වචන තියුණු මුවහතක් ඇති නැවුම් දැලිපිහියක් වගෙයි

අගෝස්තු 22, 2022

 

ඔබේ මුවින් පිටවන 'වචන' ධනාත්මක විය යුතුයි පියකරු විය යුතුයි

යහපත උදෙසා විය යුතුයි

වචන භාවිත කරන විට අප ප්‍රවේසම් විය යුතුය

 

ඕනෑම තත්ත්වයක් යටතේ වචන පිටවන ප්‍රධාන සහ එකම ද්වාරය නම් අපගේ මුඛයයි. ඕනෑම අවස්ථාවක ඕනෑම මොහොතක එහි පවතින තත්ත්වය සෘණාත්මකව හෝ ධනාත්මකව ක්ෂණිකව වෙනස් කරන්නට වචන නම් වූ අද්විතීය මැජික්කාරයාට හැකියි.

 

බලගතු ශක්තියක්

වචන තුළ ගැබ් වී ඇත්තේ මහා බලගතු ශක්තියක් ය. එම ශක්තිය අන් අය වෙනුවෙන් හෝ තමාගේම යහපත වෙනුවෙන් මෙන්ම අයහපත වෙනුවෙන් ද භාවිත කළ හැකියි. වචනය තමාගේ හෝ අන් අයගේ අයහපත වෙනුවෙන් යොදවන්නේ නම් එය ගෙලට ළං කළත් රුහිරු බිඳිති ගලා යන්නා වූ තියුණු මුවහතක් ඇති නැවුම් දැලිපිහියක් වැනිය. වචන සමඟ ගනුදෙනු කළ යුත්තේ ඉතාමත් සීරුවෙන් ය. ශබ්දය හරහා සංක්‍රමණය වන වචනය ලොව ඇති ප්‍රබලතම නො පෙනෙන අවිය ලෙස ද හඳුන්වන්නට හැකියි. ශබ්දය හරහා ඩෙසිබල් අගයන් පිරිවරා මුවින් පිටවන දහස් ගණනක් වචන අතරින් තව කෙනකුගේ ප්‍රාණය සදහටම සිඳලන්නට එක් වචනයකට වුවද හැකියි. අනෙකාගේ වචනය කොතරම් ප්‍රබල ද යන්න නියත මරණයට අමතරව ඕනෑම ක්‍රියාශීලී පුද්ගලයකු හුස්ම වැටෙන මළකඳක් කිරීමට පවා හැකිය.

 

සුව කළ නො හැකි කැළලක්

සමාජය තුළ සිටින කවුරුන් හෝ අන් අයගේ අයහපත පිණිස වචන භාවිත කරන්නේ නම් එහි අවසානය ඛේදාන්තයක් වීමට ඇති අවකාශය බොහෝය. වචනයකින් සිත් සුවපත් වන ධනාත්මක පසුබිමෙන් ලැබෙන සැනසීම මෙන්ම වචනයෙන් දමා ගසා සිත් ඉහිරුවාලමින් ඇතිකරන්නා වූ සෘණාත්මක පසුබිම ද බොහෝ භයංකාරය. මන්ද වානේවලින් පන්නරය ලැබ ගනිමින් මුවහත් කරන ලද දැලි පිහියකින් කෙනකුගේ හදවත පසාරු කරගෙන යන්නට අනින පිහි පාරකට වඩා දහස් ගුණයක වේදනාවක් වචනය නම් වූ මුවහත් දැලිපිහියෙන් හදවත ගැඹුරට කිඳා බස්සවන පහරකින් විඳින්නට මෙන්ම විඳවන්නට ද හැකිය. රුහිරු වගුරවමින් ගතට එල්ල කරන්නා වූ දැලි පිහි පහරින් ඇතිවන කැළල කෙසේ හෝ වෛද්‍ය ප්‍රතිකර්මවලින් සුව කරගන්නට හැකි වුවද වචන නම් වූ දැලිපිහියෙන් සිතට එල්ල කරන්නා වූ , හදවත ගැඹුරේ ඇති කරන්නා වූ කැළල කිසිදාක සුව කිරීමට නො හැකි තරම්‍ ය.

