සැහැල්ලු ගමන බිමනට

මාර්තු 31, 2025

 

යෙහෙළියන් සමඟ විනෝද ගමන් යන ඔබට සරල ගවුම් විලාසිතාවකි මේ. ඔබේ සමේ වර්ණයට සරිලන පැහැයකින් රෙදි කොටසක් ගන්න. ඉතාම කෙටි කාලයකදී මෙවැනි ගවුමක් මසා ගත හැකියි. තමන්ගේ දෑතින් මසාගෙන අඳිනා ඇඳුමෙහි වටිනාකම ද වැඩියි. එසේ නම් ඔබත් මේ සඳහා උනන්දු වන්න. මෙන්න අවස්ථාව.

 

ඉදිරිපස පළුව

 

මූලික ඉදිරි පළුව පිටපත් කර AB ලෙසත් උරහිස BC ලෙසත් අත්කට D ලෙසත් නම් කරගන්න. තවද ඉණ EF ලෙස නම් කරන්න. E සිට උකුළ උස ගෙන G ද G සිට තිරස් අතට උකුළ පළලට උකුලට දෙකෙන් එන පිළිතුර G සිට තිරස් අතර ගෙන H යොදන්න. නැවත E සිට පහළට සාය උසගෙන I ද I සිට තිරස් අතට උකුළ පලළට අඟල් 4 හෝ 5 අවශ්‍ය බුරුල ගෙන J යොදන්න. D සිට පහළ අඟල් 1 ගෙන නැවත පිටතට 1 ගෙන D යොදා අලුත් කිහිලිකට සහ JD යා කර පැත්තේ මැස්ම ඇඳගන්න.

 

A සිට අඟල් 1/2ක් පහතට ගෙන A1 යොදා BA1 හැඩකර ගවුමේ කර ඇඳගන්න. AI ඉදිරි මැද ඉරේ සිට 3/4 පිටතට ගෙන M ද එම රේඛාව ඉදිරිමැද රේඛාවට සමාන්තරව ඇඳ ගන්න. නැවත එම ඉරේ සිට අඟල් 1 1/2 පිටතට ගෙන N යොදා එය ද Mට රේඛාවට සමාන්තරව ඇඳගන්න. එය ඉදිරිපස විවරය සඳහා වේ.

 

I J සිට අවශ්‍ය ෆ්‍රිල් උසගෙන KL යොදන්න. මෙම ගවුමට අඟල් 8 පමණ ගෙන ඇත. රූපයේ පෙනෙන ආකාරයට බෙදා කොටස් යාකර ගන්න. එම කොටස කපා වෙන්කර තීරු කොටස් කර අවශ්‍ය පරිදි ඈත්කර අලවා වෙන කොළයකට ගන්න. අඟල් 1 හෝ අඟල් 1 1 /2 හොඳටම සෑහේ. උඩ කොටස වෙනම කපාගන්න.

 

 

පිටපළුව

 

මූලික පිටපළුව පිටපත්කර ඉදිරිපස ආකාරයටම පිටපළුවේ මිමි භාවිත කර ඇඳගන්න. A සිට පහළට යෝක් උස අඟල් 3 1/2 ගෙන M යොදා තිරස් අතට කිහිලි කට කැපෙන තැනට තෙක් ඇඳගන්න. යෝක් කොටස වෙනම කපාගන්න. ෆ්‍රිල් කොටසත් වෙනම කපාගන්න. කඳේ මැද කොටසේ A සිට පිටතට අඟල් 1 1/2ක් හෝ 2 ගෙන K සිටත් එම ප්‍රමාණය ගෙන පිට මැදට සමාන්තරව රේඛාවක් ඇඳගන්න.

 

පිට මැද යෝක් කොටසේ AM නැම්මට තබා කපාගන්න. MK කොටස රෙද්දේ නැම්මට තබා කපාගන්න. ෆ්‍රිල් කොටසේ KI ද නැම්මට තබා කොටස් 3ම කපාගන්න.

 

කොළරය

 

ඉදිරිපළුවේ ගවුමේ ඇදගත් කර සහ පිටපත් කරගත් මැන ගන්න. එම දිගට සහ අඟල් 1 උසට ගෙන කොටුවක් ඇඳ ගන්න. ABCD අැඳගන්න. B සිට ඇතුළට 3/4 ගෙන B1 යොදා ඉහළට අඟල් 1/4 පහත්කර B2 යොදා එය රූපයේ පෙනෙන අාකාරයට B1 වෙත ඇඳගන්න.

 

කොලර් එක වෙන් නොකර හෝ වෙන්කර ගනිමින් හෝ කපා මසාගත හැකියි.

 

අත

 

මූලික අත පිටපත් කරගන්න. අත මුුදුන A සිට පහළට ගෙන B යොදා අවශ්‍ය වට ප්‍රමාණය ගෙන B සිට දෙපසට ගන්න. Aසිට දෙපැත්තට ගවුමේ අත්කට කොටස් දෙක එකතුකර දෙකෙන් බෙදා A සිට දෙපසට ගෙන CDද අතවට බෙදා ගන්න. පිළිතුර EFයොදා රූපයේ පෙනෙන ආකාරය ඇඳගන්න. අවශ්‍ය ෆ්‍රිල් උස B ඉහළ ගෙන අඟල් 2 පමණ සැහේ. රූපයේ ඇඳ ඇති ආකාරයට ගෙන කොටස් කර ඉහළ කොටසත් Fකොටසත් වෙන්කර ගන්න. ෆ්‍රිල් කොටස කොටස් කර අඟලක් ඈත්කර අලවා ගන්න.

 

මසාගැනීම

 

ඉදිරිපළුව කපා අඟල් 3/4 රේඛාවේ නවා ගන්න. පිටපළුවේ කොටස් නැම්මට කපා ගන්න. ඉදිරි පළුවේ සහ පිට පළුවේ උරහිස් මූට්ටු කර කොලරය අල්ලා ගන්න. පිටමැද කොටස රැලිකර යෝක් කොටසට අල්ලා ගන්න.

අතට ෆ්‍රිල් කොටස අල්ලා ගැනීමේදී අත උඩින් තබා අල්ලා ගන්න. අත ගවුමට අල්ලා පැත්තෙන් මැස්ම මසා ගන්න.

 

ඊට පසු ෆ්‍රිල් කොටස එක දිගට ඉදිරි පළුව පිටපළුව තබා මූට්ටු කරන්න. නැතිනම් කපා රැලි මැස්ම දමා ගවුම වටේටම අල්ලා ගන්න. එය ද ගවුම උඩින් තබා මසාගන්න. ඊට පසු බොත්තම් කාසි මසා ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ෂර්මිලා රණවීර

 

රූ රටා - නිලක්ෂි ආරියරත්න