වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ජීවිතයම පාට කරන හරි ලස්සන පින්තාරු

ලස්සනට අඳින්න ආස ඔයාලා වෙනුවෙන්ම ඔයාලා ආස කරන සාරිය නිර්මාණය කර දෙන්න අපි සූදානම්. ඒ තරුණී නුග සෙවණ සුසංයෝගයෙනි. ආදරණීය ජීවිතය වර්ණවත් කරන්න මෙවැනි නිර්මාණ ස්වයං රැකියාවකට මඟ කියාවි. උත්සාහ කර බලන්න. ඔබටත් ජයගත හැකියි. මේ ගෙන එන්නේ සාරියක් නිවැරදිව පින්තාරු කරන ආකාරයයි.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ෆැබ්රික් වර්ණ
මෙටලික් වර්ණ
පර්ල් වර්ණ
වර්ණ
ෆැබ්රික් ගම්
පබළු
බීඩ්ස්
පින්සල් වර්ග
කොයිල් පේපර්ස්
අල්පෙනෙති
කැමැති සාරියක්
නිර්මාණය කිරීම:-
මුලින්ම සාරිය රඳවගන්න ෆ්‍රේම් එකක් අවශ්‍යයි.
සාරිය හොඳට ඇදලා අල්පෙනෙතිවලින් රඳවා ගන්න ඕනේ.
සාරියක් කරනකොට හැම වේලාවෙම සාරියට තීන්ත ආලේප කිරීමේදී ඒකෙ ඝනත්වය ගැන හිතන්න අවශ්‍යයි. ඒකට හේතුව තමයි සාරියක් කරද්දි ඒකෙ රැලි ටික හොඳට කඩන් හැලෙන විදිහට තියෙන්න ඕනේ. එබැවින් තෝරගන්න තීන්ත වර්ගය ගොඩක් ඝනත්වය තියෙන එකක් නොවිය යුතුයි.
මම සාරි නිර්මාණයේදී පාවිච්චි කරන්නේ ෆැබ්රික් තීන්තයි.
එහි ඇති විශේෂත්වය තමයි අනෙක් තීන්තවලට වඩා ඝනත්වයෙන් අඩුයි. දැන් ඇඳගත්ත මෝස්තරය ෂේඩින් ආකාරයට පාට කරගත යුතුයි.
මෙය ඉක්මනින් වේළා ගන්න අවශ්‍ය නම් ලයිට් එළියට ඇල්ලිය හැකියි. නැත්නම් hair dryer එකක් අල්ලලා ඒක ඉක්මනට වේළාගන්න.
පින්තාරුව නිමකර ගත් පසු එය ලස්සන කර ගැනීමට බීඩ්ස්, පර්ල්ස් වගේ දේවල් එකතු කරගන්න. පර්ල් ඇලවීමේදී , ෆැබ්රික් ග්ලූ (fabric glue) භාවිත කරන්න පුළුවන්.
කරගත් නිර්මාණය වටේට අවුට් ලයින් එකක් අවශ්‍ය නම් ඒ සඳහා කොයිල් භාවිත කළ හැකියි.
මුලින්ම සාරියේ ඉදිරිපස කොටස සහ සාරියේ පළුව සකස් කරගන්න. වේළුණාට පස්සේ තමයි රැලි කොටස කරගන්න ඕනේ.
දැන් අපි මේ විදිහට සාරියක් නිම කර ගත් පසුව මේක සේදීමේදී කරුණු කිහිපයක් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
සාමාන්‍යයෙන් එදිනෙදා අඳින සාරියක් නම් අපිට ගෙදරදි සෝදාගන්න පුළුවන්. නමුත් අපි විශේෂ අවස්ථාවකට අඳින සාරියක් නම් අපි එය ඩ්‍රයි ක්ලීන් කරගත යුතුයි.
ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සිල්ක් සාරිය සහ කොට්න් සාරියක් කරද්දි ලොකු වෙනසක් තියෙනවා කියලා. ඇත්තටම ඒකෙ කිසිම වෙනසක් නැහැ. එකම ක්‍රමයට තමයි මේක කරන්නේ. නමුත් සිල්ක් සාරියක් කරද්දි හොඳට අල්පෙනෙතිවලින් ඒක රඳවා ගන්න ඕනේ.
මොකද එහෙ මෙහෙ ගියාම ඒක බොඳ වෙන්න බලනවා, ඒ නිසා අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි හොඳට අල්පෙනෙතිවලින් එය රඳවා ගැනීම.
තීන්තවල ඝනත්වය අඩු කර ගන්න පුළුවන් ටෙක්ස්ටයිල් මීඩියම් එක භාවිත කරන්න.
තීන්තවලට වතුර මිශ්‍ර කිරීම ගොඩාක් දුරට අඩු කරන්න ඕනේ. ඒකට හේතුව සාරියක් කරද්දී බොඳ වෙන්න එකම හේතුව තමයි වතුර භාවිත කිරීම.
මේ ආකාරයට ඔබට ලස්සන සාරියක් නිම කරගන්න පුළුවන්.
වරුණී උල්විස්හේවා මෙහෙය වන සාරි පින්තාරු එක් දින වැඩමුළුව ජූනි මස 15 වැනි දින පෙ.ව 9.00 සිට ප.ව 3.30 දක්වා පවත්වනු ලැබේ. පින්තාරු කලාවට ළැබැදි ඔබට ඒ සඳහා සහභාගි විය හැකියි.
උපදෙස්
වරුණි උල්විස්හේවා
අත්කම් නිර්මාණ ශිල්පිනී
MODEL-රනුදි
PIX BY- ශාන් රඹුක්වැල්ල