 

රිදවිය හැකි සරලම අවිය

ගතට රිදුමන් නො දෙන නමුත් ජීවිත කාලයක් පුරා ඉකි ගසමින් පැසව පැසවා වේදනා විඳින්නට අවස්ථාව උදා කරන්නට වචන වලට හැකිය. යමකු ලෙහෙසියෙන් රිදවන්නට හැකි ප්‍රබලම හා සරලම අවිය ද වචන ලෙස හැඳින්විය හැකිය. ගව් ගණනක් දුරින් සිටින අයකුට වුවද වචනයකින් දමා ගසා තවකකුගේ හිත් බිඳින්නට වචනවලට හැකිය.

සමාජයේ ඇති ඕනෑම ධනාත්මක අවස්ථාවන් ක්ෂණිකව කඩා බිඳ දමමින් සෘණාත්මක කරන්නට වචන බොහෝ දක්ෂය. වර්තමානය වන විට බොහෝ මිනිසුන් හුරුව ඇත්තේ වචනයෙන් අනෙකාව තලා පෙළා දමන්නටය. අනෙකා කෙරෙහි ඇතිවෙන්නා වූ ඊර්ෂ්‍යාව නම් මරා දැමිය නො හැකි හැඟීම් මාරයාගේ අණසකට යටත්ව ප්‍රතිවාදියාගේ හිත වෙත වචනයෙන් දමා ගසන්නටය. අවි ආයුධවලින් සටන් කළ නො හැකි විට වචන නම් වූ උණ්ඩයෙන් අනෙකාගේ මනස පසාරු කරගෙන යන්නට වචන වෙඩිල්ලක් තියන්නටය. සාමකාමීත්වය අගයන මොහොතක වචනවලින් එකෙනෙකා අතර ඝට්ටනයන් ඇති කර ඔවුන්ගේ ජීවිත යුද පිටියක් කරන්නටය. රැකියා ස්ථානයක් නම් වචන එක්කර සෑදූ කේලම් බෑගය ආයතන ප්‍රධානියාගේ දෝතෙහි තබා තනතුරු තානාන්තර ගන්නටය. අන් අයට වඩා ඉහළින් වැජඹෙන්නටය.

 

ප්‍රතිරූපයට....

එහෙයින් කෙනකුගේ ප්‍රතිරූපය යහපත් හෝ අයහපත් අයුරින් වෙනස් කරන්නට, සාමකාමී පවුල් කඩා ඉහිරවා දමන්නට, ආදරණීය කුල ගෙයක් උසාවියක නඩු තීන්දුවක් දක්වා ගෙන යන්නට, උපහාස පමුණුවන්නට, අපහාස ගෙන එන්නට, දරුණු මානසික රෝගවලට ගොදුරු කර ගන්නට පමණක් නොව ඕනෑම අයකුට සිය දිවි නසා ගැනීමට පෙළඹවීමට පවා වචන සතුව ප්‍රබල හැකියාවක් පවතී. වචනයක ප්‍රබලත්වය කොතරම් ද කිවහොත් එක් වචනයකට හෝ වචන කිහිපයක් එකතු කර තනන ලද වාක්‍යයකට නිර්දෝෂී පුද්ගලයකු වරදකරුවකු කරන්නටත්, වරදකරුවකු නිර්දෝෂී පුද්ගලයකු කරන්නටත් ක්ෂණිකයෙන් ලද එක් තත්පර කිහිපයක අවස්ථාවකට වුවද හැකිය.

 

සිත නිවන ඔසුවක්

වචනයක සෘණාත්මක පසුබිම විශාල වේදනාවන් ගෙන දෙනවා මෙන්ම වචනයක සැඟව ඇති ධනාත්මක පසුබිම ද සිත නිවන ඔසුවක්ම වන්නේය. වචනයක් මෘදු වන්නේ නම් වචනයක ස්වරය ළයාන්විත වන්නේ නම් එහි ගැබ්ව ඇත්තේ කෙනකුගේ යහපත උදෙසාම සැකසුණු පසුබිමක් විය හැකිය. වචන ධනාත්මක විය යුතුය. වචන පියකරු විය යුතුය. තව කෙනකුගේ යහපත උදෙසා අප මුවින් පිටවෙන්නා වූ වචන අනෙකාට ධනාත්මක උත්තේජනයක් ලබා ගැනීමට හේතු විය යුතුය.

