරිකර ගන්නා දේ ද බොහෝය. එය නියතයකි. අප ඒ නියතයට හිස නැමිය යුතුය. ගයනා සුදර්ශනී ඉලේපෙරුම නම් වූ ඇය මෙතෙක් රඟපා ඇති චරිත තුළින් අපේ කාන්තාවන්ට කියාදුන් අරුත එයයි.

බොහෝ හරබර චරිත රඟපාමින් නිළියකගෙන් සමාජයට විය යුතු මෙහෙවර ඉටුකළ රංගන ශිල්පිනියක වන ගයනා සුදර්ශනීගේ ජීවිතයේ අරුත්බර මතකයන් අද 'මතක මංපෙත' ඔස්සේ මෙසේ සටහන් වනවා.

ගයනා ඔබේ ජීවිතයට සමීපතමයන්ගේ තොරතුරු අපට පවසන්න

මගේ තාත්තා අයි. ඒ. ජයවර්ධන. තාත්තගෙ ගම බණඩාරගම. මීට අවුරුදු එකහමාරකට පෙර තාත්තා අප අතරින් වියෝ වුණා. ඔහු සාමවිනිසුරුවරයෙක් හා සමාජ සේවකයෙක්. අම්මා පී. පී. ජයතුංග. ඇය විශ්‍රාමික විදුහල්පතිවරියක්. මගේ අය්යා චන්දිම ඉලේපෙරුම. අය්යා අමෙරිකාවෙ ඉඳල ඇවිත් දැන් ලංකාවේ ව්‍යාපාරයක් කරනවා. මල්ලි රසික ඉලේපෙරුම එයා ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්නෙ. නංගි සුජීවා ඉලේපෙරුම. ඇය රැකියාව කරන්නේ මුදල් අමාත්‍යංශයේ. මගේ මහ ගෙදර තියෙන්නෙ පන්නිපිටියෙ දෙපානම. දැන් මම විවාහ වෙලා මගේ සැමියා එක්ක පදිංචිවෙලා ඉන්නෙ පොල්ගස්ඕවිට.

ඔබේ ළමාවිය කලාව හා ආදරය සමඟ ද ගෙවෙන්නෙ

පොඩිකාලෙ මමයි අයියයි හරිම දඟයි කියල අපේ අම්ම කියනවා. අපි පොඩිකාලෙ හිටිය දෙපානම පන්නිපිටිය වටේටම කැලෑව. රෑට නරි හූ කියනව ඇහෙනව. මායි අය්යයි ඔය කැලෑ පීර පීරා දුව පනිනව. අහල පහළ වතු වලට පනිනව. වෙල්වල සරුංගල් යවනවා. දඟවැඩ කරල තාත්තගෙන් ගුටි කනව. මගේ ළමාවිය ගතවුණේ ඔය විදිහටයි. මම හැර අපේ පවුලෙ කව්රුත් කලාවට ඇවිත් නැහැ. පාසල් වියේදි නම් මමත් කිසිම කලා කටයුත්තකට සහභාගි වෙලා නැහැ. මගේ පාසල කොට්ටාව ධර්මපාල විද්‍යාලය. ඉස්කෝලෙදි මම ක්‍රීඩාම තමයි කළේ. පාසල් නෙට්බෝල්, වොලිබෝල්, එල්ලේ ටීම් වල මම කැපී පෙනෙන ක්‍රීඩිකාවක්. සමස්ථ ලංකා තරගයක් ළං වෙද්දි අපි හතරවැනි පීරියඩ් එක වෙනකන් පන්තියේ ඉන්නෙම නැහැ. පුහුණුවීම් වලට කියල පිට්ටනියෙමයි ඉන්නෙ. ඉංග්‍රීසි වගේ විෂයක් තියෙනව නම් ඒ පීරියඩ් කට් කරනවා. මට තිබුණෙ හරිම පිස්සු යොවුන් වියක්. 10 පන්තියේදී මම හරිම ආසයි විජය කුමාරතුංගට. මාලනී, විජය, බන්දුල වර්ණපුර වැනි අයගෙ පින්තුරක් පත්තරේක දැක්කොත් කපල පොත් අස්සෙ දා ගන්නව. අම්මාට ඕන වෙලා තිබුණේ මාව ගුරුවරියක් කරන්න. පාසල් ගිහින් අවසන් වෙනවත් එක්ක මං තරුණ සේවා සභාවට බැඳිල නැටුම් ඉගෙන ගත්තා. ඊට පස්සෙ තරුණ සේවා සභා නර්ථන කණ්ඩායමේ සාමාජිකාවක් වුණා. නැටුම් ගුරුවරියක් වෙන්න හීන් ආසාවක් ඒ වෙද්දි මගේ හිතෙත් තිබුණා.

ඔය අතරෙ ඒකාලෙ හරිම ජනප්‍රිය වෙලා තිබුණ අභිරූපණ රංගනයට මගේ හිත ගිහින් තිබුණා. විමල් කුමාර ද කොස්තා වික්‍රම සෙනෙවිරත්න ටී වී එකේ අභිරුපණ රංගන ඉදිරිපත් කරනව දැකලා මට හරි ආසාවක් ඇතිවුණා මේක ඉගෙන ගන්න. ඒ ආසාව නිසා මම දවසක් අම්මත් එක්ක කොට්ටාව 'රූපණ' රංගන කලායතනයට ගිහින් එතැන පාඨමාලා මෙහෙයවපු ජයන්ත රණවක හමුවෙලා කලායතනයට බැඳුණා. ඔය කාලෙම කලායතනයෙ ඉගෙනගන්න ශිෂ්‍යාවන් යොදවල ජයන්ත රණවක 'ව්‍යාග්‍ර' කියල වේදිකා නාට්‍යයක් කළා. මේකෙ මම මායාවතී කියන අවුරුදු 65 විතර කාන්තාවකගෙ චරිතයක් රඟපෑවා. මට අද වගේ මතකයි ඒ නාට්‍ය ලුම්බිණි රඟහලේ තමයි වේදිකාගත කළේ. එතැනින් තමයි මම කලාවට ආවේ.

මේ ගමන එන්න අම්මා තාත්තගෙන් ලැබුණ උදව් කොතරම්ද

තාත්ත නම් පොඩ්ඩක්වත් කැමැති වුණෙ නැහැ මම රඟපාන්න යනවට. ඒත් ඔය අතරෙ උතුරු සළුව, අග්නි, ඉසුරු දූත පුර, ස්ත්‍රී සහ වෛරා වගේ නාට්‍ය හතක විතර පිට පිට මට ප්‍රධාන චරිත ලැබුණා. තාත්තා අකැමැති වුණාට අම්මා ගොඩක් කලාවට කැමැතියි. අම්මා මාව වේදිකා නාට්‍ය හා චිත්‍රපට බලන්න එක්ක යනව මට අද වගේ මතකයි.

 

 

ඡායා -  ටෙනිසන් එදිරිසිංහ

2020/09/23 තරුණි පුවත්පත බලන්න.