වැලන්ටයින් සුබ පැතුමක් මෙහෙම හදමු

පෙබරවාරි 3, 2021

ආදරණීය සුපෙම්වතුන්ගේ සුවිශේෂී දිනය, වැලන්ටයින් තවත් නොබෝ දිනකින්ම උදාවෙනවා. වෙනදා ඒ වෙනුවෙන් විශේෂ වූ උත්සව පැවැත්වුවත් කෝවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙවර එය උත්සවාකාරයෙන් පවත්වන්නට නොහැකි වෙනවා.

නමුත් ඔබට ඔහු වෙනුවෙන් අලංකාර ලෙස නිර්මාණය කළ කාඩ්පතකින් සුබ පතන්නට පුළුවන්.

එම කාඩ්පත ඔබේ අතින්ම නිර්මාණය කළ හැකිනම් එහි වටිනාකම තවත් ඉහළයි. බලන්න, පුංචි පුංචි දේවල් ටිකක් එකතුකර මේ වගේ ලස්සන කාඩ්පතක් ඔබටත් නිර්මාණය කරන්නට පුළුවන් නේද කියා.

අවශ්‍ය ද්‍රව්‍ය:

ගැළපෙන වර්ණවලින් ඒ4 බෝඩ්

ඒ4 කොළ

තෑගි ඔතන කඩදාසි (රැපිං පේපර්)

පබළු, කෝඩ් නූල්

ඩයිකට්ස්

 

නිර්මාණය කිරීම:

මෙහි ඇති කාඩ්පත් සියල්ලම නිර්මාණය කරගැනීමට වැඩි කාලයක් ගත නොවන අතර ඉතාමත් පහසුවෙන්ම නිර්මාණය කරගැනීමට ද පුළුවනි.

හදවත් හැඩය ඩයිකට්ස්වලින් කපා ඇති කාඩ් එක නිර්මාණය කරගැනීම සඳහා පළමුව කාඩ් කොටස ගෙන දෙකට නමා ගන්න. පසුව එහි මැදින් ඩයිකට්ස්වලින් කැපූ හදවතක් අලවන්න. එයට උඩින් ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ටූත්පික් එකක් අලවා මැදින් ගෝල්ඩ් පැහැයෙන් කැපූ හදවතක් අලවන්න. එහි දෙපසට ඊතලයක ආකාරයට ඒ4 කොළ මඟින් කපා අලවන්න. කාඩ් එකෙහි යටට රැපිං පේපර් කොටසක් කපා අලවා උඩට ප්‍රින්ට් කරන ලද සුබපැතුම සහිත කොළයක් කපා අලවන්න. එහි දෙපසට කළු පබළු දෙකක් අලවන්න. කෝඩ් නූලෙන් ගැටගසා ඇති සුපැතුම් පත නිර්මාණය කර ගැනීම සඳහා කාඩ්පත කපාගත යුත්තේ දෙපසින් මසාගත හැකි ආකාරයටය. එහිදී එක් පසෙකින් සම්පූර්ණ කාඩ් එකෙහි පළලින් අඟල් 1½ක් පමණ ඇතුළට වන්නට කපන්න. අනෙක් කොටස හරිමැදින් දෙකට කපන්න. ඉන්පසු පළලින් වැඩි කොටස මත රැපිං පේපර් කොටසක් අලවන්න. එහි උඩින් ඡායාරූපයේ දැක්වෙන පරිදි සමාන ප්‍රමාණයකින් කොටු හතරක් කපා ඒ මත ප්‍රින්ට් කරගත් අකුරු අලවන්න. එහිදී රැපිං පේපර් එක මත කොටස් දෙකකුත් අනෙක් කොටස මත තවත් කොටස් දෙකකුත් සිටින සේ අලවාගත යුතුය.

කාඩ් එකෙහි යට කොටසට ක්‍රීම් වර්ණයෙන් කපා ගත් ලොකු හදවත් හැඩයක් කපා අලවන්න. එය අලවාගත යුත්තේ කාඩ් එකෙහි දකුණු පස කොටසකටය. හදවත් හැඩයේ ද දකුණු පස කොටසට ගම් ගා අලවන්න. එහි මැදට ටූත්පික් එකක් අලවා ඉහත කාඩ් එකෙහි අලවා ගත් ආකාරයට ඊතලයක් අලවන්න. කාඩ් එක විවරවීම වැළැක්වීමට රතු පැහැති කෝඩ් නූලක් ගැට ගසන්න. ඒ ආකාරයට අනෙක් කාඩ් එක ද නිර්මාණය කරගත හැකියි.

 

උපදෙස් - අත්කම් නිර්මාණ ශිල්පිනී

හර්ෂණී රණසිංහ