 

ධනාත්මක මැජික්කාරයෙක්

වචනවල ධනාත්මක පසුබිම ගත් කල ප්‍රශ්නවලට මැදි වී සිටින ප්‍රශ්නවලින් මිරිකී සිටින පුද්ගලයකුගේ හිත සැහැල්ලු කිරීමට සැනසීම පිරුණු වචනවලට හැකිය. ජීවිතය එපා වී සිටින කෙනකුට යළි යථා තත්ත්වයට පත්වෙන්නට උදව් කරන්නට කාරුණික වචනවලට හැකිය. මරණාසන්න පුද්ගලයකුගේ එලොව ජීවිතය යහපත් කරන්නට මෙන්ම අයහපත් කරන්නට ද වචනවලට හැකිය. අවුල් වියවුල්වලින් පිරි මනස නිරවුල් කරන්නට ද වචනවලට හැකිය. සියදිවි නසාගන්නට පෙරමං බලා සිටින්නකුගේ ඉලක්කය වෙනස් කරන්නට ද වචන නම් වූ ධනාත්මක මැජික්කාරයාට හැකියි.

 

ආදරය ද වෙන්වීම ද

ආදරය හා වචන ගත් කල එහි ඇතිවෙන්නා වූ සිදුවීම් රාමුව සමඟ වචන දක්වන්නේ ඉතා සමීප සබඳතාවක් ය. තම සෙනෙහෙවන්තයාට දැනෙන්නට ආදරය කරන්නට වචනවලට හැකිය. එමෙන්ම සෙනෙහෙවන්තයා මරා දමන්නට ද මැරි මැරී ජීවත් කරවන්නට ද වච‍නවලට හැකිය. එසේම ගලා යන්නා වූ ආදරය බොළඳ රාමුවකට කොටු කරන්නට ද තද බවින් පිරි රළු රාමුවකට කොටු කරන්නට ද වචනවලට හැකිය. අවසානයේ ආදරය සමුගැනීමක් වෙන්වීමක් බවට පෙරලන්නට ද ආදරය විවාහයකින් මල් පල දරන්නට අවස්තාව සලසන්නට ද වචනයකට හැකිය.

 

පණ නල සුරකියි

විවිධ වූ රෝගයන් ආරෝපණය වී ප්‍රතිකාර ලබන්නා වූ රෝගීන් වෙනුවෙන් සුව සදන්නා වූ රෝහලක් ක්ෂණිකයෙන් දිය හැකි හිත් නිවන ඔසුව ද වචනයයි. මුදු ස්වරයෙන් පිටවෙන්නා වූ, ධනාත්මක උත්තේජනයක් ලබා දෙන්නා වූ කාරුණික වචනයක ශක්තිය බොහෝ ප්‍රබලය. ඒ බව ඔබටත් දිනෙක තත්පරයකට හෝ දැනී ඇති බවට සාක්ෂි දරන්නට අන් කිසිවෙක්ට නොව ඔබේ හෘදසාක්ෂියටම හැකි බව නම් නොරහසකි.

 

පරිසරය වෙනස් කරයි

එහෙයින් වචන ද අතීත ජාතක කතාවක එන සුළඟකට හසුව ගසාගෙන ගොස් සොරුන් කණ්ඩායමක් ළඟ වැටී ජීවත් වූ සහ තාපසයෙක් ළඟට වැටී ජීවත් වූ එකම මවගේ ගිරා සොහොයුරන් සේය. ඔවුන් උප්පත්තිය ලැබුවේ එකම මවකගෙන් වුවත් හැදී වැඩුණු පරිසරයත් සමඟ ගිරා සොහොයුරන් දෙදෙනාගේ හැසිරීම එකිනෙකාට හාත්පසින්ම විය. වචන ද එසේමය. එකම ද්වාරයකින් පිට වුවද වචන පිට කරන පුද්ගලයා, පිට කරන ස්වරූපය විලාසය, අවස්ථාව වැනි කරුණු අනුව එහි ඇති තත්වය ඕනෑම අයුරකින් වෙනස් කරන්නට හැකිය. එහෙයින් වචන නම් වූ අද්විතීය ඔසුව සහ මාරාන්තික විස කටුව සැදී ඇත්තේ සංඝටක රාශියක එකතුවකින් බව කියන්නට හැකිය.

 

ආදරය, කරුණාව, දයාව, ඉවසීම, පරිත්‍යාගය, සැනසීම, ධෛර්යය, පරාර්ථකාමීත්වය වැනි යහපත් සංඝටකයන් පිරි වචන වචනයේ පරිසමාප්ත අ‍ර්ථයෙන්ම ඕනෑම අයකුට ඕනෑම අවස්ථාවක අද්වීතීය ඔසුවක් වනවා නො අනුමානය. එමෙන්ම තරහව, වෛරය, අකාරුණිකත්වය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, නො ඉවසීම, බොරුව, වංචාව, කපටිකම, ආත්මාර්ථකාමීත්වය ආදී සංඝටකවලින් සැඳුම්ලත් වචන ඕනෑම අවස්ථාවක ඕනෑම අයකුට අමිහිරිම වේදනාවක් ගෙන දෙන මාරාන්තික විසකටුවක් වනවාට ද සැකයක් නොමැත.

 

පුද්ගලයකුගේ ජීවිතය යහපත් අයුරින් සාර්ථක ගමනක් කරා ගෙන යන්නට ද අයහපත් අයුරින් විනාශය කරා ගෙන යන්නට ද පවතින ඕනෑම තත්ත්වයක් යටතේ ඉතා සුළු කාලයක් ඇතුළත වචනවලට හැකියාව පවතින බව අප තරයේ මතක තබාගෙන සිහිණුවනින් කටයුතු කළ යුතුමය.

 

ධනාත්මක ද? ඍණාත්මක ද?

මෙයට හොඳම උදාහරණය නම් අංගුලිමාලය. අහිංසක නම් වූ ශිෂ්‍යයා තක්සලාවේ අධ්‍යාපනය අවසන් කළ කල්හි ඔහුගේ දක්ෂකම කෙරෙහි පැහැදීම වෙනුවට ඊර්ෂ්‍යාව නම් වූ මරා දැමිය නො හැකි හැඟීම් මාරයා ගුරුවරයාගේ සිතිවිලිවලට ආරෝපණය වී වචන භාවිත කරමින් ගුරුවරයා තම ශිෂ්‍යයාගෙන් කළ ඉල්ලීම ගුරු ගෞරවය නිසාම ඉටු කරන්නට ගොස් යහපත් ක්‍රියාවෙන් දිවි ගෙවන්නට හැකියාව තිබූ අහිංසක නම් වූ ශිෂ්‍යයාට අංගුලිමාල නම් වූ දරුණු චරිතයකට පරිවර්තනය වෙන්නට සිදු විය. අවසානයේ තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ කාරුණිකත්වය හමුවේ අංගුලිමාල නම් වූ දරුණු පුද්ගලයා නිවනින් නිවී ගිය උත්තරීතර චරිතයක් කරන්නට ද හැකිවිය. එහෙයින් වචනයක ධනාත්මක හා සෘණාත්මක යන දෙයාකාරයේම ප්‍රබලත්වය එකම සිදුවීමක් ඔස්සේ කියාපාන්නට මෙය ගත හැකි අපූරුතම නිදසුනයි.

 

එනිසා වචන භාවිත කරන විට අප ප්‍රවේසම් විය යුතුය. අපගේ මුඛ ද්වාරයෙන් දමා ගසන්නා වූ වචන තව කෙනකුගේ හදවත පසාරු කරගෙන නොයා යුතුය. අනෙකාව මානසික පීඩනයට ලක් නො කළ යුතුය. අනෙකාව අපහසුතාවට පත් නො කළ යුතුය. අනෙකාගේ සිතිවිලි මරා නො දැමිය යුතුය. මන්ද වචන හේතුවෙන් පෑරෙන්නා වූ සිතට, සිදුවෙන්නා වූ ව්‍යසනයන්ට පැලැස්තර දැමීම හා ඔසු ගැල්වීම 'ගඟට ඉනි කපනවා' වැනි ක්‍රියාවක් නිසාය. එහෙයින් අපි අපේ වචන අපගේ මෙන්ම අන් අයගේ ද යහපත වෙනුවෙන් පමණක්ම හසුරවා ගන්නට උත්සාහ කරමු.